Thursday, June 22, 2023

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට කදිම විවේක ස්ථානයක් වගේම කුඩා දරුවන්ට ක්‍රීඩා පිටියක් ලෙස ප්‍රචලිත සොඳුරු උද්‍යානය කල්ලඩිය වේ.

සුන්දර කල්ලඩි වෙරළ තීරය නැඟෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි පිහිටා තිබෙන්නකි. සුන්දර වෙරළ තීරයක්, කලපුවක්, කුඩා දූපත් සමූහයක් හා කඩොලාන වනයකින් වට වූ අපූරු භූ ලක්ෂණයන්ගෙන් සමන්විත කල්ලඩිය මෙරට වෙනත් කිසිම ස්ථානයකින් නොදකින අන්දමේ චමත්කාර පරිසර පද්ධතියකි.

කල්ලඩිය තවත් සුන්දර වූයේ කල්ලඩි වෙරළේ බිහි වූ අපූරු වෙරළ උද්‍යානය නිසාය. නිසංසල  වෙරළ තීරයකින් සමන්විත කල්ලඩිය මේ වන විට ප්‍රකට සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් වී තිබේ. අතීතයේ එතරම් ප්‍රසිද්ධියක් නොලැබුණ ද සුනාමියෙන් පසු ඇති වූ සංවර්ධනය සමඟ මෙම වෙරළ තීරය සංචාරක පහසුකම් සහිත වෙරළ උද්‍යානයක් ලෙස වැඩි දියුණු ව ඇත.

ළමා උද්‍යානයක් හා ක්‍රීඩා අංගණයක්, උද්‍යාන බංකු සහ කුටි ඇවිදීමේ මං පෙත්, ලී පාලම්, අවන් හල්, ගිමන් හල් හා සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් මෙහි ඉදි කර තිබේ.

කල්ලඩි වෙරළ තීරය එක් පසෙකින් අලංකාර ෆයිනස් වන වගාවකින් ආවරණ වන අතර වෙරළ තීරය දිගේ දිවෙන කස ගස්‌ පෙළ වෙරළ තීරයට අපූර්ව සුන්දරත්වයක්‌ එක් කර ඇත. මෙහි හමු වන්නේ අනෙක් තැන්වල නොවන ගොරෝසු වැල්ලක් සහිත වෙරළ තීරයකි. මේ නිසා  පහසුවෙන් ඇවිදීමට සහ ක්‍රීඩා කිරීමට මෙම වෙරළ තීරය ඉතා යෝග්‍ය වන අතර ජාතික මට්ටමේ ක්‍රීඩා තරගාවලි ගණනාවක්ම මෙම වෙරළ තීරයෙහි පැවැත්වේ. 

වෙරළෙහි සුන්දරත්වය විඳීමට පැමිණෙන පිරිස් පවා වෙරළ ක්‍රීඩා පිටියක් බවට පත් කර ගනී. මිනිසුන් පමණක් නොව සතුන් පවා වෙරළෙහි දැවටෙමින් ප්‍රීති වන ආකාරය  මෙම වෙරළ තීරයේ සුලබ දසුනකි. ක්‍රීඩා තරග හා රාත්‍රී සාද සඳහා ඉහළ ප්‍රසිද්ධියක් ද මෙම වෙරළ තීරය දරයි.

සුන්දර වෙරළ පරිසර පද්ධතියක් පැවතිය ද කල්ලඩිය වඩාත් ප්‍රකට වී ඇත්තේ වෙරළ නිසා නොව සින්දු කියන මාළුන් සිටින කල්ලඩි පාලම නිසායි. 

රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පද රචනය කළ විශාරද ගුණදාස කපුගේ මහතා ගායනා කරන “කල්ලඩි පාලම පාමුල සින්දු කියන මාළුවෝ” යන ජනප්‍රිය ගීතය නිසා කල්ලඩි පාලමෙහි සිංදු කියන මාළුන් පිළිබඳ වඩාත් ප්‍රසිද්ධියක් ඇති විය. කල්ලඩි පාලම අසල ගී ගැයූවා යැයි සඳහන් වන මාළුන්ගේ ගී හඬ දැන් නොඇසීම, යුද්ධයේ විනාශය හා සම්බන්ධ කොට එම 

ගීතයක් නිසා ජනප්‍රිය වූවද කල්ලඩි පාලමෙහි මෙන්ම සින්දු කියන මාළුන්ගේ කතාව ද බොහෝ පැරණි රසවත් කතාවකි. අතීතයේ මඩකලපුව හා කල්මුණේ යා ව ඇත්තේ කල්ලඩි තොටුපළෙනි. මෙම තොටුපළ හරහා බෝට්ටු මඟින් සම්පන්තුරේ වරාය දක්වා ප්‍රවාහන කටයුතු සිදු කෙරී ඇත. නමුත් ප්‍රවාහන අවශ්‍යතා වැඩි වීමත් සමඟ පාලමක් අවශ්‍ය වූ බැවින් 1921 දී විසල් කළපුව හරහා විහිදුණු අඩි නවසිය හතළිස් හයක් දිගැති පාලමක් ඉදිකිරීම ආරම්භ විය. 1924 දී විශාල කාල වර්ණ යකඩ පාලමක් ලෙස එය ඉදි කර අවසන් වූයේ ලංකාවේ පිහිටි දිගම යකඩ පාලම ලෙස වාර්තාවක් ද තබමිනි. මඩකලපුව නගරය කාත්තාන්කුඩිය දෙසට යාකරමින් A-4 අක්කරපත්තු-මඩකලපුව මාර්ගයේ කල්ලඩි ප්‍රදේශයේදී කළපුව හරහා ඉදි වූ මෙම දැවැන්ත යකඩ පාලම මිනිස් හැකියාවත් සොබා දහමත් එකට එක් වූ සුන්දර නිර්මාණයකි. 

මෙම යකඩ පාලම බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ බිරියගේ නමින් ලේඩි මැනින් යනුවෙන් නම් කළ මුත් මඩකළපුව කල්ලඩි ප්‍රදේශයේ පිහිටි මෙම සුන්දර පාලම ලොව පුරා ප්‍රසිද්ධ වූයේ කල්ලඩි පාලම නමිනි. නිල් පැහැයෙන් දිස්වන කරදිය කලපුව මැදින් විහිදෙන සම්පූර්ණයෙන්ම යකඩින් නිර්මාණය වූ කල්ලඩි පාලම කල්ලඩි පරිසර පද්ධතියට අපූර්ව චමත්කාරයක් ගෙන එන එයි. එමෙන් ම මඩකලපුවට පැමිණෙන සංචාරකයන් අතර ඉහළ ජනප්‍රියතාවක් හිමි කර ගැනීමට ද සමත් වෙයි.

මේ පාලම ඉදි වූ පසු ඒ වටා බොහෝ ජනප්‍රවාද බැඳුනත් එය වඩා ප්‍රකට වුයේ “කල්ලඩි පාලම පාමුල සින්දු කියන මාළුවෝ” යන ගීතය නිසාය. ගීතයේ ජනප්‍රියතාව නිසා සින්දු කියන මාළුන් කල්ලඩි පාලම යට සිටියා යැයි විශ්වාස කළත් කල්ලඩි පාලම යට සුන්දර කළපු දියේ ගී ගයන මත්ස්‍යයන් ගැන වර්තමානයේ අසන්නට ලැබෙන්නේ පුරාවෘත්තයක් ලෙසණි. මෙම සින්දු කියන මාළුන් පිළිබඳ සත්ත්ව විද්‍යාඥයන්ගේ මතය වන්නේ යම් හඬ රටාවක් නිකුත් කළ හැකි මත්ස්‍ය රංවු මෙම කලපුවෙහි වසන්නට ඇති බවත් ඔවුන්ගේ හඬ ගී හඬක් ලෙස මිනිසුන් වටහා ගන්නට ඇති බව ය.

නවසිය හැටේ දශකයේ දී මෙහි විසූ ෆ්රෑන්ක් ලෑන් පියතුමා විසින් කල්ලඩි පාලම යට කිසියම් මිහිරි රාවයක් නඟමින් පිහිනූ මාළු රෑනක නාදය පටි ගත කොට එය ශ්‍රි ලංකා ගුවන් විදුලි සේවයෙන් ප්‍රචාරය කළ බව සඳහන් වේ.  සී. ද එස්. කුලතිලක මහතා ඔහුගේ ජන සංගීත පර්යේෂණ යටතේ ද මෙහි මාළු රෑනක නාදය පටි ගත කොට ගුවන් විදුලියෙන් විකාශය කළ බව සඳහන් වේ.

