Friday, December 30, 2022

සරදියෙල් ගම්මානය


කදු නිම්න වලින් හැඩ වූ සබරගමුවේ මාවනැල්ල පරිසර  කලාපය සොබා සෞන්දර්යයෙන් අනුන වූ භූමි භාගයකි. මාවනැල්ලේ අලංකාරය තවත් ඔප් නංවන ඓතිහාසික වටිනාකමක් එක් කරන උතුවන්කන්ද  ලංකා ඉතිහාසය තුළ රිදියෙන් නම ලියැවුණු  සරදියෙල් චරිතය අළලා කේන්ද්රස්ථානයක් විය. සරදියෙල් ව බොහෝ විට හදුන්වන්නේ ශූර සරදියෙල් යන නමිනි. මොහු ජීවත් ව සිටියේ  උතුවන්කන්ද ප්‍රදේශයේ  ය. මේ කන්ද මනස්කාන්ත  අපූරු ස්ථානයකි. 

සරදියෙල්  1832 මාර්තු 25 වැනි දා උපත ලබා ඇති අතර දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සූර සරදියෙල් ලෙස අප හදුනා ගනී.  ඉංග්‍රීසි පාලනයට විරුද්ධ ව කටයුතු කිරීම හේතුවෙන් වැරැදිකරුවකු ලෙස නම් කර මොහු සැඟව සිටියේ උතුවන්කන්ද ප්‍රදේශයේ ය .

උතුවන්කන්ද මුදුනට කොළඹ සිට උඩරටට ප්‍රවාහන කටයුතු සිදුකළ ගමන් මාර්ගය හොඳින් දර්ශනය වේ. එහි සැගව සිට එම මාර්ගයේ  ගමන් ගන්නා ඉංග්‍රීසි ජාතිකයන්ට  පහරදී  ඔවුන් සතු වස්තුව පැහැරගෙන ජනතාව අතර බෙදා දීම මොහුගේ ක්‍රියාදාමය වේ. සරදියෙල් “ලංකාවේ රොබින් හුඩ්” ලෙස හැඳින්වෙන්නේ මේ නිසාය. 

සරදියෙල් විටින් විට අවස්ථා කිහිපයක දී ම අත් අඩංගුවට ගත්ත ද එයින් මිදී පැන යාමට තරම් සරදියෙල් දක්ෂයකු විය. ලංකා ඉතිහාසයේ පළමු වරට පොලිස් නිලධාරියකු මරා දැමෙන්නේ ද ඔහු අතිනි.1864 මාර්තු 21 වැනි දින අත් අඩංගුවට ගත් සූර සරදියෙල් නම් ජනතාවගේ වීරයාව 1864 මැයි මස 07 වැනි දින ඉංග්‍රීසින් මරුමුවට පත් කරන ලදි. 

සරදියෙල් වීරයා පිළිබඳ කතා කරන්නට ලියන්නට බොහෝ දේ ඇත. ඔහු සිහි ගන්වනු වස් උතුවන්කන්දේ නිර්මාණය කර ඇති “ සරදියෙල් ගම්මානය “  අතිශයින් ම දැකුම්කළු ය. අද අපි අපේ සංචාරය සරදියෙල් ගේ ගම්මානයට යමු. කොළඹ නුවර මාර්ගයේ ගමන් ගන්නා විට හමුවන උතුවන්කන්දේ  උතුවන තැපැල් කන්තෝරුව අසලින් වමට කිලෝමීටරයක් පමණ ගමන් කරන විට සරදියෙල් ගම්මානය හමු වේ. අක්කර හයක තරම් විශාල භූමි භාගයක් තුළ  සරදියෙල් ගම්මානය ගොඩ නගා ඇත. වෛද්‍ය ආරියසේන  ගමගේ මහතාගේ සංකල්පයක් අනුව බිහි වූ සරදියෙල් ගම්මානය සුන්දර මංකඩකි.


මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලෙස  සේවය කර එක්තරා රෝගියකු පරීක්ෂා කිරීමට ගිය ගමනක දී ඔහු  සරදියෙල් පිළිබඳ අධ්‍යයනයක යෙදී තිබේ. මේ අපූරු  නිර්මාණය සරදියෙල් ගම්මානයේ මූලාරම්භය එලෙස හැදින්විය හැක. මේ අපූර්ව ගම්මානයේ සිහින යථාර්ථය සැබෑවක් කරන්නට ආරියසේන වෛද්‍යතුමන් සිය කාලය ශ්‍රමය වැය කරමින් බොහෝ වෙහෙස වී ඇත.

