Sunday, February 27, 2022

සීතාවක උද්භිත උද්‍යානය

 

බස්නාහිර පළාතේ පිහිටි සුන්දර ඉසව්වක් ලෙස සීතාවක හදුන්වා  දිය හැක. 2008 වර්ෂයේ දී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ලෙස සීතාවක නම් කර ඇත. මෙය  බස්නාහිර පළාතට අයත් අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇත. මෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් 43 නොහොත්  අක්කර 106 ක් පමණ වේ.  


උද්‍යානය ආරම්භ කිරීමේ පරමාර්ථය වී ඇත්තේ අභියෝගයට ලක්ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තර වල පවතින  වෘක්ෂලතා ආදිය මතු පරපුර  සඳහා සංරක්ෂණය කිරීමට සුරක්ෂිත  මධ්‍යස්ථානයක් බිහි කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වේ. තෙත් කලාපීය භූදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද මෙය ස්ථාපිත ව ඇත. 

දිගුකාලීන අප්‍රසිද්ධියක් නැති ශාක හා ඌන උපයෝජිත ශාක වර්ග දැක බලාගැනීමට ද ඖෂධීය ශාක කර්මාන්තයේ වර්ධනය සදහා ද තෙත් කලාප තුළ උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස  මහජනතාවට සේවා සපයයි. 


බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකින් ලගා විය හැක.

උද්‍යානයේ බිම් සැකසුම උද්‍යානය තුළ භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම් තේ වගාව, මීවන උයන, රුක් උයන, තර්ජිත ශාක, තාල ශාක , මුදුන් උයන , රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව ආදි ලෙස ය. මෙම වැවෙහි හංස බෝට්ටු පැදීමට හැකිය. මෙහි තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට බොහෝ දෙනෙක් වෙන්කරවා ගනී.



උද්‍යානය  උදෑසන 7.30 සිට සවස 6.00 දක්වා විවෘත ව ඇත.  කාර්‍යබහුලත්වයෙන් පිරි නාගරික ප්‍රදේශයක මෙවන් සුන්දර භූමියක් පවතින්නේදැයි   සිතා ගත නොහැකි තරම් ය. ස්වභාව සෞන්දර්යයෙන් අනූන මනසික නිදහස නිස්කලංක බව පවතින සුන්දරත්වය පිරි පාරාදීසයක් ලෙස සීතාවක හදුනා ගත හැක . 

උණුසුම් පරිසරයෙන් මදකට මිදී  ගත සීත කරන තෙත් පරිසරක ආශ්වාදය විදගන්නට  සීතාවක සංචාරයට එකතු කර ගන්නට සිහිතබා ගන්න. 

මූලාශ්‍ර 

www.savariyak.blogpost.com

www.facebook.com

www.ewinsal.com

Friday, February 25, 2022

සුන්දර දෙනියාය

 

මෑතකාලීනව බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයකි දෙනියාය. දෙනියායේ සංචාරය කරන විට නැරඹිය හැකි ස්ථාන කිහිපයක් ම පවතී. ඇතැම් අය දෙනියාය ප්‍රදේශය හදුන්වන්නේ පුංචි නුවරඑළිය ලෙසිනි.  දෙනියාය  එහි ජෛව විවිධත්ව ලක්ෂණ සහ සුන්දරත්වය නිසා සංචාරකයන් අතර අතිශය ලෙස ජනප්‍රිය වී ඇත.

දෙනියාය ට ලගාවිය හැකි මාර්ගය ලෙස මාතර සිට අකුරැස්සට පැමිණ අකුරැස්සෙන් දෙනියාය පාරේ ඇවිත් පිටබැද්දර , මොරවක , කොටපොළ ආදී නගර කිහිපයක් පසු කරවිට දෙනියාය නගරයට ප්‍රවිෂ්ට විය හැක. විදේශීය සංචාරක ආකර්ශනය බහුලව දිනාගෙන තිබෙන දකුණේ  සීත ප්‍රදේශයක් ලෙස දෙනියාය හැදින්විය හැක. දෙනියායට යන අතරමග වගේම දෙනියායයේ දීත්  නුවර එළියෙ වගේම විශාල තේ වතු දැකිය හැක.  අකුරැස්ස දෙනියාය මාර්ගය  විශාල  වංගු සහිත කඳු වලින් යුක්ත වේ. මෙම මාර්ගයේ එක් පසෙක විශාල බෑවුම් ලක්ෂණ දැකිය හැකි නිසා ප්‍රවේශමෙන් ගමන් කිරීම වැදගත් වේ.


