Wednesday, March 22, 2023

ශ්‍රී දළදා මාලිගාව



ලොව පුරා වෙසෙන බෞද්ධයන් අතිමහත් ගෞරවයෙන් වන්දනාවට පාත්‍ර කරන විහාරස්ථාන අතරින්  සංස්කෘතික වටිනාකමින් ද ඉහළ පූජනීය පුද බිම ලෙස දළදා මාළිගාව හදුන්වා දිය හැක. මෙහි ව්‍යුහය  උඩරට වාස්තු විද්‍යාත්මක තාක්‍ෂණයකින් සමන්විත වේ. 

මහනුවර යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින අවසාන ස්ථානයයි. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ රාජ්‍ය සමයේදී හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් පුරාතන ඉන්දියාවේ කාලිංග නගරයෙන් සර්වඥ ධාතුව ශ්‍රී ලංකාවට ගෙන යන ලදී.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇත්තේ මහනුවර මෙම දළදා මාළිගා පරිශ්‍රයේයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගර මධ්‍යයේ පිහිටා ඇත. උඩරට රාජධානියේ මෙම දළදා මැදුර පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය අභ්‍යන්තරය තුළම ය.


 ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුග්‍රීසී ආක්‍රමණික‍යන් විනාශ කරන ලදි. දැනට එහි පවත්නා පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකර ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා විසිනි. ඉන්පසු රජ වූ නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කර ඇත.



දළදා  මාලිගාව පිහිටා ඇති මහනුවර නගරය ම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කර ඇත. දළදා වහන්සේ වැඩ සිටින මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හදුන්වා ඇත. අතීතයේ සිටම ජනතාව පිලිගන්නේ රටේ රජ වීමට නම් දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතු බවය. මෙය චාරිත්‍රයක් බදු විය. ඒ නිසා ම අතීතයේ රජවරු දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කර ඇත.

වර්තමානයේ සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල දළදා මාළිගාව පිහිටා ඇත. මහනුවරට නැගෙනහිර දෙසින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් ද  බහිරව කන්ඳ තවත් පැත්තකින් ද වට  වූ මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්ත මනරම් භූමියකි. ඕනෑම භෝගයක් වැවීමට හැකි සශ්‍රීක බිම් පෙදෙසක් ලෙස එය පෙන්වා දිය හැක. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර ඇත.

දේශීය සංචාරකයන්  මෙන් ම විදේශිකයන් ද දළදා මාළිගය නැරඹීම සදහා නොකැඩී පැමිණෙයි. ශ්වේත වස්ත්‍රයෙන් සැරසුනු සුපින්වතුන්ගෙන් මාළිගා භූමිය නිරන්තරයෙන්ම පිරී පවතී. දළදා මාළිගය අවට සිසිලස රදවන්නේ බෝගම්බර වැව සිප එන සීත මදනළ යි. එය බොහොම ප්‍රසිද්ධ වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඇහැළේපොළ කුමාරිහාමි මේ වැවේ ගිල්වා මරා දැමීම නිසාවෙනි. වීර මද්දුම බණ්ඩාරයන් අභීත ව මරණයට මුහුණ දුන් බව සදහන් වන්නේ මේ ස්ථානයේ යි. 

දුම්රියෙන් මහනුවර බලා ගමන් කිරීම විනෝදජනක මෙන් ම ආශ්වාදය මතු කරයි. බලන කපොල්ල ආසන්නයෙන් වගේ ම බිං ගෙවල් කිහිපයක් පසු කරමින් කදු මුදුනට ඇදෙන දුම්රිය ගල් බිත්ති වලට ඉතා සමීප ව ගමන් කරන නිසා ප්‍රවේශමෙන් ගමන් කිරීම ද වැදගත් වේ.

එකල මුල් අවධියේ දී මහනුවර හදුන්වා ඇත්තේ  ”ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය” ලෙස ය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු රජතුමාගේ බෑනනුවන් කෙනෙකු වු සිරිවර්ධන නැමති තැනැත්තා  විසින් ක්‍රි.ව. 1312 දී  පමණ එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල ”සෙංකඩගල සිරිවර්ධනපුරය” නමින් නගරයක් ආරම්භ කොට ඇත.

තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉදි වූ බව ය. තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉදි වු බව තවත් මතයකි. මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල් කොට ගෙන මේ නම ඇති වු බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ. ගම්පොළ රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජ සමයේ දළඳා මැඳුර සහ ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉදි කර ඇත. යස්ගිරි තල්පතෙහි සඳහන් වන්නේ අස්ගිරි විහාරය ආරම්භ වුයේ ද මෙකල බවයි.