එකල එම ගමේ  කේන්ද්‍රස්ථානය වූ ආරච්චිගේ නිවස ආශ්‍රිත ව ගව ගාල, ගම ගෙදර, කුරහන් ගල, නැකැති රාලගේ ගෙදර, රන්කරුවාගේ ගෙදර, කුඹල් ගෙදර, වෙද ගෙදර, මුළුතැන්ගෙය, වී බිස්ස, තිඹිරි ගෙය, දඬු කඳ කියන මේ සියල්ල අපූරුවට නිමවා ඇති මේ ගම්මානය එකල ජන ජීවිතය ප්‍රතිරූප ගන්වමින් නරඹන්නන් අතීතයට රැගෙන යයි. සරදියෙල් ළමා වියේ අකුරු උගත් ස්ථානයේ පටන් ගෝන්දිවෙල ආරච්චිගේ මල්ලිගේ පුතාට බැට දුන් ආකාරය සහ අනතුරුව සොරෙකු බවට පත් වීම තෙක් සරදියෙල් චරිතය ක්‍රමානුකූලව විදහා දක්වා ඇත.  මෙම ප්‍රතිමා නිර්මාණය කර ඇත්තේ චිත්‍ර කලා ගුරුවරයකු වන මිල්ටන් ජයපාල මහතා විසිනි.

වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතාගේ දැඩි උත්සාහය මත්තෙන් බිහි වූ සරදියෙල් ගම්මානය 2012 ජනවාරි 29 වැනි දින මහජනතාවට නැරඹීමට  විවෘත කර ඇත. ඉතිහාසය සහ සොබාදහම පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට මෙන් ම ඡායාරූපකරණය, සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණය සඳහා ද යොදාගත හැකි අයුරින් මේ ගම්මානය නිර්මාණය වී තිබේ.


කඳු නැගීම, කඳවුරු නිර්මාණය කිරීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වන සංචාරකයන් හට ද සරදියල් ගම්මානය අපූරු තෝතැන්නකි.

සරදියෙල් ගම්මානය නැරැඹීම සඳහා පූජ්‍ය පක‍ෂයෙන් හා වයස 05ට අඩු දරුවන්ගෙන් අය කිරිමක් සිදු නොකරයි. සංචාරක ආකර්ෂණය දිනා ඇත්තා සේම මේ සුන්දර පරිසරයේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමට වටිනාකම රදවා ගැනීමට ද මතක තබා ගත යුතුය.

 මූලාශ්‍ර 

www.dinamina.lk

www.facebook.lk

www.travelerspage.lk

Wednesday, December 21, 2022

කැළණිය රජමහා විහාරය

කැළණිය පුරවරයේ සුපහන් පුණ්‍ය භූමිය වන කැලණිය රජමහා විහාරය අනන්ත බෞද්ධ ශ්‍රාවකයන්ගේ වන්දනාමානයට පාත්‍ර වන්නකි. බුදු රජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද කැලණිය  පින් බිම වසර දහස් ගණනක පැරණි ඉතිහාසයකට උරුමකම් කියයි. එකල බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක් වුණු කැළණි පුදබිම අදටත් ලක් වාසී බෞද්ධ  ජනතාව නිරන්තරයෙන් වන්දනාමාන කරන ස්ථානයකි. 

බුදුන් වහන්සේගේ තෙවරක් ලංකාවට වැඩම කළ බවත් ඉන් තුන්වන වර ලංකා ගමනයකැළණි විහාරයට බව ඓතිහාසික මූලාශ්‍ර වල සදහන් වේ. ගෞතම බුදුන්වහන්සේ කැළණියට වැඩම කිරීම  බුද්ධත්වයට පත්වීමෙන්  වසර 8 කට පසුව සිදු ව ඇත. බුදුන් වහන්සේ කැළණියට වැඩම කළේ මණිඅක්ඛිත නා රජතුමා කළ ඉල්ලීමක් සලකා බව පැවසේ. එදා බුදුන්වහන්සේට ධර්මය දේශනා කිරිම සඳහා මණිඅක්ඛිත රජතුමා විසින් මැණික් පුටුවක් සාදවා තිබූ අතර බුදුන්වහන්සේ  ධර්මය දේශනා කර අවසන් වීමෙන් පසුව එම මැණික් පුටුව තැන්පත් කර කැළණි ස්ථූපය තැනූ බව ශාසන ඉතිහාසය තුළ සඳහන් වේ.

