උඩරට දුම්රිය මාර්ගය සංචාරකයන්ගේ අවධානය දැඩිව දිනාගත් පාරාදීසයකි. බදුලු කෝච්චියේ පැය 12 ගමන අති සුන්දර වූවකි. බොහෝ දෙනාගේ මෙම දුම්රිය චාරිකාව තුළ හදවත නවතින ස්ථානයක් ලෙස දෙමෝදර පාලම හදුන්වා දිය හැක. මෙය මුල් කාලීන අවදියේ දී දොරටු නවයේ පාලම ලෙසින් ද පසුකාලීනව අහස් නවයේ බිං ගෙය හා ආරුක්කු නවයේ පාලම ලෙසින් ද හැඳින් වූ අතර ඇල්ල දුම්රිය පොළ හා දෙමෝදර දුම්රිය පොළ අතර ගොටුවල යන ස්ථානයේ එය හමුවේ.
ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන සංචාරකයෙකුට ආරුක්කු තුනේ බෝක්කුව , ආරුක්කු හතරේ බෝක්කුව සහ ආරුක්කු නවයේ බෝක්කුව වශයෙන් බෝක්කු ගණනාවක් හමු වේ. කොන්ක්‍රීට් අච්චුගල් යොදා ගනිමින් නිර්මාණය කරන ලද මෙම බෝක්කු අතරින් ආරුක්කු නවයේ පාලම බොහෝ ප්‍රසිද්ධියට පත් ව ඇත.
දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ජනප්‍රිය නැරඹුම් ස්ථානයක් වන ඇල්ල නගරයේ ප්‍රධානතම සංචාරක ඉසව්වක් ලෙස දෙමෝදර ආරුක්කු නවයේ පාලම හදුන්වා දිය හැක.
මෙය ආරුක්කු නවයක් සහිතව උස අඩි 300 (මීටර් 91.44) හා පළල අඩි 25 (මීටර් 7.62) වන දැවැන්ත ආරුක්කු පාලමකි. පාලම සහ එහි ඇති දුම්රිය මාර්ගය 1:44 ක ආනතියකින් නිර්මාණය කර ඇත. එ මෙන් ම පාලම නිර්මාණය වී ඇත්තේ වංගුවක් සහිතව ය. දුම්රිය මාර්ගය අංශක 09 ක වක්‍රතාවක් ඇති අතර ආරුක්කු දෙකක් අතර ඇති දුර අඩි 30 ක් බව ද සදහන් වේ.පාලම නිර්මාණය කර ඇත්තේ කඳු දෙකක් අතර වූ මඩ ගොහොරුවකව ය. මඩ ගොහොරුවේ පාදම සවි ශක්තියෙන් සකස් කර විශාල කුලුනු 10 ක් ආධාරකරගෙන ආරුක්කු නවය තනවා ඇත. එම විශාල කුලුනු මැද සෑම එකකම විශාල කවාකාර හිඩසක් පවතී. මෙම පාලමේ පාදම සකස් කර ඇත්තේ ඉතා ගැඹුරට හාරන ලද වළවල් වලට කබොක් ගල් කුට්ටි , තලාතු මිනිරන් කුට්ටි සහ කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතයෙන් එකිනෙක සවිවීමට සැලැස්වීමෙනි. එසේ ම පාලම ඉදිකිරීමේ දී පලංචි, ආරුක්කු කොටස් සඳහා භාවිතයට ගැනීමට අවශ්‍ය ලෑලි, දැව ආදිය බුරුමයෙන් ආනයනය කරන බවට සදහන් වේ. මෙම ආරුක්කු නවයේ පාලම ඉදිකර ඇත්තේ කළුගල් උපයෝගී කරගෙන නෙවෙයි. ඒ සඳහා භාවිතයට අරගෙන තිබෙන්නේ 3:2:1 අනුපාතයෙන් සිමෙන්ති , වැලි සහ ගල් මිශ්‍රිත කොන්ක්‍රීට් , අච්චුවලට දමා සකස් කරගත් කොන්ක්‍රීට් අච්චුගල්වලිනි. එම ගල් එකිනෙක සිමෙන්ති බදාම යොදා බැඳ තිබේ.