වර්තමානයේ මේවා මහනුවර ඇති පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොළ රජ පවුලෙන් පැවත එන සේනා සම්මත වික්‍රමබාහු රජු විසින් මෙය සෙංකඩගල පුරය ලෙස නම් කර ඇත. ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ එහෙයිනි. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක්, සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් සිදු කර ඇත.

සීතාවක පළමු රාජසිංහ රජු ජයවීර කරල්ලියද්ද බණ්ඩාර  පළමු විමලධර්මසූරිය සිංහලයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා රජවරු දහදෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. 

සතුරු උවදුරකදී හැරෙන්න අන් සෑම අවස්ථාවකදී ම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේ ය. දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කර ගැනීම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට ද පිළිගැනීමක් පැවතිනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඩුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර, මූලාචාරියා නැමැත්තන් ඉදිකර ඇත. දළදා මාළිගයේ ගොඩනැගිලි ක්‍රි.ව. 1805 ති 1812ත් අතර ඉදිකර ඇත. ගෘහ නිර්මාණ සැලසුම අලකේශ්වර ඩිංගිරිඅප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරී විසින් සිදුකර ඇත.

දළදා මාළිගාව ආශ්‍රිත ප්‍රධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැදින්වේ. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි ශ්‍රී නාථ යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල පිහිටා ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ. විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජ දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළදා මාළිගාව මුල් කර ගෙන මෙම දේවාල හතර ද  පෙරහැරේ පිළිවෙළින් ගමන් කරයි.

සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවත එන මංගල්‍යයන් 4ක් ඇත. අලුත් සහල් මංගල්ලය, අලුත් අවුරුදු මංගල්ලය, ඇසල මංගල්ලය, කාර්තික මංගල්ලය ඒ අතර වැදගත් වේ. ශ්‍රි දළදා මාලිගාවේ චිරාගත සාම්ප්‍රදායික දළදා පුදසිරිත් ආරක්ෂා කර ගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්‍ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්‍රමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කර ඇත.

කන්ද උඩරට පාලනය ඉංග්‍රිසින් අතට පත්වන විට ක්‍රි.ව. 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දරා ඇත. දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක්‍රි.ව. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම තනතුර වර්තමානයේ  හොබවනු ලබයි.

කැටයම් සහිත ලී කණු , කුලුණු   වලින් යුක්ත වන මෙම මාළිගාවේ පෞරාණික බව වඩාත් ඉහළ ය. ඉපැරැණි චිත්‍ර සහ මහනුවර යුගයේ ලී කැටයම් , ශිලා ලේඛන මාළිගය  පුරා දක්නට ලැබේ. රනින් කරන ලද ධාතු කරඩුව බැතිමතුන් සදහා ප්‍රදර්ශනය කරයි.

දළදා මාළිගයට අයත් ඇත් පන්තියක් ද සිටී. ලෝකයේ ම ආකර්ෂණය දිනාගත් දළදා පෙරහැර මහනුවර වීදි දිගේ වැඩමවා ගෙන යන්නේ ඉතා ගෞරවයෙනි. දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් ද බොහෝමයක් මෙම පෙරහැර මංගල්‍යය නැරඹීම සදහා පෙළ ගැසී සිටී. එය ඉතාම විචිත්‍රවත් පෙරහැර මංගල්‍යයකි. බොහෝ අලංකාරවත් නැටුම් සාම්ප්‍රදායික කලාංග එහි අන්තර්ගත වේ.

දළදා මාළිගය මෙරට බැතිමතුන්ගේ පූජනීය වන්දනීය වස්තුව කි. එහි වටිනාකම දිනෙන් දින වර්ධනය වන්නකි.

මූලාශ්‍ර 

www.deshaya.lk

www.srilankatravelpages.com

www.gamana.lk





Wednesday, March 1, 2023

සීතල මන්දාරම් නුවර

මෙරට තුළ  සංචාරය සදහා පැමිණෙන  විදේශීය  සංචාරකයන් ගේ වගේ ම දේශීය සංචාරකයන් ගේත් ජනප්‍රිය ගමනාන්තයක් ලෙස මන්දාරම් නුවර හදුන්වා දිය හැක. මන්දාරම් නුවර පරිසරය පිළිබඳ කීමට ඇත්තේ එය කුඩා දිව්‍ය විමනක් බවය. ස්වභාව සෞන්දර්ය වගේම එහි ජීවත් වන  මිනිසුන් ද සුන්දර ය.