ඕලු දොළ මේ ගමන අතර මග හමුවන   බොහොම ලස්සන තැනකි. වතුරත් ගලා යන තැනක් ස්වභාවිකවම පොඩි විලක ආකාරයෙන් නිර්මාණය වී ඇත. ගොඩාක් අය මෙහෙට එන්නේ නාන්නට හා විනෝදවීමටයි. මෙය අකුරැස්සේ සිට දෙනියාය මාර්ගයේ එන විට  හමුවෙන හුලංදාව  ප්‍රදේශයට අයත් වේ. ඕලු දොළට පිවිසීමට  වැල් පාලමකින් එගොඩ විය යුතු වේ.

එලමල්දෙණිය රජමහා විහාරය ඓතිතිහාසික පුණ්‍ය භූමියකි. එලමල්දෙණිය පන්සල නැරඹීමට  පිටබැද්දරින්  සියඹලාගොඩ මාර්ගයේ  ගමන් කර එහි අතර මග  හමුවන පරගස්තැන්න හන්දියෙන් හැරී යා යුතු වේ. රජමහා  විහාරයක් වන මෙම විහාරය වලගම්බා රජතුමාගේ කාලයේ සාදන ලද බව සදහන් වේ. මේ පන්සල රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පූජා කළ බවට ද මතවාද පවතී.



ඇතාමළ ඇල්ල දෙනියාය  පිටබැද්දර නිල් ඇල්ල වතුයාය  පාරෙ ගමන් කරන විට ඇතාමළ ඇල්ල හමු වේ. මෙ තැන ඉස්සර දවසක ඇතෙක් මළ නිසා ඇතා මළ ඇල්ල ලෙස ව්‍යවහාර වී ඇත.  උසෙන් අඩු වුනත් ඉතා අලංකාර දියඇල්ලකි. 

ගැටබරු දේවාලය ද දෙවුන්දර දේවාලය තරමට ම ප්‍රකට වූවකි. ගැටබරු දේවාලය හාස්කම් වලින් පිරි තැනක් විදිහට ජනයා තදින් විශ්වාස කරයි. මෙය ද රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට අයත් පූජා භූමියක් ලෙස හැදින්වේ. දෙනියාය  කොටපොළ නගරයට යාබද ව   ගැටබරුව දේවාලයට පිහිටා ඇත. 

දෙනියායට සංචාරයට යන්නන් හට නැරඹීමට හැකි තවත් ස්ථාන කිහිපයකි.



හත්මාලේ ඇල්ල  නොහොත් සත් මහල් ඇල්ල ඉතාමත් අලංකාරවත්  සුවිශේෂී භූ පිහිටීමක් සහිත ව පිහිටා ඇත. දිය ඇල්ලක් සාමාන්‍යය ක්‍රියාදාමය ජලය ඉහළ සිට පහළට  පතිත වීමකි. එහෙත් මෙම දිය ඇල්ලේ වතුර වැටෙනුයේ තට්ටුවෙන් තට්ටුවට යි. එසේ තට්ටු හතක් තිබීම  නිසාම හත්මාලේ ඇල්ල  නමින් මෙය හදුන්වා ඇත. තරමක් ගැඹුරින් වැඩි නිසා නෑමට යාම අවදානම් සහිත ය.


 "පැට්නා" දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ තේ වත්තක් මැද පිහිටි  අපූරු ස්ථානයකි.   දිය සීරාවක්  විදියට ඉහළ සිට පහළට ලිස්සාගෙන ගමන් කළ හැකි ආකාරයේ  පැතලි වක් විශාල ගල් තලයක් මෙහි තිබේ. මෙය බොහෝ විනෝදාස්වාදය ලද හැක්කකි. තරුණ මහලු සියල්ලන් ම මෙහි පැමිණ විනෝද වන ආකාරය හා සතුටු වන ආකාරය නිරතුරුවම දැකිය හැකිය.


සිංහරාජය ලෝක ප්‍රකට ජෛව විවිධත්ව පද්ධතියකි.  සිංහරාජ වනාන්තරයේ එක් ප්‍රවේශ දොරටුවක් දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ පිහිටා  තිබේ.  නිවර්තන වැසි වනාන්තර කාණ්ඩයට අයත් වන සිංහරාජ වනාන්තරය  විශාල දිය ඇළි ප්‍රමාණයක් ,  වන සතුන් රැසක් හා  පුළුල්  ශාක ව්‍යාප්තියක්  සහිත ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියකි.

