Monday, May 22, 2023

බැද්දගාන තෙත්බිම් උද්‍යානය


නාගරික ප්‍රදේශයක පවතින නිස්කලංක  මනස්කාන්ත ස්වහාව සොන්දර්‍යයෙන් අනූන  බැද්දගාන තෙත්බිම් උද්‍යානය අපූරු තෝතැන්නකි. බැද්දගාන තෙත්බිම ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අගනගරයෙහි අධි නාගරීකරණය වූ පරිසරයක, නව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇත. කවුරුත් දන්නා දියවන්නා ඔය අසබඩ පිහිටි මෙම තෙත්බිම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභය භූමිය මායිමට ද ඇතුළත් වේ.

හෙක්ටයාර 18ක් පුරා පැතිරී ඇති මෙම හරිත කලාපයේ  තෙත් කලාපීය පහත් බිම්වල දක්නට ලැබෙන දේශීය කුරුළු විශේෂ, සුන්දර සමනල් විශේෂ මෙන්ම බත්කූරන් විශේෂ රැසකටද නවාතැන වී ඇත. එමෙන් ම පහත රට තෙත් කලාපයට ආවේණික වූ ගස්වැල් රැසකින් සමන්විත මේ බිම සංක්‍රමණික කුරුළු විශේෂ රැසකගේද ආගමනය සිදුවන කුරුළු තොටක් ලෙස හදුන්වා දිය හැක. අතීතයේ පටන් පරිසරවේදීන්ගේ හා විශේෂඥයන්ගේ නිරන්තර අධ්‍යයනයට ලක්වන මෙම පරිසර පද්ධතිය පිළිබඳ වාර්තා රැසක් එයට සාක්‍ෂි සපයයි.


නාගරික පරිසර සඳහා නගර සැලසුම් නිර්මාණයේදී මෙවැනි තෙත්බිම් පරිසර පද්ධති, හරිත කලාපයන් ලෙසින් මිනිසාගේ නිරෝගී දිවි පැවැත්ම උදෙසා උපකාර වන අතරම, විනෝද කටයුතු සඳහාද තිරසාර ලෙස සංවර්ධනය කළ හැකි ව ඇත. එම අදහස ද පෙරදැරි කර ගෙන බස්නාහිර පළාත් තෙත්බිම් කලාපීකරණය යටතේ සකසන ලද උපදෙස් මාලාව අනුගමනය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2006 වසරේදී නව පාර්ලිමේන්තුව වටා ඇති පරිසර අධිකාරිය සතු තර්ජනයට ලක්වූ තෙත්බිම් 11ක් සංරක්‍ෂණය කිරීමට සැලසුම් කර ඇත. බැද්දගාන තෙත්බිම් උද්‍යානය නිර්මාණයෙහි දෙවන අදියර ලෙස කෝට්ටේ කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය ද සංවර්ධනය කිරීමට නියමිත ව ඇත.

බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ මූලික අරමුණ වන්නේ වටිනා තෙත්බිම් පරිසරය සංරක්‍ෂණය කරමින්, එයට සිදුවන හානිය අවම වන පරිදි තිරසාර ලෙස සංවර්ධනය කර, උද්‍යානයක් ලෙස පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමයි. එමෙන්ම පරිසර අධ්‍යයන කටයුතු සඳහා ඉඩ සැලසීමද මෙහි අරමුණු අතර වේ.

දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තයට නව ප්‍රවණතාවක් ඇති කරමින් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘතියක්  ආරම්භ කිරීම මෙහි අරමුණ විය. සංචාරකයන් මෙන් ම සාමාන්‍ය මිමිසුන් ද තම කාර්‍යබහුලත්වයෙන් මිදීමට මෙම ස්ථානයට පැමිණෙන අතර මෙය අපූරු භූමියකි. විද්‍යාත්මක ගවේෂකයෙකුට මෙන්ම පරිසර සුන්දරත්වය විඳින්නන් හට බැද්දගාන තෙත්බිම් උද්‍යානය වටිනා තෝතැන්නකි.

කලබලකාරී කොළඹ නගරයේ හිත නිවෙන පරිසරය බැද්දගාන තෙත්බිම් උද්‍යානය ට ලගා වීමට  කොළඹ කඩුවෙල ප්‍රධාන මාර්ගයේ කඩුවෙල දෙසට යනවිට පොල්දූව නව පාලම පසුකිරීමට පෙර දකුණු අත පැත්තේ උද්‍යාන පිවිසුම හදුනා ගත හැක. උද්‍යානය විවෘතව තැබෙන්නේ දිනපතා උදෑසන 07 සිට පස්වරු 06 දක්වා  වේ. කුරුලු සහ පරිසර අධ්‍යයන සඳහා පැමිණෙන අයට  උදෑසන 6 සිට  විවෘත වේ. කොළඹ කියන්නේ කර්කශ පරිසරයක්. හුස්ම ගන්නට පිරිසිදු වාතය පවා අඩු ස්ථානයක්. එහෙත් තව ම හරිත වර්ණ ක්ෂේම භූමි කිහිපයක් කොළඹ  ඉතිරි වී තිබේ. 