මඩකලපුව වෘත්තාන්තය ලියූ නැඟෙනහිර පළාතේ ප්‍රධාන මුදලි එස්.ඕ. කනගරත්නම් මහතා සඳහන් කර ඇත්තේ මඩකලපුව පැරණි ලන්දේසි බළකොටුවට විරුද්ධ පැත්තෙන් පිහිටි තොටේ ඉහළින් මෙන්ම පහළින් තැන් කිහිපයක කලපුවේ පතුලෙන් අපූරු සංගීත නාද ඇසෙන බවත් ඒ ප්‍රදේශයේ පමණක් වාසය කරන සුවිශේෂ මසුන් වර්ගයකින් මේ නාදය පැමිණෙන බවටත් වාර්තා ඉදිරිපත් වූ බවයි.

මෙම සංගීත නාදය රාත්‍රියේ ඇසෙන බවත් පුර පසළොස්වක දා හා ආසන්න දිනවල සුළඟ අඩු වේලාවන්හි දී ගී තනුවක ඉමිහිරි නාදය මෙන් හෝ වයින් වීදුරුවක රවුම තෙත් ඇඟිල්ලෙන් සෙමෙන් පිරිමදින විට නැඟෙන මඳ තරංග නාදය මෙන්  මුහුදෙන් මතු වන බවත් එහි ශබ්දය තැනින් තැනට වෙනස් වන බවත් දැක්වේ. මේ නාදය නිකුත් වන්නේ මසුන්ගෙන් නොව මූදු බෙල්ලන්ගෙන් යැයි දේශීය බෝට්ටුකරුවන් අතර මතයක් පවතී. ශබ්දය තැනින් තැනට වෙනස් වන්නේ ඒවා බිහි කරන බෙල්ලන් සංඛ්‍යාව තැතින් තැනට වෙනස් නිසා යැයි මතයක් පවතී. එමර්සන් ටෙනන්ට්ගේ 'ලංකාව' නම් ග්‍රන්ථයේ ද මේ පිළිබඳ තොරතුරු අඩංගු වේ.

1911 දී මඩකලපුවේ ජීවත් වෙමින් මේ පිළිබඳ අධ්‍යයනය කළ ආචාර්ය පියර්සන්ගේ අදහස වූයේ මෙම නාදය එන්නේ බෙල්ලන්ගෙන් නොව මසුන්ගේ කරමල් වලින් බවයි. සින්දු කියන මාළුන් නිසා ප්‍රකට වූ කල්ලඩි පාලම  ගමනාගමන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවූ බැවින් පැරණි යකඩ පාලමට අනෙක් පසින් අඩි හතළිස් හයක් පළල සහ අඩි නවසිය හතළිස් හයක් දිග නව කල්ලඩි පාලම ඉදි කර 2013 මාර්තු මාසයේදී මහජනතාව සඳහා විවෘත කර ඇත.

අතීත කල්ලඩි පාලම සම්පූර්ණයෙන්ම යකඩින් නිම කර තිබුණ ද ඉදි කළ නව කල්ලඩි පාලම කොන්ක්‍රීට් නිර්මාණයකි. නව පාලම නිසා පැරණි පාලමෙහි සුන්දරත්වයට තරමක් හානි සිදු වුවද මෙහි පරිසරය ක්‍රමයෙන් එයට අනුගත වෙමින් සිටී. සුන්දර කඩොලාන වනයකින් වටවුණු කල්ලඩි පාලම දැනට අත්හැර දමා ඇති ප්‍රදීපාගාරය අසල සිට වඩාත් සුන්දරව නැරඹිය හැකි අතර එතැන සිට බෝට්ටුවකින් සුන්දර පරිසර පද්ධතියක් හරහා පාලම යටින් ගොස් පාලම අවට පරිසරයෙහි සිරි නැරඹීමට හැකියාව තිබේ.