දෙනියායේ සංචාරය කරන සංචාරකයන් හට  නවාතැන් පහසුකම්   ලබාදෙන ඉතා උසස් තත්ත්වයේ  නවාතැන් බොහෝ ප්‍රමාණයක් ද ස්ථාපිත ව ඇත. සිංහරාජය නරඹන සංචාරකයන්ට  වනාන්තරය මද්‍යයේ පවතින  නවාතැනේ නවතින්නට ද  හැකියාව තිබේ.

කාර්‍යබහුල ජීවිතයෙන් මිදී නිදහසේ සුන්දර නිවාඩුවක් ගත කරන්නට දෙනියායේ සංචාරය තුළින් හැකියාව ලැබේ. ඒකාකාරී ජීවන රටාවෙන් මදකට මෑත් ව පරිසරය සමග සමීප ව කල්ගත කිරිමට දෙනියාය සංචාරය වඩාත් යෝග්‍ය වේ.

සංචාරකයන් ලෙස පරිසර සුන්දරත්වය විද එය අපවිත්‍ර නොකර පිය සටහන් පමණක්  ඉතිරිකර ඒමට වග බලා ගත යුතුය. 

මූලාශ්‍ර 

www.lifie.lk

www.facebook.lk

www.srilankatravelpages.com

Monday, February 21, 2022

දුන්හිඳ ඇල්ල




ඌව පළාතේ සංචාරය කරන විට ප්‍රධාන ම සංචාරක පාරාදීසයක් ලෙස දුන්හිඳ ඇල්ල හැදින්විය හැක. මෙය ඉතාම දර්ශනීය දිය ඇල්ලක් ලෙස පෙන්වා දිය හැක. සොරණාතොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට මෙම දිය ඇල්ල සහිත වනාන්තර කොටස  අයත් වේ.

 බදුල්ල නගරයේ සිට 04 km ක් පමණ දුර ගියවිට දුන්හිඳ  වංගුව හමු වේ. එතැන් සිට තවත් කිලෝමීටරයක් පමණ දුර පා ගමනින් වන ලැහැබ ඔස්සේ ගමන් ගත යුතු ය. එය තරමක් අපහසු වූව ද එහි සොබා සෞන්දර්ය සිසිලස නිසා විඩාවක් නොදැනේ.  බදුලු ඔයේ නිම්නය හරහා මීටර් 63 කට ඉහළින් කොස්ගොල්ල ගම කෙළවර දුන්හිඳ ඇල්ල නිර්මාණය වී එතැනින් ගලා ගොස් මහවැලි ගගට එක් වේ.

දුන්හිඳ  ඇල්ලේ ආරම්භය ගැන ජනප්‍රවාදයේ විවිධ කතා සදහන් වේ.  අතීතයේ  රජ සමයේ දුන්හිඳ  පතන හා කොස්ගොල්ල අතර පුස්වැලක් තිබී ඇත. කලක් ගතවන විට මේ පුස්වැල විශාල වී එය අසල  කුණු රොඩු එකතු වී බදුලු ඔයේ ජල මාර්ගය අවහිර වී ඇත. එය බේසමක හැඩයෙන්  දිස් වී ඇති අතර බදුල්ල නගරය  ද මෙහෙයින් යට වී ගොස් ඇත. එවිට රජු අණබෙර යවා පසුවැල කප්පවා එය කැපූ තැනැත්තාට තෑගි බෝග පිරිනමා ඇත. එම ජලකඳ  පුස්වැල කැපූ ස්ථානයෙන් පහළට ගලා ගොස් එයින් දුන්හිඳ ඇල්ල නිර්මාණය වී ඇති බව සදහන් වේ. මෙහි සදහන් වන රජු එවකට බදුල්ලේ ප්‍රාදේශීය රජතුමා වූ කුමාරසිංහ රජු බවත් එම රජුගේ නිධන් වස්තු මෙහි ඇති බවත් ඉතිහාසයේ වංශ කතාවල සදහන් වේ.

දුන්හිඳ  ඇල්ල වැටෙන තැන සිට උමං මගක් තිබූ බව ගම් වැසියෝ අදත් විශ්වාස කරති. දුන්හිද දිය ඇල්ල මීටර් 63 ක් උසින් යුක්තය. දුන්හිඳ  දිය ඇල්ල නැරඹීමට සංචාරකයෝ නිරන්තරව ම  පැමිණෙති. එහි මග දෙපස කුඩා කඩ සාප්පු ද පවති. ඒ හා සම්බන්ධ  උප සංස්කෘතියක්ද ගොඩ නැගී තිබීම විශේෂත්වයකි.

ඇල්ල නැරඹීමට නැරඹුම් මැදිරියක් ඉදිකර ඇත. එය සංචාරකයන් හට චායාරූප ලබා ගැනීමට වඩාත් පහසුවකි. 

