Thursday, June 22, 2023

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට කදිම විවේක ස්ථානයක් වගේම කුඩා දරුවන්ට ක්‍රීඩා පිටියක් ලෙස ප්‍රචලිත සොඳුරු උද්‍යානය කල්ලඩිය වේ.

සුන්දර කල්ලඩි වෙරළ තීරය නැඟෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි පිහිටා තිබෙන්නකි. සුන්දර වෙරළ තීරයක්, කලපුවක්, කුඩා දූපත් සමූහයක් හා කඩොලාන වනයකින් වට වූ අපූරු භූ ලක්ෂණයන්ගෙන් සමන්විත කල්ලඩිය මෙරට වෙනත් කිසිම ස්ථානයකින් නොදකින අන්දමේ චමත්කාර පරිසර පද්ධතියකි.

කල්ලඩිය තවත් සුන්දර වූයේ කල්ලඩි වෙරළේ බිහි වූ අපූරු වෙරළ උද්‍යානය නිසාය. නිසංසල  වෙරළ තීරයකින් සමන්විත කල්ලඩිය මේ වන විට ප්‍රකට සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් වී තිබේ. අතීතයේ එතරම් ප්‍රසිද්ධියක් නොලැබුණ ද සුනාමියෙන් පසු ඇති වූ සංවර්ධනය සමඟ මෙම වෙරළ තීරය සංචාරක පහසුකම් සහිත වෙරළ උද්‍යානයක් ලෙස වැඩි දියුණු ව ඇත.

ළමා උද්‍යානයක් හා ක්‍රීඩා අංගණයක්, උද්‍යාන බංකු සහ කුටි ඇවිදීමේ මං පෙත්, ලී පාලම්, අවන් හල්, ගිමන් හල් හා සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් මෙහි ඉදි කර තිබේ.

කල්ලඩි වෙරළ තීරය එක් පසෙකින් අලංකාර ෆයිනස් වන වගාවකින් ආවරණ වන අතර වෙරළ තීරය දිගේ දිවෙන කස ගස්‌ පෙළ වෙරළ තීරයට අපූර්ව සුන්දරත්වයක්‌ එක් කර ඇත. මෙහි හමු වන්නේ අනෙක් තැන්වල නොවන ගොරෝසු වැල්ලක් සහිත වෙරළ තීරයකි. මේ නිසා  පහසුවෙන් ඇවිදීමට සහ ක්‍රීඩා කිරීමට මෙම වෙරළ තීරය ඉතා යෝග්‍ය වන අතර ජාතික මට්ටමේ ක්‍රීඩා තරගාවලි ගණනාවක්ම මෙම වෙරළ තීරයෙහි පැවැත්වේ. 

වෙරළෙහි සුන්දරත්වය විඳීමට පැමිණෙන පිරිස් පවා වෙරළ ක්‍රීඩා පිටියක් බවට පත් කර ගනී. මිනිසුන් පමණක් නොව සතුන් පවා වෙරළෙහි දැවටෙමින් ප්‍රීති වන ආකාරය  මෙම වෙරළ තීරයේ සුලබ දසුනකි. ක්‍රීඩා තරග හා රාත්‍රී සාද සඳහා ඉහළ ප්‍රසිද්ධියක් ද මෙම වෙරළ තීරය දරයි.

සුන්දර වෙරළ පරිසර පද්ධතියක් පැවතිය ද කල්ලඩිය වඩාත් ප්‍රකට වී ඇත්තේ වෙරළ නිසා නොව සින්දු කියන මාළුන් සිටින කල්ලඩි පාලම නිසායි. 

රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පද රචනය කළ විශාරද ගුණදාස කපුගේ මහතා ගායනා කරන “කල්ලඩි පාලම පාමුල සින්දු කියන මාළුවෝ” යන ජනප්‍රිය ගීතය නිසා කල්ලඩි පාලමෙහි සිංදු කියන මාළුන් පිළිබඳ වඩාත් ප්‍රසිද්ධියක් ඇති විය. කල්ලඩි පාලම අසල ගී ගැයූවා යැයි සඳහන් වන මාළුන්ගේ ගී හඬ දැන් නොඇසීම, යුද්ධයේ විනාශය හා සම්බන්ධ කොට එම 