ධාන්‍යාකාර හැඩයට නිර්මාණය කර ඇති කැළණි ස්ථූපය මණිඅක්ඛිත නා රජතුමාගේ නිර්මාණයක් වූවත් එය විශාල කර සාදවා ඇත්තේ යඨාලතිස්ස රජතුමා විසිනි. වර්තමානය වන විට අඩි 90 ක් පමණ උසකින් යුත් ස්ථූපයේ වට ප්‍රමාණය අඩි 180 ක් පමණ වේ. ලංකාවේ මුල් යුගයේ ඉදි වූ   කැළණි ස්ථූපය 13 වන සියවසේ දී  පමණ කාලිංග මාඝ විසින් සිදුකළ ආක්‍රමණය නිසා විනාශයට පත් වී ඇත. විනාශයට ලක් වූ මෙම ඓතිහාසික ස්ථූපය යළි ප්‍රතිසංස්කරණ කරනු ලැබුවේ තෙවන විජයබාහු රජතුමා බව ද මූලාශ්‍ර හෙළි කරයි.

කැළණිතිස්ස නම් රජතුමා කැළණි රාජධානියේ පාලකයා වශයෙන් කටයුතු කළ අවධියේ දී සිදුවුණු මුහුද ගොඩගැලීමක් පිළිබඳව ඉතිහාසයේ සඳහන් වේ. එයට හේතු ව රජතුමා රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක ගිල්වා අපවත් කරවීමයි. රජතුමාගේ බිසව සමග රජුගේ සොයුරු උත්තිය කුමරු ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් බව කැළණිතිස්ස රජතුමාට ආරංචි වීමෙන් උත්තිය කැළණියෙන් පළා ගොස් රජ බිසවට රහසේ ම ලියුමක් යැවීමට කල්පනා කර ඇත. ඒ සඳහා ඔහු මහණ වෙස්ගත් පුද්ගලයෙකු යොදා ගෙන ඇත. මහණ වෙස්ගත් පුද්ගලයා මාලිගාවට ඇතුළුවන ක්‍රමයක් ගැන කල්පනා කරන විට හැමදාමත් රහතන් වහන්සේ නමක් මාලිගාවට වඩින බව දැක පසු දිනයේ දී රහතන් වහන්සේ සමග මාලිගාවට ඇතුළු වී ශ්‍රමණ වෙස්ගත් පුද්ගලයා හොර රහසේ ම ලියුම බිම දැමුවේ බිසවට එය ගැනීමටයි. නමුත් අවාසනාවන්ත ලෙස ලිපිය රජතුමාගේ අතට පත් විය. රහතන් වහන්සේ විසින් එම ලියුම ලියූ බවට රජතුමා සැක කර උන් වහන්සේ ව තෙල් කටාරමක ගිල්වා මරණයට පත් කළා. එම සිදුවීම හේතුවෙන් කම්පා වී මුහුද ගොඩගැලූ බව සදහන් වේ. මුහුද ගොඩගැලීම නිසා සිදුවෙමින් පැවති විනාශය නැවැත්වීම සඳහා රජුගේ දියණිය වුණු දේවි කුමරිය මුහුදට බිලි දුන් බව ද ඉතිහාසය තුළ පැවසේ.  කුමරිය රැගත් ඔරුව මාගම රාජධානියට අයත් වෙරළ සීමාවට ගොඩබැස ඇත. කුමරිය මුහුදු මහා විහාරය අසල ගොඩබට නිසා විහාර මහා දේවිය ලෙසින් ප්‍රකට විය. එකල මාගම රාජධානියේ පාලකයා වුණු කාවන්තිස්ස රජතුමාගේ අග බිසව වුණු විහාර මහා දේවිය දුටුගැමුණු රජතුමාගේ මෑණියන් වේ.

කැළණි විහාරයට පුද සත්කාර කළ රජවරුන් අතර  යඨාලතිස්ස රජතුමා කැළණි ස්ථූපය වඩාත් විශාල කර තනවා එහි මහල් පහකින් යුත් ප්‍රාසාදයක් ද ඉදිකර ඇත. දුටුගැමුණු රාජ්‍ය සමයේ දී කැළණි විහාරය තුළ රහතන් වහන්සේලා 500ක් පමණ වැඩ විසූ බව පැරණි ඉතිහාස කතාවල සඳහන් වේ. එකල විහාරයේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලබා දී ඇත. 

