මෙරට තුළ සංචාරය සදහා පැමිණෙන විදේශීය සංචාරකයන් ගේ වගේ ම දේශීය සංචාරකයන් ගේත් ජනප්‍රිය ගමනාන්තයක් ලෙස මන්දාරම් නුවර හදුන්වා දිය හැක. මන්දාරම් නුවර පරිසරය පිළිබඳ කීමට ඇත්තේ එය කුඩා දිව්‍ය විමනක් බවය. ස්වභාව සෞන්දර්ය වගේම එහි ජීවත් වන මිනිසුන් ද සුන්දර ය.
මෙම කඳු ප්‍රදේශයට මන්දාරම්නුවර යැයි කියන්නේ අවට වෙනත් ගම්වලට වඩා පමා වී හිරු උදාවීමත්, ඒ වගේ ම වඩා වේලාසනින් හිරු බැස යාමත් නිසා ය. මේ නිසා ගමට අව්ව වැටෙන්නේ කලාතුරකිනි. නිතර ම වැහිබර මන්දාරම් ගතිය සහිත සිසිල් දේශගුණයක් එහි පවතී .එයට හේතුව ඉර උදාවන දෙසින් විශාල කඳුවැටි පෙළකින් ගම මුවා වී තිබීම යි.
නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මේ ගම පිහිටා තිබෙන්නේ පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල සිව් කඳුවැටිවලට මැදි වූ කඳු අතර නිම්නයක යි. පුරාණ බෙදීම් අනුව එය කන්දඋඩ පස්රට හේවාහැට රටට අයත් වේ. උඩරට රජ කාලේ මේ ගමට මන්දාරම් පුර කියා ඇත.මේ පරිසරයේ සුන්දරත්වය නරඹන්න ට හොඳ ම වෙලාව වන්නේ අලුයම කාලයයි. මුළු පරිසරය ම නැවුම් වූ පිනිබිඳු මතින් දිලිසෙන්නේ පැහැබරිනි. නුවරඑළිය හරහා කඳපොළ හයිෆොරස්ට් වතුයාය මැදින් මන්දාරම් නුවරට ළඟා විය හැක. හිරු උදා ව මේ තේ යාය මැද සිට නරඹන්නට ලැබීම අපූරු අත්දැකීමකි. මන්දාරම් නුවරට යන මාර්ගය දෙපස තේ යාය මනස්කාන්ත දර්ශනයක් සේ අපේ නෙත පිනවයි. තේ දලු නෙළන, වල් ගස් ගලවන දමිළ කාන්තාවන් කඩමුඩියේ වැඩවල යෙදෙනු දැකිය හැකිවෙයි. ඉතා ම පටු මාවතක් ඔස්සේ පල්ලම්, කඳු, මාර්ගය දෙපස පුරා හෑරුණු වළවල් මෙහි බහුල නිසා වාහන ධාවනය තරමක් අසීරුය. මන්දාරම් නුවර ගැමි ජනයා හරිම සංග්‍රහශීලී, කරුණාවන්ත ඇත්තන් ය.
හෙල්මලු ක්‍රමයට වගා කරන ලද වගා බිම් අතරින් කන්ද මුදුනට ම ළඟා විය හැක. කුරුල්ලන් ගේ නාදයෙන් බිදෙන නිහැඩියාවෙන් යුත් ඒ සුන්දර පරිසරය විවිධ පැහැයෙන් යුතු ගඳපාන මල් වලින් විචිත්‍රවත් වේ. මාර්ගය පුරා නොයෙක් පැහැයෙන් යුතු මල් පිපී ඇත. ගමන් මග තුළ මකුළුවන් ඔවුන්ගේ සුන්දර නිවෙස් තනා ඇත. ඒ මත වැටී අති පිනිබිඳු මෙන් ම හිරු කිරණ නිසා එය අපූරු ව දිස්වෙයි.
එක් පසෙකින් පිදුරුතලාගල කන්දත් තවත් පසෙකින් රන් කොටියාගල බොක්කත් දිස්වෙයි. කඳුවැටි මැදින් ඇති අඩි පාරේ පරෙස්සමට ගමන් කරන විට මුලින් ම කොළපතන ඇල්ල දිස් වෙයි. වැසි වැටී සශ්‍රීකව ඇති අවධියේ නම් කොළපතන ඇල්ල අතිශයින් ම සක්‍රීය ව සුන්දර ව ඇද හැලෙයි. නැරඹුම් ස්ථානයෙන් දිය ඇල්ල පහසුවෙන් නැරඹීමට හැකි වූවත් බොහෝදෙනා පහළට වැටී තිබුණු හීන් අඩිපාර දිගේ ඇල්ල පහළට බැස ගනී. එහි ඇති සුන්දරම දසුන නරඹන්නට නම් ඒ ඇල්ල පාමුලට යා යුතුමය. කදිමට ස්වභාවිකව හැඳුණු ජල තටාකයත් ගලා හැලෙන කොළපතන ඇල්ල මනස්කාන්ත වේ. මේ ගම්වාසීන් පානය කරන්නේ ද මේ ජලයයි.