ගීතයක් නිසා ජනප්‍රිය වූවද කල්ලඩි පාලමෙහි මෙන්ම සින්දු කියන මාළුන්ගේ කතාව ද බොහෝ පැරණි රසවත් කතාවකි. අතීතයේ මඩකලපුව හා කල්මුණේ යා ව ඇත්තේ කල්ලඩි තොටුපළෙනි. මෙම තොටුපළ හරහා බෝට්ටු මඟින් සම්පන්තුරේ වරාය දක්වා ප්‍රවාහන කටයුතු සිදු කෙරී ඇත. නමුත් ප්‍රවාහන අවශ්‍යතා වැඩි වීමත් සමඟ පාලමක් අවශ්‍ය වූ බැවින් 1921 දී විසල් කළපුව හරහා විහිදුණු අඩි නවසිය හතළිස් හයක් දිගැති පාලමක් ඉදිකිරීම ආරම්භ විය. 1924 දී විශාල කාල වර්ණ යකඩ පාලමක් ලෙස එය ඉදි කර අවසන් වූයේ ලංකාවේ පිහිටි දිගම යකඩ පාලම ලෙස වාර්තාවක් ද තබමිනි. මඩකලපුව නගරය කාත්තාන්කුඩිය දෙසට යාකරමින් A-4 අක්කරපත්තු-මඩකලපුව මාර්ගයේ කල්ලඩි ප්‍රදේශයේදී කළපුව හරහා ඉදි වූ මෙම දැවැන්ත යකඩ පාලම මිනිස් හැකියාවත් සොබා දහමත් එකට එක් වූ සුන්දර නිර්මාණයකි. 

මෙම යකඩ පාලම බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ බිරියගේ නමින් ලේඩි මැනින් යනුවෙන් නම් කළ මුත් මඩකළපුව කල්ලඩි ප්‍රදේශයේ පිහිටි මෙම සුන්දර පාලම ලොව පුරා ප්‍රසිද්ධ වූයේ කල්ලඩි පාලම නමිනි. නිල් පැහැයෙන් දිස්වන කරදිය කලපුව මැදින් විහිදෙන සම්පූර්ණයෙන්ම යකඩින් නිර්මාණය වූ කල්ලඩි පාලම කල්ලඩි පරිසර පද්ධතියට අපූර්ව චමත්කාරයක් ගෙන එන එයි. එමෙන් ම මඩකලපුවට පැමිණෙන සංචාරකයන් අතර ඉහළ ජනප්‍රියතාවක් හිමි කර ගැනීමට ද සමත් වෙයි.

මේ පාලම ඉදි වූ පසු ඒ වටා බොහෝ ජනප්‍රවාද බැඳුනත් එය වඩා ප්‍රකට වුයේ “කල්ලඩි පාලම පාමුල සින්දු කියන මාළුවෝ” යන ගීතය නිසාය. ගීතයේ ජනප්‍රියතාව නිසා සින්දු කියන මාළුන් කල්ලඩි පාලම යට සිටියා යැයි විශ්වාස කළත් කල්ලඩි පාලම යට සුන්දර කළපු දියේ ගී ගයන මත්ස්‍යයන් ගැන වර්තමානයේ අසන්නට ලැබෙන්නේ පුරාවෘත්තයක් ලෙසණි. මෙම සින්දු කියන මාළුන් පිළිබඳ සත්ත්ව විද්‍යාඥයන්ගේ මතය වන්නේ යම් හඬ රටාවක් නිකුත් කළ හැකි මත්ස්‍ය රංවු මෙම කලපුවෙහි වසන්නට ඇති බවත් ඔවුන්ගේ හඬ ගී හඬක් ලෙස මිනිසුන් වටහා ගන්නට ඇති බව ය.

නවසිය හැටේ දශකයේ දී මෙහි විසූ ෆ්රෑන්ක් ලෑන් පියතුමා විසින් කල්ලඩි පාලම යට කිසියම් මිහිරි රාවයක් නඟමින් පිහිනූ මාළු රෑනක නාදය පටි ගත කොට එය ශ්‍රි ලංකා ගුවන් විදුලි සේවයෙන් ප්‍රචාරය කළ බව සඳහන් වේ.  සී. ද එස්. කුලතිලක මහතා ඔහුගේ ජන සංගීත පර්යේෂණ යටතේ ද මෙහි මාළු රෑනක නාදය පටි ගත කොට ගුවන් විදුලියෙන් විකාශය කළ බව සඳහන් වේ.