අනුරාධපුරයේ රජකම් කළ කණිෂ්ඨ තිස්ස නම් රජතුමා කැලණි විහාරයට උපෝසථාගාරයක් ඉදිකර ඇත. පොළොන්නරුව රාජධානියේ රජකම් කළ විශිෂ්ටතම රජවරුන් දෙදෙනෙකු වූ මහා පරාක්‍රමබාහු සහ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල කැළණි විහාරයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් සිදු කර ඇත. පොළොන්නරුව රාජධානිය විනාශ කරමින් කාලිංග මාඝ එල්ල කළ ආක්‍රමණයත් සමග කැළණි විහාරය ද පරිහානියට පත් විය. විනාශ වී ගිය කැළණි විහාරය යළි ගොඩනගනු ලැබුණේ තෙවන විජයබාහු රාජ්‍ය සමයේ ය. ඉන් පසු දෙවන පරාක්‍රමබාහු, හයවන පරාක්‍රමබාහු යන රජවරුන් කැළණි විහාරය දියුණු කිරීම සඳහා ඇප කැප වී වැඩ කළ බව ද සදහන් වේ.

1505 වසරේ දී ලංකාවට පැමිණි පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය තුළ වාසය කළ අතර 1551 වසරේ දී හත්වන  බුවනෙකබාහු රජතුමා පෘතුගීසි සොල්දාදුවෙකුගේ වෙඩි පහරකින් මිය යාමත් සමගම ඔහුගේ මුණුබුරා වුණු ධර්මපාල කුමරු කෝට්ටේ රජු වශයෙන් අභිෂේක ලැබුවා. පෘතුගීසීන්ගේ අල්ලේ නැටවුණු රූකඩයක් බවට පත්වුණු ධර්මපාල කුමරු බෞතිස්ම කිරීමෙන් පසුව දොන් ජුවන් ධර්මපාල යන නම් දැරීය. දොන් ජුවන් ධර්මපාල රජතුමාගේ දුර්වල පාලනය නිසා පෘතුගීසින් කෝට්ටේ රාජධානිය තුළ තිබුණු පුරා වස්තු රැසක් විනාශ කර ඇත. 1575 වසරේ දී කපිතාන් දියෝගෝ ද මේලෝ ඇතුළු පිරිසක් කැළණි විහාරය කොල්ල කන ලදි. ඉන් පසුව ඔවුන් කැළණි විහාරය තුළ ආගමික වතාවත් කිරීම පවා තහනම් කර ඇත. පෘතුගීසීන් ලබාදුන් අණ නිසා කිසිදු පුද්ගලයෙකු කැළණි විහාරය වන්දනාමාන කිරීමට  නොපැමිණීම නිසා විහාරය වල් බිහි වී අභාවයට ගොස් ඇත.

මහනුවර රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ යුගයේ දී ඇති වූ මෙරට ශාසනික ප්‍රබෝධය නිසා කැලණිය යලි ගොඩ නැගී තිබේ. එකල බුදු  සසුනට ඉමහත් සේවයක් කළ වැලිවිට ශ්‍රී සරණංකර හිමියන් කැළණි විහාරය යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදි. සරණංකර හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබීම නිසා වල් බිහි වී නටබුන් ව පැවති විහාරය යළි ප්‍රතිසංස්කරණය කර ඇත.


කැළණි විහාරයේ සිතුවම්  යුග දෙකකට අයත් බවට විශ්වාස කරයි. මහනුවර යුගයේ දී නිර්මාණය කළ සිතුවම් අතර වෙස්සන්තර, මහාසීලව, ධර්මපාල ආදී ජාතක කතා රැසක් දැක් වේ. එසේම 20 වැනි සියවසේ දී සෝලියස් මැන්දිස් විසින් ඇඳි සිතුවම් ද කැළණි විහාරය තුළ දක්නට ලැබේ. එදා කැළණි විහාරයේ ප්‍රධාන විහාරගෙය විනාශ වී තිබුණු නිසා එය යළි ගොඩනැගීම සිදුකළේ හෙලේනා විජේවර්ධන නම් මහා දානපතිනිය යි. එහිදී විහාර ගෙය තුළ චිත්‍ර ඇඳීම සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියාට භාර කර ඇත. එම වගකීම භාරගත් චිත්‍ර ශිල්පියා බුදුන්වහන්සේ ලංකාවට වැඩම කිරීම, දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දළදාව වැඩම කරවීම, සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරවීම වැනි සිතුවම් රැසක් නිර්මාණය කර ඇත. එම චිත්‍ර මේ වන විටත් සංරක්ෂණය වී පවතී.

දස දහස් ගණනකගේ පාදස්පර්ශය ලබන කැලණිය පිළිබඳ සදහන් කරන විට අපූරු වැකියක් ද සිහිවේ. 

"උපන් දා සිට කරපු පවි නැත

වරක් වැන්දොත් කැලණියේ" 

මේ අසිරිමත් පින් කෙත වැදපුදා ගැනීමට විවිධ දුර බැහැර ප්‍රදේශ වල බැතිමතුන් නිතර පැමිණෙනු දැකිය හැකිය.