තරුණ පිරිස් ඇල්ලේ පාද පොකුණ වන තෙක් ම ගමන් කරන අවස්ථාවන් ද දැකිය හැකිය. නමුත් එය අවදානම්කාරී ගමනකි. 

දියඇල්ල අවට පරිසරය සංචාරකයන්ගේ නොමනා කටයුතු හේතුවෙන් තරමක් අපවිත්‍ර වී ඇත. ඇල්ලට ගමන් කරන මග තුළ රිළවුන් බොහෝ ප්‍රමාණයක් රැදී සිටියි. ඔවුන්ට ආහාර පාන ලබා දීමට ගොස් අනතුරු ද සිදු වී තිබේ. ඉතා ප්‍රවේශමෙන් ගමන් කිරීම යෝග්‍ය වේ. 

මෙවන් සුන්දර ස්ථානයන් තව බොහෝ කාලයක් පැවතිය යුතු වේ. එම නිසා පරිසරය පවිත්‍ර ව තබා ගැනීමට පරිසරය ට හානි නොකිරීම ට වග බලාගැනීම ඉතාම වටිනා කරුණකි. 


මූලාශ්‍ර 

www.google.lk 

www.dinamina.lk

Friday, February 18, 2022

අම්බුලුවාව

මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි අම්බුලුවාව අපූර්ව සංචාරක ස්ථානයකි.  ගම්පොළ , නුවරඑළියට , මාතලේ ,  හැටන් ප්‍රදේශ වල සංචාරයට යන විට   සංචාරය කළ හැකි  සුවිශේෂී ස්ථානයක් ලෙස අම්බුලුවාව හැදින්විය හැක. මෙය ගම්පොළ  නගරයට හොදින්  පෙනෙන කදුමුදුනක පිහිටි සුදු පැහැයෙන් දිස් වන අපූරුම නිර්මාණයකි.

මෙම ස්ථානයට ළගා වීමට ගම්පොළ  හෙම්මාතගම මාර්ගයේ ගමන් කළ යුතු වේ. පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නේ නම්  කදු මුදුනට යාමට  කිලෝමීටර 02 ක්  පමණ පයින් ගමන් කිරීමට සිදු වේ.  පෞද්ගලික  වාහනයකින් ගමන් කරන්නේ නම් කදු මුදුනට ම වාහනයෙන් ගමන් කළ හැකිය. 

අම්බුලුවාව යනු අක්කර 927 ක භූමියකින් යුතු සුන්දර පරිසර පද්ධතියකි. මෙහි සත්ත්වයන් හා ශාක විශාල ප්‍රමාණයක් සහිත ඉහළ ජෛව විවිධතවයක් ඇත. මෙහි අපෘෂ්ඨවංශික සතුන් රැසක් හදුනා ගත හැක. 

කෘමීන් හා කුරුමිණි වර්ග ද රැසක් ජීවත් වන අතර සමනළ වර්ග 20ක් පමණ ද වෙසෙන බව සදහන් වේ. උරග විශේෂ 43ක් පමණ ඇති අතර ඉන් 23ක් අප රටට ආවේණික වන බවද වාර්තා වේ. සර්ප වර්ග 24ක් පමණ ද මෙම පරිසර පද්ධතියේ ඇත. පක්ෂි විශේෂද 90ක් පමණ ඇති බවට ද සැලකේ.

කන්දේ නැගෙනහිර පැත්ත කලු ගලකින්ද අනෙක් පස වනාන්තර පරිසර පද්ධතියකින්ද සමන්විතය. කදු මුදුන පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 3567ක උසකිනි. මෙම කදුවැටිය සංවර්ධනය කිරීම 1997දී ඇරඹී ඇති අතර 2002දී මෙය ලොව හොදම සංවර්ධිත කදුවැටිය බවට පත්විය. 2007 වසරේ සැප්තැම්බර් 18 දින මහජනතාවට මෙය විවෘත විය. 

මෙම කදුවැටිය මුදුනේ ඇති ගොවිජන සෑය සර්ව ආගමික ස්ථානයක් ලෙස සලකයි. වී බිස්සක හැඩයට නිර්මිත මේ සෑය මගින් ගොවි ජනතාව නියෝජනය වේ. මෙම සෑය අඩංගු කුළුණ  එක උසින් අඩි 400ක් පමණ වේ. මෙහි විහාරගෙය තුළ බුදු පිළිමයකින්ද සමන්විතය.