බැද්දගාන තෙත් බිම් උද්‍යානය අපුර්ව සුන්දරත්වයකින් යුත් ගහකොළ, පක්ෂීන්, සමනලුන් පිරි උද්‍යානයකි. ශාක විශේෂ 100ක්, ක්ෂීරපායී සත්ව විශේෂ 10ක්, කුරුළු විශේෂ 50ක්, මත්ස්‍ය විශේෂ 20ක් පමණ දැකගත හැකි මෙම උද්‍යානයේ උභය ජීවී විශේෂ ගණන 5ක් පමණ ජීවත් වන බවද පැවසේ. ඒක දේශික ශාක සහ වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ශාක සහ සත්ව ප්‍රජාවන් රැසක් මෙහි දකින්නට ලැබීම විශේෂත්වයකි. පහත රට තෙත් කළාපයට ආවේණික වූ ගස්වැල් රැසක් සහිත මේ පරිසරය සංක්‍රමණික කුරුලු විශේෂ රැසකට සොඳුරු නවාතැනක් ව ඇත.

බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ මූලික අරමුණ වන්නේ වටිනා තෙත්බිම් පරිසරය සංරක්‍ෂණය කරමින් එයට සිදුවන හානිය අවම වන පරිදි තිරසාර ලෙස සංවර්ධනය කර උද්‍යානයක් ලෙස පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීම සහ පරිසර අධ්‍යයන කටයුතු සඳහා ඉඩ සැලසීමයි. බැද්දගාන තෙත්බිම්  උද්‍යානය පරිසරවේදීන්ගේ හා විශේෂඥයන්ගේ නිරන්තර අධ්‍යයනයට ලක්වන වටිනා පරිසර පද්ධතියකි.

කණු මත ඉදිකළ නිරීක්ෂණ කුලුණු, ගමන් පථ සහ නිරීක්ෂණ ස්ථානවලින් මෙම තෙත්බිම් පරිසරය මනාව සංරක්ෂණය කර ඇති බව උද්‍යානය තුළට පිවිසෙන විට දැකගත හැකියි. නරඹන්නන්ගේ පහසුව සඳහා උද්‍යානය ප්‍රදේශ 12කට පමණ වෙන්කර තිබේ. උද්‍යානයේ එළිමහන් ප්‍රදේශය තුළ මඩෙහි ඇවිදින පක්ෂීන් දැකගත හැකි ප්‍රදේශය, සැඟවී පක්ෂීන් නිරීක්ෂණය කළ හැකි ස්ථානය, සමනලුන් ගහන ප්‍රදේශය, ගිමන් හල, පක්ෂි නිරීක්ෂණ කුලුණ, තාරා පොකුණ, දියවන්නා ඉවුර අසබඩ සක්මන් මාර්ගය, හඳුන් දිවියා ගැවසෙන අඩවිය, වන සැරි මාවත සහ පාවෙන වේදිකාව ඒවායි. එම නිසා විද්‍යාත්මක ගවේශකයන්ට පමණක් නොව පරිසරයේ සුන්දරත්වය විඳීමට කැමති කා හටත් මේ උද්‍යානය අපූරු ස්ථානයකි. පවුලේ සියලු දෙනා සමඟ පැමිණ නැරඹිය හැකි සොඳුරු ස්ථානයක් ලෙස ද මෙය පෙන්වා දිය හැක. විශේෂයෙන් කුඩා දරුවන්ට සතුන් ඇතුළු පරිසරය ගැන දැනුම, අවබෝධය ලබාගත හැකි ස්ථානයක් වේ.

කුරුල්ලන් නැරඹීමට සුදුසු ස්ථානයක් ලෙස බැද්දගාන තෙත්බිම් උද්‍යාන සංචාරකයන් අතර ප්‍රසිද්ධයි. මේ තෙත්බිම් උද්‍යානයේ එක් එක් ස්ථානවලදී ඔබට දැකගත හැකි කුරුලු වර්ග පිළිබඳ ඒ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරු මඟින් දැනුම්වත් කර ඇත. කුරුල්ලන් නැරඹීම සඳහා උදෑසන 6-8 කාලය වඩා සුදුසුයි. මෙහිදී අලංකාර සංචාරක කුරුල්ලන් රාශියක් දැකගත හැකි වේවි. කුරුල්ලන් නැරඹීමට යන විට හැකි තරම් නිහඬව ගමන් කිරීම උචිත වන්නේ ශබ්ද නිසා කලබලයට පත්වන කුරුල්ලන් සැඟවී සිටීමට උත්සාහ දරන නිසයි. මුවාවී කුරුල්ලන් නිරීක්ෂණය කිරීමට සහ ඡායාරූප ගත හැකි ස්ථානයකුත් මේ උද්‍යානය සතුයි. කුරුලු තොරතුරු පුවරුවලින් ඔබට කුරුල්ලන් ගැන තොරතුරු රැසක් දැනගත හැකියි.


සාමාන්‍යයෙන්  උද්‍යානය සම්පූර්ණයෙන් නැරඹීමට පැය 1 ½ක පමණ කාලයක් ගතවන අතර අනවශ්‍ය ලෙස උද්‍යානයේ රැඳී සිටීම නරඹන්නට  හිරිහැරයක් විය හැකියි. උද්‍යානය තුළට ප්ලාස්ටික්, පොලිතින් සහ ආහාර ගෙන ඒම සපුරා තහනම් බව උද්‍යානයේ පාලනාධිකාරිය දන්වා ඇත. 

No comments:

Post a Comment

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...