මූලාශ්‍ර 

www.roarmedia.lk

www.kelani.viharaya.lk

www.facebook.com

Monday, December 5, 2022

අනුරාධපුර අටමස්ථාන වදින්න යමු ද

 

බෞද්ධයන්ගේ පූජා නගරය ලෙස අනුරාධපුරය හදුන්වා දෙන්නට හැක. මෙරට දහස් ගණන් බෞද්ධ ජනයාගේ පාදස්පර්ශයට පාත්‍ර වන අනුරාධපුර පින් බිම කාල සීමාවකින් තොරව වන්දනාමාන කර ගත හැකිය. ලංකාවේ උතුරුමැද පළාතේ අගනගරය වන අනුරාධපුරයේ ආරම්භය ඉතා ඈත අතීතයට විහිදෙයි. විජය රජුගේ අනුරාධ  නම් ඇමති ස්වකීය නාමය මුල් කොටගෙන අනුරාධගාම නමින් ඉදි කළ ග්‍රාමය පසුව අනුරාධපුර බවට පත් විය. සොළී ආක්‍රමණය නොවන්ට මෙරට සෑම රජකුගේ ම වාසස්ථානය වූයේ අනුරාධපුර නගරය යි.  එදා ශ්‍රී ලංකාවේ අගනුවර  වූයේ ද මේ පුණ්‍ය භූමිය යි.

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිද්ධස්ථාන  "සොළොස්මස්ථාන" එනම් ස්ථාන 16 බව "මහියංගනං නාගදීපං" යන පාලි ගාථාව තුළින් පෙන්වා දී ඇත. මෙම සිද්ධස්ථාන දහසය අතුරෙන් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනාරාමය හා සේල චෛත්‍යය යන ස්ථාන 07 ම පිහිටා තිබෙන්නේ ඵෙතිහාසික අනුරාධපුර ශුද්ධ භූමියේ ය. අටමස්ථානය නමින්  හදුන්වන්නේ ඒවාය.

 අටමස්ථානය නමින් හැඳින් වූ සිද්ධස්ථාන කලින් කළ වෙනස් වී ඇත. මුල් වරට අටමස්ථානය යන වචනය සඳහන් ව ඇත්තේ දඹදෙණි සමයේ රචිත පූජාවලියෙහි ය. අනුරාධපුර රාජධානියේ පරිහානියත් සමග එය ජනශූන්‍ය ප්‍රදේශයක් විය.  එහි වෙහෙර විහාර ද ක්‍රමයෙන් ගරා වැටෙන්නට විය.

නමුත් අටමස්ථානයට අයත් ස්ථාන ලෙස,

                  ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

                  රුවන්වැලි මහා සෑය  

                  ජේතවනාරාමය  

                   අභයගිරිය 

                   මිරිසවැටිය

                   ලංකාරාමය

                   ථූපාරාමය

                   ලෝවාමහාපාය

යන ස්ථාන වන්දනාමානයට පාත්‍ර වේ. දැනට අනුරාධපුර අටමස්ථානය වශයෙන් ද සලකනුයේ ද මෙම සිද්ධස්ථාන අටයි. ශ්‍රී ලංකාවේ නොයෙකුත් පළාත්වලින් සංචාරක බැතිමතුන් අනුරාධපුරයට වන්දනාවේ පැමිණෙයි. මෙම බෞද්ධ සිද්ධස්ථාන  පාලනය වන්නේ අනුරාධපුර අටමස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාරක සභාවක් මඟිනි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

අනුරාධපුරයේ පූජනීය ස්ථාන අතර මුල් වන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. අනුරාධපුර මහමෙවුනා උයනේ ලෝවාමහාපාය අසල උඩමලුවේ එය පිහිටා තිබේ. අනුරාධපුරයේ පූජනීය වස්තූන් අතර ඵෙතිහාසික  උරුමයක් ඇති පූජනීය වස්තුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. ජය ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩමවන ලද්දේ දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීම මත දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ විශේෂ අනුග්‍රහය මත ය. සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් වැඩම වන ලද

ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි භූමියේ තවත් පරිවාර බෝධීන් වහන්සේ රැසක් රෝපණය කර තිබේ. ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා ය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අධිගෘහිතව සිටින්නේ කළුදේවතා බණ්ඩාර නොහොත් විෂ්ණු දෙවියන් බව සාම්ප්‍රදායික පිළිගැනීම යි. ශ්‍රී මහා බෝධිය උදෙසා  ආගමික පූජා රැසක් පැවැත් වේ. එහි අලුත් සහල් මංගල්‍යයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. අලුත් අවුරුදු මංගල්‍යය ද, පැරැණි අවුරුදු මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන උත්සව ද ශ්‍රී මහා බෝධින් වහන්සේ හා බැඳුණු ආගමික උත්සව පවතී.