කන්ද මුදුනට ම වෙන්නට තවත් දිය ඇළි කිහිපයක් ම දැකිය හැකිය. ලංකාවේ දෙවැනියට උසම ඇල්ල වන “කුරුඳු ඇල්ල” පිහිටා තිබෙන්නේ ද මේ කඳු වැටියේම ඉහළ ය. වනාන්තරයේ අතරමං වීමට බොහෝ ඉඩකඩ ඇති නිසා මඟ පෙන්වන්නෙක් නැතිව එහි යෑම ද අනතුරුදායක ය. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ඉතා සුන්දර කඳු වලල්ලකින් වටවූ නිතර මන්දාරම් ගතියක් තිබෙන ගම මන්දාරම් නුවර ලෙස හදුනා ගත හැක.
මහනුවර සිට හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩ පසුකර පදියපැලැල්ල දෙසට යනවිට එළමලේ හන්දිය හමු වේ. එතැනින් හැරී අතුරු පාරක කඳු බෑවුම් අතරින් කිලෝමීටර් 11ක් පමණ දුර ගමන් කළ පසුව සුන්දර මන්දාරම් නුවරට ළඟා විය හැකි ය. ගම දක්වා වෑන් රථ වැනි කුඩා වාහනයකින් වුව ද ගමන් කළ හැකි යි. නුවරඑළිය සිට පැමිණෙන්නේ නම් කඳපොළ හරහා මන්දාරම් නුවරට යන මාර්ගය වඩාත් අලංකාර ය. තේවතු මැදින් දිව යන මේ පාරේ සොඳුරු දසුන් රැසක් දැකගත හැකි ය. නුවරඑළියේ සිට එයට ඇති දුර කිලෝමීටර 40ක් පමණ වේ.
කඳු බෑවුම්වල හෙල්මළු ක්‍රමයට තනා ඇති උඩරට එළවළු වගාබිම් හැමතැන ම දැකගත හැකි යි. ගොවින් වගාවලට සාත්තු කරන, ජලය යොදන අන්දමත් ගමට යන අයට නිතර දැකගත හැකි ය. කඳු බෑවුම්වල පිහිටි තේවතු ඈතින් දිස්වෙයි. 1980 දශකය වන තෙක් මන්දාරම් නුවර අධික සීත දේශගුණයක් පැවතුණත් මේ වනවිට මෙහි සීතල දේශගුණය තරමක් අඩුවී ඇති බව පැවසෙනවා. එයට හේතුව කඳු කපා ගොවිතැන් කිරීම නිස යි. අතීතයේ මෙහි ගැමියන් නුවරඑළියේ මෙන් සීත කබා පැළඳ ගිනිමැල දල්වාගෙන සීතල මකා ගත් බව පැවසෙ.
වසර සියයකට පමණ පෙර මේ ගම ඉහත්තාවේ ඉංග්‍රීසින් වගා කළ තේ ඉඩම් ගැමියන්ට ගොවිතැන් කිරීම සඳහා පසුව ලැබී තිබෙ. ඒ තේවතු යුගය සිහිපත් කරන පැරණි තේ කර්මාන්ත ශාලාව දැකගත හැකි යි. කඳු අතර පිහිටි එම ගොවිබිම්වලට ළඟාවීම නම් ඉතා දුෂ්කර යි. ඔවුන් අස්වැන්න නෙළා ගත් පසුව කිලෝ පනහ බැගින් ගෝනිවලට අසුරා කර තබා ගෙන වාහනයක් ළඟා විය හැකි කඩමණ්ඩිය වෙතට පා ගමනින් ගමන් කිරීම සිරිතක්. කඳු නැගීමට සහ සොබා සුන්දරත්වය විඳ ගැනීමට රුචි සංචාරකයන් බහුල ව මේ ගමට ඇදී එයි. සංචාරක කර්මාන්තය මෙහි සැලකිය යුතු පිරිසකගේ ආදායම් මාර්ගය වේ.
මන්දාරම්නුවරට එන සෑම සංචාරකයකු ම පාහේ ගමන් ගන්නා ස්ථානයකි. කොළපතන දියඇල්ල ඉතා සුන්දර වනගත පරිසරයක පිහිටා තිබේ. රන්කොතනගල කඳුවැටියෙන් කඩා හැලෙන එය එතරම් උස ඇල්ලක් නොවූවත් වැසි සමයට විශාල ජල කඳක් ඉන් ගලා හැලෙයි. දිය ඇල්ලට පහළින් පිහිටි මන්දාරම් නුවර හා ඒ අවට ගම්මානවල ජනතාවගේ ගොවිතැන සඳහා සහ එදිනෙදා ජල අවශ්‍යතාවෙන් සියයට 90 කටත් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ කොළපතන ඇල්ලේ ජලය යි. මෙහි ජලය බෙලිහුල්ඔයට එක් වී වික්ටෝරියා ජලාශය පෝෂණය කරයි.
මූලාශ්‍ර
www.silumina.lk
www.roarmedia.lk
www.youtube.com
No comments:
Post a Comment