මෙම සෑයේ ඉහළට නැගීම අතිශය ත්‍රාසජනක අත්දකීමකි. වර්තමානයේ බොහෝ තරුණ සංචාරකයන් අම්බුලුවාව වෙත ඇදී ඒමක් සිදු විය. ආකර්ෂණීය ස්ථානයක් වන මෙය නවමු අත්දැකීමක් එක් කරයි. සෑය මැදින්ද මෙහි ඉහලට යෑමට හැකි වුවත් එහිදී සෑය වටින් ගමන් කිරීමේදී ලැබෙන ත්‍රාසය උරුම නොවේ. 

ත්‍රාසය උපරිම වන්නේ මේ කුළුණ  වටෙන් ඉහලට යන විටයි. මෙහි සිට චායාරූප ගැනීමට බොහෝ දෙනෙක් ආස කරයි. වටේට ඇති පඩිපෙල සහිත මාර්ගය ඉහළට යන විට ඉතා  කෙටි වන අතර සෙනග සහිත දින වලදී මෙහි ඉහල  පහල  මාරු වන අය  ඉතාම තදබදයකට ලක් වේ. සමහර තැන්වල මෙසේ මාරු වීමට ගුහා වැනි ස්ථාන ඇත. 

මේ කුළුණේ ඉහලට අධික සුළගක් පතිත වන  බැවින් ත්‍රාසය  භීතිය උපරිම ලැබේ.  ඉහල තැන්වලට බය කෙනෙක් නම් මෙහි ඉහළට ගමන් කිරීමෙන් වැළකිය යුතුය.

මෙම සෑයේ ඉහළට පෙනෙන අවට දර්ශනය අතිශය සුන්දරය. ගම්පොළ  නගරය සම්පූර්ණයෙන්ම පෙනෙන අතර අනෙක් පසින් පුස්සැල්ලාව කොත්මලේ ප්‍රදේශ දර්ශනය වේ. මෙම කදුවැටියට පිදුරුතලාගල, නක්ලස්, හුන්නස්ගිරි,  පීකොක් හිල්, සප්ත කන්‍යා, නමුණුකුල කදුවැටි ද දර්ශනය වේ. එසේ ම කඩුගන්නාව, බලන, නෙල්ලිගල ප්‍රදේශයන්ද මෙහි දී පැහැදිලිව දැකිය හැකි වේ.

ගම්පොළ  හරහා සංචාරය කරන්නේ නම් මේ අම්බුලුවාව සෑය නැරඹා මෙහි ත්‍රාසජනක බව විද ගැනීමට අමතක නොකරන්න.  එමෙන් ම මෙම පරිසර පද්ධතිය මතු පරපුරටත් උරුම කරදීමට  විනාශ නොකර   සුරක්ෂිත කර ගැනීමට වග බලාගන්න.

මූලාශ්‍ර 

www.sltraveler.lk

www.lifie.lk

www.facebook.lk

www.google.lk

Tuesday, February 15, 2022

සුන්දර ඇල්ලේ සංචාරය


විදේශිය සංචාරකයන් අතර ප්‍රසිද්ධ තවත් අපූරු සංචාරක පුරවරයක් ලෙස ඇල්ල හදුන්වා දිය හැක. කඳු නගින්නන් අතර හා කූඩාරම් වල නවතිමින් යන්නන්ට ඇල්ල ප්‍රදේශය ඉතා ප්‍රසිද්ධ ව ඇත.  මෑතකාලීනව  ලංකාවේ තරුණ පිරිස ඇල්ල සංචාරක කලා­පය බහුල ව තෝරා ගනී.

බදුලු කෝච්චියෙන් ඇල්ල සංචාරයේ යන්න ගොඩාක් අය උනන්දුවක් දක්වයි. ඒ වගේම පොදු ප්‍රවාහනය සහ පෞද්ගලික වාහන වලින් ද ඇල්ල නගරය ට පහසුවෙන් ලගා විය හැක.  කෝච්චියෙන් එන ගමන බොහෝ  සුන්දරයි. නමුත්  දවසක්ම  පැය 12  ක් කෝච්චියේ ගමන් කරන්න සිදු වෙන නිසා ඒ ගමන ටිකක් වෙහෙස දායී වේ.

මේ කාලය ලංකාවට විදේශීය සංචාරකයන් පැමිණෙන කාලය නිසා බොහොමයක් හෝටල් සහ නවාතැන්හල් විදේශිකයන්ගෙන් පිරී පවතී.  ඇල්ලට යන්න කලින් ම නවාතැනක් වෙන් කරවා ගන්න  එක පහසුවට කරුණක් වේ.ලංකාවේ සුන්දරත්වය  සමස්තයක් ලෙස සිතන්නට  ඇල්ල නගරය කදිම නිදසුනකි.