රුවන්වැලි මහා සෑය

සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම වෛත්‍යය වශයෙන් සැලකෙන්නේ රුවන්වැලි මහා සෑයයි. මෙය දුටුගැමුණු රජු කරවන ලදුවත් සද්ධාතිස්ස රජු විසින් වැඩ නිමවන ලදි. ස්තූපය එකල අඩි 120ක් පමණ උසින් යුතු වේ. කාලයාගේ ඇවෑමෙන් රුවන්වැලි මහා සෑය ගරා වැටෙන්නට විය. එය ප්‍රතිසංස්කරණයට නාරංවිට සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ දායකත්වය හිමි විය. ප්‍රතිසංස්කරණයෙන් පසු ස්තූපයේ උස අඩි 338 කි. විෂ්කම්භය අඩි 294 කි. පරිමාව අඩි 942 කි. රන් ආලේප කළ කොත සහ චූඩා මාණික්‍යයේ උස අඩි 25 කි. රුවන්වැලි මහා සෑය අක්කර පහක හතරැස් මලුවක් මත පිහිටා තිබේ. මලුවේ එක් පැත්තක දිග අඩි 465 කි. ඒ වටා තිබූ පුරාණ ඇත් පවුර වෙනුවට අලුත් ඇත් පවුරක් ද තනවා ඇත.

ජේතවනාරාමය

අනුරාධපුර දාගැබ් අතර  වඩා විශාල වන්නේ ජේතවනාරාම දාගැබයි.  මහසෙන් රජු විසින් කරවන ලද එය මහා පරිමාණ ස්තූපයකි.  වත්මන වන විට එය නටබුන් ස්මාරකයක් ලෙස දක්නට ලැබේ. ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කර ඇති ජේතවනාරාම ස්තූපයේ විෂ්කම්භය අඩි 370 කි. දැනට අඩි 231 ක පමණ උසින් යුක්ත වන අතර අතීතයේ දී අඩි 400ක් උස් වූ බව කියැවෙයි. දාගැබ් මලුව අක්කර 7ක බිමක් වසා සිටියි. ස්තූපය වටා වාහල්කඩ සතුරකුත්, දාගැබ් මලුව වටා ඇත් පවුරකුත් තනවා තිබේ. බුදුරදුන්ගේ පටී ධාතුවෙහි කොටසක් මෙහි තැන්පත් කොට ඇති බව මූලාශ්‍ර වල සඳහන් වෙයි.

අභයගිරිය

අභයගිරි විහාරයේ ප්‍රධාන ස්මාරකය , පූජනීය ගොඩනැඟිල්ල  අභයගිරි ස්තූපය යි. අනුරාධපුර නගරයට උතුරු දෙසින් පිහිටා ඇත. යුද්ධයෙන් පරාද වූ වළගම්බා රජු ගිරි නිගණ්ඨයා විසූ ආරාමය අසලින් යන විට එහි  වාසය කළ උන් මහා කලු සිංහලයා පැන යනවා යැයි කියා රජුට විහිළු කළ බව මහාවංසයෙහි දැක්වෙයි. පසු කලෙක සතුරන් පළවා හැර රාජ්‍යත්වය හිමි කර ගත් එතුමා තම නමේ අග කොටස හා ගිරි නිගණ්ඨයා ගේ නම ද යෙදෙන පරිදි අභයගිරිය යැයි විහාරයක් කරවීය. එය පූජා කළේ රජුට බොහෝ උපකාර කළ මහාතිස්ස හිමියන්ට ය.

මුල් කාලයේ අභයගිරි ස්තූපය අඩි 400 ක් උස වූ අතර එය ඉන්දියාවේ කණිෂ්ක රජුගේ අඩි 638ක් උස ස්තූපයට පමණක් දෙවැනි විය. දැනට අභයගිරි විහාරයේ දක්නට ලැබෙන්නේ 12 වැනි ශත වර්ෂයේ දී මහා පරාක්‍රමබාහු රජු විසින් අඩි 350ක් උසට ප්‍රතිසංස්කරණය කරන ලද ස්තූපය යි. මෑත යුගයේ  මෙය ප්‍රතිසංස්කරණය කරවීය. දැනට මෙහි උස අඩි 245 කි. විෂ්කම්භය අඩි 587 කි. සුප්‍රකට සමාධි පිළිමය පිහිටා ඇත්තේ ද අභයගිරි භූමි ප්‍රදේශයේ ය.