මේ පාලම නිර්මාණය කිරීමේ දී දේශීය වශයෙන් ප්‍රචලිත මුඛ පරම්පරාගත කතා පුවත් රාශියක් පවතී. ආරුක්කු නවයේ පාලමේ දළ සැලැස්ම නිර්මාණය කර තිබෙන්නේ එච්. ආර්. මාර්වුඩ් නැමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා බව ලංකා දුම්රිය ඉතිහාසය ගැන විමර්ශනය කිරීමේ දී පැහැදිලි වේ. මෙම පාලමේ වැඩ කටයුතු 1913-1917 වර්ෂ වල දී ආරම්භ කර 1919 වර්ෂයේ දී අවසන් කර තිබෙන බවට මුලාශ්‍ර තොරතුරු වල සඳහන් වේ. මෙම ස්ථානයේ සහ අවට මෙවැනි පාලම් (බෝක්කු) කිහිපයක්ම සෑදීමට මූලික හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ විශාල යකඩ හිඟතාවකට ලක්වීමයි. එසේ වීමට පළමුවන ලෝක යුද්ධය යකඩ වැඩි වැඩියෙන් භාවිතයට ගැනීම හා ජර්මානු සතුරු ප්‍රහාරක නැව් විසින් භාණ්ඩ ප්‍රවාහන නැව්වලට පහර දීම නිසාය.
ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමේ දී ඩී. ජේ. විමලසුරේන්ද්‍ර වැනි ලාංකික ඉංජිනේරුවරුන් ද සහභාගි වී ඇත. එසේ ම මෙම ආරුක්කු නවයේ පාලමේ පෙදරේරු කටයුතු මෙහෙයවා ඇත්තේ පී. කේ. අප්පුහාමි නමැති පෙදරේරුවා අතින් බව සදහන් වේ. එසේ වුවත් පී. කේ. අප්පුහාමි නමැත්තා ගැන මුලාශ්‍ර තොරතුරුවල සඳහන් නොවේ.
මෙම ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමේ දී සහය දැක්වූ හැරි චාන්ලී නම් බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා පලංචියෙන් වැටී එම ස්ථානයේම මිය ගොස් ඇත. ඔහුගේ දේහය බදුල්ල ශුද්ධ මාර්ක් දේවස්ථානයේ මිහිදන් කර එහි ඔහු වෙනුවෙන් ඵලකයක්ද නිරාවරණය කළ බව සදහන් වේ.
කොළඹ සිට සැතපුම් 169 3/4 ක් දුරින් උඩරට දුම්රිය මාර්ගයේ මෙම ආරුක්කු නවයේ දුම්රිය පාලම පිහිටයි. මෙතනට ඇල්ල නගරයේ ඇල්ල-නමුණුකුල පාරේ කිලෝමීටරයක් විතර ගමන් කරන විට පොඩි කෝවිලක් මුණ ගැසේ. ඒ ළඟම තිබෙන පොඩි වැව බොර වැව නමින් හදුන්වයි. ඒ ළඟ තියෙන පාර දිගේ අවසන් වන තෙක්ම ගිය පසු නැවත පොඩි අඩිපාරක් දිගේ ආරුක්කු නවය පාලම ළඟට යාමට හැකිය. විදේශිකයන් වැඩි දෙනෙක් තෝරාගන්නේ මෙම මාර්ගය යි. ඇල්ල නගරයේ සිට ඉතා ඉක්මනින් වැඩි වෙහෙසක් නැතිව මෙතන දක්වා ගමන් කළ හැකිය.
මෙවන් සුන්දර ස්ථාන මතුවටත් ආරක්ෂා කර ගැනීමට පරිසරය පවිත්‍ර ව තබා ගෙන ඔබේ වගකීම ඉටු කරන්නට වග බලා ගන්න.
මූලාශ්‍ර
www.lankadeepa.lk
www.dinamina.lk
www.divaina.lk
www.facebook.lk
❤️
ReplyDeleteGood job
ReplyDelete