පුංචි සිරි පාදය ඇල්ලේ හමුවන තවත් එක් ආකර්ෂණීය ස්ථානයකි. ඇල්ල හන්දියෙන් නමුනුකුල මාර්ගයේ  2km ක්  පමණ යන විට පුංචි සිරි පාදයට යන පාර හමු වේ. කුඩා තේ වත්තක් මැදින් වැටුන පාරක අවට පරිසරයේ ලස්සන බලමින් ගමන් කිරීමට හැකිවේ.  මීටර් 1141 උස මේ කන්ද  පැයක් වගේ කාලෙකින් නගින්නට හැකි වේ. මේ කුඩා කන්ද නගින එක එතරම් දුෂ්කර නොවේ.

ඇල්ල රොක් ද කදු නගින්න ආස කරන අයගෙ පාරාදීසයක් ලෙස හදුන්වා දිය හැකිය. ඇල්ල රොක් , පුංචි සිරී පාදයට වඩා ටිකක් අපහසුවෙන් නගින්නට වෙන කන්දකි. පැය එකහමාරක් වගේ කාලයක් තුළ කන්ද නගින්නට ගත වේ. කිතල් ඇල්ල දුම්රිය ස්ථානයට පහලින් තිබෙන මාර්ගයෙන් මෙයට පිවිසිමට හැකිය. 


ඇල්ලේ ඉදන් රේල් පාර දිගේ ඇවිදන් යන්නට ද හැකිය.  තව ද ඇල්ල නගරයේ තියෙන පොඩි බිම්ගේ ලගින් උඩට යන පාරෙන් ද  කිතල් ඇල්ල දුම්රිය ස්ථානයට යන්නට හැකි වේ.

කිතුල් ඇල්ල කාලෙකට විතරක් සක්‍රීය වන්නකි. කුඩා වතුර පාරක් අවුරුද්ද පුරාවටම ඇදහැලෙයි. මේ ඇල්ල හොඳ ට බලන්නට  හැකි  තැනක් නැත. නමුත් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ත් කිතල් ඇල්ල මාර්ගයේ ත් මෙම ඇල්ල දැකිය හැකිය. මේ ඇල්ලෙ හරිම ලස්සන බලන්නට නම් වැස්ස කාලෙක ගමන් කළ යුතු වේ.කිතුල් ඇල්ල ස්ටේෂන් එක ලග තිබෙන බෝ ගහ ළගින් උඩට යනකොට  කිතල් ඇල්ල හමු වේ.


 ඒ වුනත් කිතල් ඇල්ලේ වතුර මට්ටම ඉතා අඩු වී ඇත. එහි ඇති පොඩි පාලමෙන් උඩට තීන පාර තමා ඇල්ල රොක් වලට යන මාර්ගය. බොහෝ විදේශිකයන්  ඇල්ල රොක් නගින්නට පැමිණෙයි.  පොඩි තේ පදුරු අතරින් යනවිට  මගදී ෆයිනස් කැලයක් මැදින්  උඩට නගින්නට සිදු වේ.  පාරවල් ගනණාවක් ම  තිබෙන නිසා අතරමං වෙන්නට තිබෙන ඉඩ ද වැඩිය. කන්ද මුදුන උඩටම නැග්ගට පසු ඇල්ල වට පිටාව හොදින් නැරඹීමට හැක.  ඇල්ල රොක් කෑම්පින් වලට ද ඉතා ප්‍රසිද්ධයි. ඒත් ඒ සඳහා ෆොරස්ට් ඩිපාට්මන්ට් එකෙන් අවසර ගැනීමට සිදු වේ.

දෙමෝදර ආරුක්කු නාමයේ  පාලම බලන්නටත් අවශ්‍ය නම් දුම්රියක් පැමිණෙන වෙලාව පිළිබඳ දැනුවත් වී ඔබට එය නැරඹීමට හැකි වේ. දෙමෝදර රේල් ගටයත් නරඹන්නන්ට හැකි තවත් ලස්සන ස්ථානයකි.  කෝච්චිය ගමන් කරන වෙලාව එය නැරඹීමට වඩාත් සුදුසු වේ.

දෝව රජමහා විහාරය වලගම්බා රජ සමයටත් ඇතැමුන් පවසන ලෙස රාවණ යුගයටත්  අයත් වෙතැයි මත පවතී . මහනුවර යුගයට අයිති චිත්‍ර සම්ප්‍රදායට අනුකූලව ඇඳපු චිත්‍ර මෙන් ම ශෛලමය ස්ථූපයන් ද පවතින මෙහි සිට ආරම්භ වන බිම් ගෙයක් බොහේ දුරකට විහිදී යන බව ද සදහන් වේ. වලගම්බා රජතුමා සැඟවී සිටි ස්ථානයක් බවට ද මෙය හදුන්වා දිය හැක. ඇල්ලේ සිට කුඹල්වෙල මාර්ගය  හරහා බදුලු පාරේ හපුතලේ දෙසට කුඹල්වෙල සිට කිලෝමීටර 2.5 පමණ යන විට මාර්ගයේ  වම් පස විහාරය දැකබලා ගත හැක. 