මිරිසවැටිය

දුටුගැමුණු රජු විසින් ප්‍රථමයෙන් ම ඉදි කරවන ලද දාගැබ මිරිසවැටිය යි. මෙය ඉදිකොට තිබෙන්නේ තිසා වැවත්, අභය වැවත් අතර පිහිටි භූමි භාගයක ය. තිසා වැවේ ස්නානයට යන කල දුටුගැමුණු රජතුමාගේ ජයකුන්තය එක්තරා ස්ථානයක සිටුවා ගියේ ය. ස්නානය අවසන් කොට පැමිණි රජතුමාට එය ආපසු ගැනීමට නොහැකි විය. විශ්මය දනවන ලෙස එය එතැනම සවි වී තිබෙනු රජුට දැනිණ. රජු තම ජයකුන්තය වැසෙන සේ දාගැබක් බැඳ වූයේ ය. එය මිරිසවැටිය යි. තව ද සංඝයා වහන්සේට පූජා නොකොට තමන් අනුභව කළ මිරිස් මාළුවක් ගැන සිහිපත් කළ දුටුගැමුණු රජු එයට දඬුවමක් වශයෙන් මෙම ස්තූපය ඉදි කළ බව මහාවංසය කියයි. මිරිසවැටි යන නම ලැබුනේ ද එහෙයිනි.

 දුටුගැමුණු රජු සිහසුනට පත් වූ කල්හි ම ආරම්භ කළ මෙම වෛත්‍යයේ වැඩ අවසන් කිරීමට වසර තුනක් ගත වූයේ ය. පළමු වැනි ගජබාහු රජු මෙම චෛත්‍යය විශාල කොට එහි විසූ මහා සංඝයාට ගම් වරයක් ද පූජා කළේ ය. වෝහාරිකතිස්ස රජු ඡත්‍රය ප්‍රතිසංස්කරණය කොට පවුර ද කරවීය. 5 වැනි කාශ්‍යප රජු ස්තූපය හා විහාරයේ සියලු ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කරවීය.

බෞද්ධ පූජනීය වස්තූන් විනාශ කිරිමෙහි යෙදුණු සතුරු ආක්‍රමණිකයන්ගේ ප්‍රහාරවලට මිරිසවැටිය ද හසු වී විනාශ වී පැවති හෙයින් පසුව මහා පරාක්‍රමබාහු රජු එය අසූ රියනක් වන සේ විශාල කළේ ය. මිරිසවැටිය ස්තූපයේ මුලින් තිබුණු උස ගැන මහාවංසයේ සඳහන් නොවේ. පසුව එය ප්‍රතිසංස්කරණය කොට ඇත්තේ අඩි 160ක් උසට ය.

ලංකාරාමය

වළගම්බා රජු කරවූ සිලසොබ්භඛණ්ඩක චේතිය වර්තමාන ලංකාරාමය ලෙස හඳුනාගෙන තිබේ. රජ බිසව වූ සෝමා දේවිය ගේ ඉල්ලීම මත කරවූ මණිසෝමාරාමය එම ස්තූපය සහිත සංඝාරාමයේ මුල් නම විය. කණිට්ඨතිස්ස රජු එයට විශාල පිරිවෙනක් කරවා ස්තූපයට ථූපඝරයක් ද ඉදි කරවීය. ගෝඨාභය රජු ථූපඝරය ප්‍රතිසංස්කරණය කරවීය.

ලංකාරාම ස්තූපය හා ථූපඝරය දරා සිටින වෘත්තාකාර පාදම වේදිකා දෙකකින් යුක්ත ය. දෙකේම මුළු උස අඩි 8 අඟල් 5කි. පහළ වේදිකාවේ විෂ්කම්භය අඩි 44 අඟල් 2 කි. උස අඩි 03 අඟල් 08කි. යට වේදිකාව ගලින් තනවා තිබේ. උස වේදිකාව මුළුමනින් ම ගඩොලින් තනවා තිබේ. එහි උස අඩි 4 අඟල් 1කි. එහි විෂ්කම්භය අඩි 40 කි.

ලංකාරාම වෛත්‍යයේ විෂ්කම්භය අඩි 38ක් වෙයි. ඉහළ වේදිකාවේ සිට ස්තූපයේ අවශේෂ කොටස් එනම් හතරැස් කොටුව මුදුනට උස අඩි 33 අඟල් 7කි. නැගෙනහිරින් දකුණින් හා උතුරින් පඩි පේළි සහිත දොරටු තුනකි.