මඩකලපුව වෘත්තාන්තය ලියූ නැඟෙනහිර පළාතේ ප්‍රධාන මුදලි එස්.ඕ. කනගරත්නම් මහතා සඳහන් කර ඇත්තේ මඩකලපුව පැරණි ලන්දේසි බළකොටුවට විරුද්ධ පැත්තෙන් පිහිටි තොටේ ඉහළින් මෙන්ම පහළින් තැන් කිහිපයක කලපුවේ පතුලෙන් අපූරු සංගීත නාද ඇසෙන බවත් ඒ ප්‍රදේශයේ පමණක් වාසය කරන සුවිශේෂ මසුන් වර්ගයකින් මේ නාදය පැමිණෙන බවටත් වාර්තා ඉදිරිපත් වූ බවයි.

මෙම සංගීත නාදය රාත්‍රියේ ඇසෙන බවත් පුර පසළොස්වක දා හා ආසන්න දිනවල සුළඟ අඩු වේලාවන්හි දී ගී තනුවක ඉමිහිරි නාදය මෙන් හෝ වයින් වීදුරුවක රවුම තෙත් ඇඟිල්ලෙන් සෙමෙන් පිරිමදින විට නැඟෙන මඳ තරංග නාදය මෙන්  මුහුදෙන් මතු වන බවත් එහි ශබ්දය තැනින් තැනට වෙනස් වන බවත් දැක්වේ. මේ නාදය නිකුත් වන්නේ මසුන්ගෙන් නොව මූදු බෙල්ලන්ගෙන් යැයි දේශීය බෝට්ටුකරුවන් අතර මතයක් පවතී. ශබ්දය තැනින් තැනට වෙනස් වන්නේ ඒවා බිහි කරන බෙල්ලන් සංඛ්‍යාව තැතින් තැනට වෙනස් නිසා යැයි මතයක් පවතී. එමර්සන් ටෙනන්ට්ගේ 'ලංකාව' නම් ග්‍රන්ථයේ ද මේ පිළිබඳ තොරතුරු අඩංගු වේ.

1911 දී මඩකලපුවේ ජීවත් වෙමින් මේ පිළිබඳ අධ්‍යයනය කළ ආචාර්ය පියර්සන්ගේ අදහස වූයේ මෙම නාදය එන්නේ බෙල්ලන්ගෙන් නොව මසුන්ගේ කරමල් වලින් බවයි. සින්දු කියන මාළුන් නිසා ප්‍රකට වූ කල්ලඩි පාලම  ගමනාගමන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවූ බැවින් පැරණි යකඩ පාලමට අනෙක් පසින් අඩි හතළිස් හයක් පළල සහ අඩි නවසිය හතළිස් හයක් දිග නව කල්ලඩි පාලම ඉදි කර 2013 මාර්තු මාසයේදී මහජනතාව සඳහා විවෘත කර ඇත.

අතීත කල්ලඩි පාලම සම්පූර්ණයෙන්ම යකඩින් නිම කර තිබුණ ද ඉදි කළ නව කල්ලඩි පාලම කොන්ක්‍රීට් නිර්මාණයකි. නව පාලම නිසා පැරණි පාලමෙහි සුන්දරත්වයට තරමක් හානි සිදු වුවද මෙහි පරිසරය ක්‍රමයෙන් එයට අනුගත වෙමින් සිටී. සුන්දර කඩොලාන වනයකින් වටවුණු කල්ලඩි පාලම දැනට අත්හැර දමා ඇති ප්‍රදීපාගාරය අසල සිට වඩාත් සුන්දරව නැරඹිය හැකි අතර එතැන සිට බෝට්ටුවකින් සුන්දර පරිසර පද්ධතියක් හරහා පාලම යටින් ගොස් පාලම අවට පරිසරයෙහි සිරි නැරඹීමට හැකියාව තිබේ.

හිරු නැඟ එන උදෑසනක මෙන්ම  ඉර බැස යන සැන්දෑවක ද හුදෙකලා වූ පැරුණි පාලම මත සිට රාත්‍රිය උදාවන තුරුම එහි චමත්කාරය විඳිම අපූරු අත්දැකීමකි. මෙවන් අපූරු පරිසර පද්ධති රැක ගනිමින් එහි සුන්දරත්වය ස්වභාවික ව පවත්වා ගැනීම උදෙසා මිනිස් පා සටහන් පමණක් ඉතිරි කොට නික්මිය යුතුය.

මූලාශ්‍ර 

www.lankadeepa.lk

www.dinamina.lk

No comments:

Post a Comment

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...