රාවණා ඇල්ල ද මෙහි දී නැරඹීමට හැකිවේ. 


ඇල්ල නරඹන්න යන ඔබේ වගකීම පොලිතින් ප්ලස්ටික් පරිසරයට එක් නොකර පරිසරය පවිත්‍ර ව තබා ගැනීමට යුහුසුළු වීමයි.

මූලාශ්‍ර 

www.traveler.lk

www.womanly.lk

www.facebook.com

www.trip.lk

Tuesday, February 8, 2022

දෙමෝදර ආරුක්කු නවයේ පාලම

 


උඩරට දුම්රිය මාර්ගය සංචාරකයන්ගේ අවධානය දැඩිව  දිනාගත් පාරාදීසයකි. බදුලු කෝච්චියේ පැය 12 ගමන  අති සුන්දර වූවකි. බොහෝ දෙනාගේ මෙම දුම්රිය චාරිකාව තුළ හදවත නවතින ස්ථානයක් ලෙස දෙමෝදර පාලම හදුන්වා දිය හැක. මෙය මුල් කාලීන  අවදියේ දී දොරටු නවයේ පාලම ලෙසින් ද පසුකාලීනව අහස් නවයේ බිං ගෙය හා ආරුක්කු නවයේ පාලම ලෙසින් ද හැඳින් වූ අතර  ඇල්ල දුම්රිය පොළ හා දෙමෝදර දුම්රිය පොළ අතර ගොටුවල යන ස්ථානයේ එය හමුවේ.

ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන සංචාරකයෙකුට ආරුක්කු තුනේ බෝක්කුව , ආරුක්කු හතරේ බෝක්කුව සහ ආරුක්කු නවයේ බෝක්කුව වශයෙන් බෝක්කු ගණනාවක් හමු වේ.  කොන්ක්‍රීට් අච්චුගල් යොදා ගනිමින් නිර්මාණය කරන ලද මෙම බෝක්කු අතරින් ආරුක්කු නවයේ පාලම බොහෝ ප්‍රසිද්ධියට පත් ව ඇත.

දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ජනප්‍රිය  නැරඹුම් ස්ථානයක්   වන ඇල්ල නගරයේ ප්‍රධානතම සංචාරක ඉසව්වක් ලෙස දෙමෝදර ආරුක්කු නවයේ පාලම හදුන්වා දිය හැක. 

මෙය ආරුක්කු නවයක් සහිතව උස අඩි 300 (මීටර් 91.44) හා පළල අඩි 25 (මීටර් 7.62) වන දැවැන්ත ආරුක්කු පාලමකි. පාලම සහ එහි ඇති දුම්රිය මාර්ගය 1:44 ක ආනතියකින්  නිර්මාණය කර ඇත. එ මෙන් ම පාලම නිර්මාණය වී ඇත්තේ වංගුවක් සහිතව ය. දුම්රිය මාර්ගය අංශක 09 ක  වක්‍රතාවක් ඇති අතර ආරුක්කු දෙකක් අතර ඇති දුර අඩි 30 ක් බව ද සදහන් වේ.    

පාලම නිර්මාණය කර ඇත්තේ  කඳු දෙකක් අතර වූ මඩ ගොහොරුවකව ය.  මඩ ගොහොරුවේ පාදම සවි ශක්තියෙන් සකස් කර  විශාල කුලුනු 10 ක් ආධාරකරගෙන ආරුක්කු නවය තනවා ඇත. එම  විශාල කුලුනු මැද සෑම එකකම විශාල කවාකාර හිඩසක් පවතී.  මෙම පාලමේ පාදම සකස් කර ඇත්තේ ඉතා ගැඹුරට හාරන ලද වළවල් වලට කබොක් ගල් කුට්ටි , තලාතු මිනිරන් කුට්ටි සහ කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතයෙන් එකිනෙක සවිවීමට සැලැස්වීමෙනි. එසේ ම පාලම ඉදිකිරීමේ දී පලංචි, ආරුක්කු කොටස් සඳහා භාවිතයට ගැනීමට අවශ්‍ය ලෑලි, දැව ආදිය බුරුමයෙන් ආනයනය කරන බවට සදහන් වේ.  මෙම ආරුක්කු නවයේ පාලම ඉදිකර ඇත්තේ කළුගල් උපයෝගී කරගෙන නෙවෙයි. ඒ සඳහා භාවිතයට අරගෙන තිබෙන්නේ  3:2:1 අනුපාතයෙන් සිමෙන්ති , වැලි සහ ගල් මිශ්‍රිත කොන්ක්‍රීට් , අච්චුවලට දමා සකස් කරගත් කොන්ක්‍රීට් අච්චුගල්වලිනි. එම ගල් එකිනෙක සිමෙන්ති බදාම යොදා බැඳ තිබේ.  