ථූපාරාමය

ථූපාරාමය අනුරාධපුරය මහා ආවාස පහෙන් එකකි. මහින්දාගමනයෙන් පසු ලංකාවේ ඉදි වූ මුල්ම ඵෙතිහාසික ස්තූපය ථූපාරාමය යි. ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වූ දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරවන ලදී. රුවන්වැලි මහා සෑයට මඳක් උතුරු දෙසින් ද, අභයගිරියට දකුණින් ද අභය වැව හෙවත් බසවක්කුලමට ඊසාන දෙසින් ද ථූපාරාමය පිහිටියේ ය.

මෙම දාගැබෙහි නිධන් කොට ඇත්තේ බුදුරදුන්ගේ දකුණු අකු ධාතුන් වහන්සේ බව මහාවංශයේ සඳහන් වෙයි. බුදුරදුන් තෙවැනිවර ලක්දිවට වැඩම වූ අවස්ථාවේ දී සුළු වේලාවක් සමාධියෙන් වැඩ සිටීමෙන් පාරිශුද්ධත්වයට පත් වූ භූමි ප්‍රදේශයක මෙම ථූපාරාම දාගැබ පිහිටා තිබේ.

පොළෝ මට්ටමෙන් අඩි 11 1/2ක් උස කවාකාර වේදිකාවක් මත ථූපාරාමය පිහිටා තිබේ. මෙම කවාකාර වේදිකාවේ විෂ්කම්භය අඩි 164 අඟල් 6 කි. වෛත්‍යයේ විෂ්කම්භය අඩි 59ක් වන අතර උස අඩි 63 කි. සෙල්ලිපිවල ථූපාරාමය හඳුන්වා ඇත්තේ “ තුඹරුප් වෙහෙර” යනුවෙනි. එකල ථූපාරාමය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වූ බව විශ්වාස කෙරේ. වර්තමානයේ දක්නට ඇත්තේ වර්ෂ 1862 ප්‍රතිසංස්කරණ අවස්ථාවේ දී නිර්මාණය කළ ඝණ්ඨාකාර ස්වරූපය යි.

ලෝවාමහාපාය

ලෝවාමහාපාය යනුවෙන් හැඳින්වෙන්නේ මහා විහාරයේ පොහොය ගෙය යි. ශ්‍රී මහා බෝධියත්, රුවන්වැලි මහා සෑයත්, අතර නැගෙනහිර පැත්තට බරව ලෝවාමහාපායෙහි නටබුන් පිහිටා තිබේ. එක් පේළියකට මහා ගල් කුළුණු 40 බැගින් පේළි හතළිහක මුළු ගල්කණු සංඛ්‍යාව 1600 කි. දැනට පෙනෙන අන්දමින් එම ගල් කණු සිටුවා ඇත්තේ මහා පරාක්‍රමබාහු රජුගේ නියමය පරිදි ය. ගල්කණු තිබෙන භූමිය හරි හතරැස් වෙයි. යටින් ඇති අත්තිවාරම එක් පැත්තට අඩි 200 බැගින් වෙයි. මුල් ලෝවාමහාපායේ පළල අඩි 200ක් විය.

මෙය ලෝවාමහාපාය නම් වූයේ දුටුගැමුණු රජුගේ කාලයේ දී ය. ඒ නව මහලක් ඉදිකොට වහල තඹ උළුවලින් සෙවිලි කොට තිබූ නිසා ය. මෙම ලෝවාමහාපාය දෙවනපෑතිස් රජු විසින් ඉදිකරවන ලද අතර පසුව එය දුටුගැමුණු රජු විසින් නවමහල් කොට විශාල කරන ලදී. මහාවංසය සඳහන් කරන පරිදි මෙහි යට මාලයේ මාර්ගඵල නොලත් පෘථග්ජන භික්ෂූන් වහන්සේ ද, දෙවැනි මහලේ ත්‍රිපිටකධාරි භික්ෂූන් වහන්සේ ද, තෙවැනි සතර වැනි හා පස්වැනි මහල් හි පිළිවෙලින් සෝවාන් , සකෘදාගාමි, අනාගාමි භික්ෂූන් වහන්සේ ද, පස්වැනි මහලේ නව වැනි මහල දක්වා රහතන් වහන්සේ ද වැඩ සිට ඇත.

අනුරාධපුර වන්දනාමාන යට යන සැදැහැවතුන් හට මග නොහැර අටමස්ථානය වැද පුදා ගැනීමට හැකිය. නවාතැන්  ලබා ගෙන නිස්කලංක ලෙස මෙහි ගමන් කළ හැකි පහසුකම් පවතී. පොදු ප්‍රවාහන සේවයෙන් වගේ ම දුම්රිය මාර්ගයෙන් ද බැතිමතුන්ට පැමිණිය හැක. 

මූලාශ්‍ර 

http://www.roar.media.lk

http://www.subasetha.lk

http://www.aruna.lk

http://www.budusarana.lk

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...