මෙම කඳු ප්‍රදේශයට මන්දාරම්නුවර යැයි කියන්නේ  අවට වෙනත් ගම්වලට වඩා පමා වී හිරු උදාවීමත්, ඒ වගේ ම  වඩා වේලාසනින් හිරු බැස යාමත් නිසා ය. මේ නිසා ගමට අව්ව වැටෙන්නේ කලාතුරකිනි. නිතර ම වැහිබර මන්දාරම් ගතිය සහිත සිසිල් දේශගුණයක් එහි පවතී .එයට හේතුව ඉර උදාවන දෙසින් විශාල කඳුවැටි පෙළකින් ගම මුවා වී තිබීම යි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මේ  ගම පිහිටා තිබෙන්නේ පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල සිව් කඳුවැටිවලට මැදි වූ කඳු අතර නිම්නයක යි. පුරාණ බෙදීම් අනුව එය කන්දඋඩ පස්රට හේවාහැට රටට අයත් වේ. උඩරට රජ කාලේ මේ ගමට මන්දාරම් පුර කියා ඇත.

මේ පරිසරයේ සුන්දරත්වය නරඹන්න ට හොඳ ම වෙලාව වන්නේ අලුයම කාලයයි. මුළු පරිසරය ම නැවුම් වූ පිනිබිඳු  මතින් දිලිසෙන්නේ පැහැබරිනි.  නුවරඑළිය හරහා කඳපොළ හයිෆොරස්ට් වතුයාය මැදින් මන්දාරම් නුවරට ළඟා විය හැක. හිරු උදා ව මේ තේ යාය මැද සිට නරඹන්නට ලැබීම අපූරු අත්දැකීමකි. මන්දාරම් නුවරට යන මාර්ගය දෙපස තේ යාය මනස්කාන්ත දර්ශනයක් සේ අපේ නෙත පිනවයි.  තේ දලු නෙළන, වල් ගස් ගලවන දමිළ කාන්තාවන් කඩමුඩියේ වැඩවල යෙදෙනු දැකිය හැකිවෙයි. ඉතා ම පටු මාවතක් ඔස්සේ  පල්ලම්, කඳු, මාර්ගය දෙපස පුරා හෑරුණු වළවල් මෙහි බහුල නිසා වාහන ධාවනය තරමක් අසීරුය. මන්දාරම් නුවර  ගැමි ජනයා හරිම සංග්‍රහශීලී, කරුණාවන්ත ඇත්තන් ය.

හෙල්මලු ක්‍රමයට වගා කරන ලද වගා බිම් අතරින් කන්ද මුදුනට ම ළඟා විය හැක. කුරුල්ලන් ගේ නාදයෙන් බිදෙන නිහැඩියාවෙන් යුත් ඒ සුන්දර පරිසරය විවිධ පැහැයෙන් යුතු ගඳපාන මල් වලින් විචිත්‍රවත් වේ. මාර්ගය පුරා නොයෙක් පැහැයෙන් යුතු මල් පිපී ඇත. ගමන් මග තුළ  මකුළුවන් ඔවුන්ගේ සුන්දර නිවෙස් තනා ඇත. ඒ මත  වැටී අති පිනිබිඳු මෙන් ම හිරු කිරණ නිසා එය අපූරු ව දිස්වෙයි.

එක් පසෙකින් පිදුරුතලාගල කන්දත් තවත් පසෙකින් රන් කොටියාගල බොක්කත් දිස්වෙයි. කඳුවැටි මැදින් ඇති අඩි පාරේ පරෙස්සමට ගමන් කරන විට මුලින් ම කොළපතන ඇල්ල දිස් වෙයි. වැසි වැටී සශ්‍රීකව ඇති අවධියේ නම් කොළපතන ඇල්ල අතිශයින් ම සක්‍රීය ව සුන්දර ව ඇද හැලෙයි. නැරඹුම් ස්ථානයෙන්  දිය ඇල්ල පහසුවෙන් නැරඹීමට  හැකි වූවත් බොහෝදෙනා පහළට වැටී තිබුණු හීන් අඩිපාර දිගේ ඇල්ල පහළට බැස ගනී.  එහි ඇති සුන්දරම දසුන නරඹන්නට නම් ඒ ඇල්ල පාමුලට  යා යුතුමය. කදිමට ස්වභාවිකව හැඳුණු ජල තටාකයත් ගලා හැලෙන කොළපතන ඇල්ල  මනස්කාන්ත වේ. මේ ගම්වාසීන් පානය කරන්නේ  ද මේ ජලයයි.