මේ පාලම නිර්මාණය කිරීමේ දී දේශීය වශයෙන්  ප්‍රචලිත මුඛ පරම්පරාගත කතා පුවත් රාශියක් පවතී. ආරුක්කු නවයේ පාලමේ දළ සැලැස්ම නිර්මාණය කර තිබෙන්නේ එච්. ආර්. මාර්වුඩ් නැමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා බව ලංකා දුම්රිය ඉතිහාසය ගැන විමර්ශනය කිරීමේ දී පැහැදිලි වේ. මෙම පාලමේ වැඩ කටයුතු 1913-1917 වර්ෂ වල දී ආරම්භ කර 1919 වර්ෂයේ දී අවසන් කර තිබෙන බවට මුලාශ්‍ර තොරතුරු වල සඳහන් වේ. මෙම ස්ථානයේ සහ අවට මෙවැනි පාලම් (බෝක්කු) කිහිපයක්ම සෑදීමට මූලික හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ විශාල යකඩ හිඟතාවකට ලක්වීමයි. එසේ වීමට පළමුවන ලෝක යුද්ධය යකඩ වැඩි වැඩියෙන් භාවිතයට ගැනීම හා ජර්මානු සතුරු ප්‍රහාරක නැව් විසින් භාණ්ඩ ප්‍රවාහන නැව්වලට පහර දීම නිසාය. 

ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමේ දී  ඩී. ජේ. විමලසුරේන්ද්‍ර වැනි ලාංකික ඉංජිනේරුවරුන් ද සහභාගි වී ඇත. එසේ ම මෙම ආරුක්කු නවයේ පාලමේ පෙදරේරු කටයුතු මෙහෙයවා ඇත්තේ පී. කේ. අප්පුහාමි නමැති පෙදරේරුවා අතින්  බව සදහන් වේ. එසේ වුවත් පී. කේ. අප්පුහාමි නමැත්තා ගැන මුලාශ්‍ර තොරතුරුවල සඳහන් නොවේ. 

මෙම ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමේ දී සහය දැක්වූ හැරි චාන්ලී නම් බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා පලංචියෙන් වැටී එම ස්ථානයේම මිය ගොස් ඇත. ඔහුගේ දේහය බදුල්ල ශුද්ධ මාර්ක් දේවස්ථානයේ මිහිදන් කර එහි ඔහු වෙනුවෙන් ඵලකයක්ද නිරාවරණය කළ බව සදහන් වේ.  

කොළඹ සිට සැතපුම් 169 3/4 ක් දුරින් උඩරට දුම්රිය මාර්ගයේ  මෙම  ආරුක්කු නවයේ දුම්රිය පාලම පිහිටයි. මෙතනට ඇල්ල නගරයේ ඇල්ල-නමුණුකුල පාරේ කිලෝමීටරයක් විතර ගමන් කරන විට  පොඩි කෝවිලක් මුණ ගැසේ.  ඒ ළඟම තිබෙන පොඩි වැව බොර වැව  නමින් හදුන්වයි.  ඒ ළඟ තියෙන පාර දිගේ  අවසන් වන තෙක්ම ගිය පසු නැවත පොඩි අඩිපාරක් දිගේ ආරුක්කු නවය පාලම ළඟට යාමට හැකිය. විදේශිකයන් වැඩි දෙනෙක් තෝරාගන්නේ මෙම මාර්ගය යි. ඇල්ල නගරයේ සිට ඉතා ඉක්මනින් වැඩි වෙහෙසක් නැතිව මෙතන දක්වා ගමන් කළ හැකිය.

මෙවන් සුන්දර ස්ථාන මතුවටත් ආරක්ෂා කර ගැනීමට පරිසරය පවිත්‍ර ව තබා ගෙන ඔබේ වගකීම ඉටු කරන්නට වග බලා ගන්න.

මූලාශ්‍ර 

www.lankadeepa.lk 

www.dinamina.lk

www.divaina.lk

www.facebook.lk

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...