කන්ද මුදුනට ම වෙන්නට තවත් දිය ඇළි කිහිපයක් ම දැකිය හැකිය. ලංකාවේ දෙවැනියට උසම ඇල්ල වන “කුරුඳු ඇල්ල” පිහිටා තිබෙන්නේ ද මේ කඳු වැටියේම ඉහළ ය.  වනාන්තරයේ අතරමං වීමට බොහෝ ඉඩකඩ ඇති නිසා මඟ පෙන්වන්නෙක් නැතිව එහි යෑම ද අනතුරුදායක ය. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ඉතා සුන්දර කඳු වලල්ලකින් වටවූ නිතර මන්දාරම් ගතියක් තිබෙන ගම මන්දාරම් නුවර ලෙස හදුනා ගත හැක.

මහනුවර සිට හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩ පසුකර පදියපැලැල්ල දෙසට යනවිට  එළමලේ හන්දිය හමු වේ. එතැනින් හැරී  අතුරු පාරක කඳු බෑවුම් අතරින් කිලෝමීටර් 11ක් පමණ දුර ගමන් කළ පසුව  සුන්දර මන්දාරම් නුවරට ළඟා විය හැකි ය. ගම දක්වා වෑන් රථ වැනි කුඩා වාහනයකින් වුව ද ගමන් කළ හැකි යි. නුවරඑළිය සිට පැමිණෙන්නේ නම් කඳපොළ හරහා මන්දාරම් නුවරට යන මාර්ගය වඩාත් අලංකාර ය. තේවතු මැදින් දිව යන මේ පාරේ සොඳුරු දසුන් රැසක් දැකගත හැකි ය. නුවරඑළියේ සිට එයට ඇති දුර කිලෝමීටර 40ක් පමණ වේ.

 කඳු බෑවුම්වල හෙල්මළු ක්‍රමයට තනා ඇති උඩරට එළවළු වගාබිම් හැමතැන ම දැකගත හැකි යි. ගොවින් වගාවලට සාත්තු කරන, ජලය යොදන අන්දමත් ගමට යන අයට නිතර දැකගත හැකි ය.  කඳු බෑවුම්වල පිහිටි තේවතු ඈතින් දිස්වෙයි. 1980 දශකය වන තෙක්  මන්දාරම් නුවර අධික  සීත දේශගුණයක් පැවතුණත් මේ වනවිට මෙහි සීතල දේශගුණය තරමක් අඩුවී ඇති බව පැවසෙනවා. එයට හේතුව කඳු කපා ගොවිතැන් කිරීම නිස යි. අතීතයේ මෙහි ගැමියන් නුවරඑළියේ මෙන් සීත කබා පැළඳ ගිනිමැල දල්වාගෙන සීතල මකා ගත් බව පැවසෙ.

වසර සියයකට පමණ පෙර මේ ගම ඉහත්තාවේ ඉංග්‍රීසින් වගා කළ තේ ඉඩම් ගැමියන්ට ගොවිතැන් කිරීම සඳහා පසුව  ලැබී තිබෙ. ඒ තේවතු යුගය සිහිපත් කරන පැරණි තේ කර්මාන්ත ශාලාව දැකගත හැකි යි. කඳු අතර පිහිටි එම ගොවිබිම්වලට ළඟාවීම නම් ඉතා දුෂ්කර යි.  ඔවුන් අස්වැන්න නෙළා ගත් පසුව  කිලෝ පනහ බැගින් ගෝනිවලට අසුරා කර තබා ගෙන වාහනයක් ළඟා විය හැකි කඩමණ්ඩිය වෙතට පා ගමනින් ගමන් කිරීම සිරිතක්. කඳු නැගීමට සහ සොබා සුන්දරත්වය විඳ ගැනීමට රුචි සංචාරකයන්  බහුල ව මේ ගමට ඇදී එයි. සංචාරක කර්මාන්තය මෙහි සැලකිය යුතු පිරිසකගේ ආදායම් මාර්ගය වේ.


මන්දාරම්නුවරට එන සෑම සංචාරකයකු ම පාහේ ගමන් ගන්නා ස්ථානයකි. කොළපතන දියඇල්ල ඉතා සුන්දර වනගත පරිසරයක පිහිටා තිබේ. රන්කොතනගල කඳුවැටියෙන් කඩා හැලෙන එය එතරම් උස ඇල්ලක් නොවූවත් වැසි සමයට විශාල ජල කඳක් ඉන් ගලා හැලෙයි. දිය ඇල්ලට පහළින් පිහිටි මන්දාරම් නුවර හා ඒ අවට ගම්මානවල ජනතාවගේ ගොවිතැන සඳහා සහ එදිනෙදා ජල අවශ්‍යතාවෙන් සියයට 90 කටත් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ  කොළපතන ඇල්ලේ ජලය යි. මෙහි ජලය බෙලිහුල්ඔයට එක් වී  වික්ටෝරියා ජලාශය පෝෂ­ණය කරයි. 

මූලාශ්‍ර 

www.silumina.lk

www.roarmedia.lk

www.youtube.com

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...