හිරු නැඟ එන උදෑසනක මෙන්ම  ඉර බැස යන සැන්දෑවක ද හුදෙකලා වූ පැරුණි පාලම මත සිට රාත්‍රිය උදාවන තුරුම එහි චමත්කාරය විඳිම අපූරු අත්දැකීමකි. මෙවන් අපූරු පරිසර පද්ධති රැක ගනිමින් එහි සුන්දරත්වය ස්වභාවික ව පවත්වා ගැනීම උදෙසා මිනිස් පා සටහන් පමණක් ඉතිරි කොට නික්මිය යුතුය.

මූලාශ්‍ර 

www.lankadeepa.lk

www.dinamina.lk

Monday, May 22, 2023

බැද්දගාන තෙත්බිම් උද්‍යානය


නාගරික ප්‍රදේශයක පවතින නිස්කලංක  මනස්කාන්ත ස්වහාව සොන්දර්‍යයෙන් අනූන  බැද්දගාන තෙත්බිම් උද්‍යානය අපූරු තෝතැන්නකි. බැද්දගාන තෙත්බිම ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අගනගරයෙහි අධි නාගරීකරණය වූ පරිසරයක, නව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇත. කවුරුත් දන්නා දියවන්නා ඔය අසබඩ පිහිටි මෙම තෙත්බිම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභය භූමිය මායිමට ද ඇතුළත් වේ.

හෙක්ටයාර 18ක් පුරා පැතිරී ඇති මෙම හරිත කලාපයේ  තෙත් කලාපීය පහත් බිම්වල දක්නට ලැබෙන දේශීය කුරුළු විශේෂ, සුන්දර සමනල් විශේෂ මෙන්ම බත්කූරන් විශේෂ රැසකටද නවාතැන වී ඇත. එමෙන් ම පහත රට තෙත් කලාපයට ආවේණික වූ ගස්වැල් රැසකින් සමන්විත මේ බිම සංක්‍රමණික කුරුළු විශේෂ රැසකගේද ආගමනය සිදුවන කුරුළු තොටක් ලෙස හදුන්වා දිය හැක. අතීතයේ පටන් පරිසරවේදීන්ගේ හා විශේෂඥයන්ගේ නිරන්තර අධ්‍යයනයට ලක්වන මෙම පරිසර පද්ධතිය පිළිබඳ වාර්තා රැසක් එයට සාක්‍ෂි සපයයි.


නාගරික පරිසර සඳහා නගර සැලසුම් නිර්මාණයේදී මෙවැනි තෙත්බිම් පරිසර පද්ධති, හරිත කලාපයන් ලෙසින් මිනිසාගේ නිරෝගී දිවි පැවැත්ම උදෙසා උපකාර වන අතරම, විනෝද කටයුතු සඳහාද තිරසාර ලෙස සංවර්ධනය කළ හැකි ව ඇත. එම අදහස ද පෙරදැරි කර ගෙන බස්නාහිර පළාත් තෙත්බිම් කලාපීකරණය යටතේ සකසන ලද උපදෙස් මාලාව අනුගමනය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2006 වසරේදී නව පාර්ලිමේන්තුව වටා ඇති පරිසර අධිකාරිය සතු තර්ජනයට ලක්වූ තෙත්බිම් 11ක් සංරක්‍ෂණය කිරීමට සැලසුම් කර ඇත. බැද්දගාන තෙත්බිම් උද්‍යානය නිර්මාණයෙහි දෙවන අදියර ලෙස කෝට්ටේ කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය ද සංවර්ධනය කිරීමට නියමිත ව ඇත.

බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ මූලික අරමුණ වන්නේ වටිනා තෙත්බිම් පරිසරය සංරක්‍ෂණය කරමින්, එයට සිදුවන හානිය අවම වන පරිදි තිරසාර ලෙස සංවර්ධනය කර, උද්‍යානයක් ලෙස පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමයි. එමෙන්ම පරිසර අධ්‍යයන කටයුතු සඳහා ඉඩ සැලසීමද මෙහි අරමුණු අතර වේ.

දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තයට නව ප්‍රවණතාවක් ඇති කරමින් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘතියක්  ආරම්භ කිරීම මෙහි අරමුණ විය. සංචාරකයන් මෙන් ම සාමාන්‍ය මිමිසුන් ද තම කාර්‍යබහුලත්වයෙන් මිදීමට මෙම ස්ථානයට පැමිණෙන අතර මෙය අපූරු භූමියකි. විද්‍යාත්මක ගවේෂකයෙකුට මෙන්ම පරිසර සුන්දරත්වය විඳින්නන් හට බැද්දගාන තෙත්බිම් උද්‍යානය වටිනා තෝතැන්නකි.

කලබලකාරී කොළඹ නගරයේ හිත නිවෙන පරිසරය බැද්දගාන තෙත්බිම් උද්‍යානය ට ලගා වීමට  කොළඹ කඩුවෙල ප්‍රධාන මාර්ගයේ කඩුවෙල දෙසට යනවිට පොල්දූව නව පාලම පසුකිරීමට පෙර දකුණු අත පැත්තේ උද්‍යාන පිවිසුම හදුනා ගත හැක. උද්‍යානය විවෘතව තැබෙන්නේ දිනපතා උදෑසන 07 සිට පස්වරු 06 දක්වා  වේ. කුරුලු සහ පරිසර අධ්‍යයන සඳහා පැමිණෙන අයට  උදෑසන 6 සිට  විවෘත වේ. කොළඹ කියන්නේ කර්කශ පරිසරයක්. හුස්ම ගන්නට පිරිසිදු වාතය පවා අඩු ස්ථානයක්. එහෙත් තව ම හරිත වර්ණ ක්ෂේම භූමි කිහිපයක් කොළඹ  ඉතිරි වී තිබේ. 



බැද්දගාන තෙත් බිම් උද්‍යානය අපුර්ව සුන්දරත්වයකින් යුත් ගහකොළ, පක්ෂීන්, සමනලුන් පිරි උද්‍යානයකි. ශාක විශේෂ 100ක්, ක්ෂීරපායී සත්ව විශේෂ 10ක්, කුරුළු විශේෂ 50ක්, මත්ස්‍ය විශේෂ 20ක් පමණ දැකගත හැකි මෙම උද්‍යානයේ උභය ජීවී විශේෂ ගණන 5ක් පමණ ජීවත් වන බවද පැවසේ. ඒක දේශික ශාක සහ වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ශාක සහ සත්ව ප්‍රජාවන් රැසක් මෙහි දකින්නට ලැබීම විශේෂත්වයකි. පහත රට තෙත් කළාපයට ආවේණික වූ ගස්වැල් රැසක් සහිත මේ පරිසරය සංක්‍රමණික කුරුලු විශේෂ රැසකට සොඳුරු නවාතැනක් ව ඇත.

බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ මූලික අරමුණ වන්නේ වටිනා තෙත්බිම් පරිසරය සංරක්‍ෂණය කරමින් එයට සිදුවන හානිය අවම වන පරිදි තිරසාර ලෙස සංවර්ධනය කර උද්‍යානයක් ලෙස පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීම සහ පරිසර අධ්‍යයන කටයුතු සඳහා ඉඩ සැලසීමයි. බැද්දගාන තෙත්බිම්  උද්‍යානය පරිසරවේදීන්ගේ හා විශේෂඥයන්ගේ නිරන්තර අධ්‍යයනයට ලක්වන වටිනා පරිසර පද්ධතියකි.

කණු මත ඉදිකළ නිරීක්ෂණ කුලුණු, ගමන් පථ සහ නිරීක්ෂණ ස්ථානවලින් මෙම තෙත්බිම් පරිසරය මනාව සංරක්ෂණය කර ඇති බව උද්‍යානය තුළට පිවිසෙන විට දැකගත හැකියි. නරඹන්නන්ගේ පහසුව සඳහා උද්‍යානය ප්‍රදේශ 12කට පමණ වෙන්කර තිබේ. උද්‍යානයේ එළිමහන් ප්‍රදේශය තුළ මඩෙහි ඇවිදින පක්ෂීන් දැකගත හැකි ප්‍රදේශය, සැඟවී පක්ෂීන් නිරීක්ෂණය කළ හැකි ස්ථානය, සමනලුන් ගහන ප්‍රදේශය, ගිමන් හල, පක්ෂි නිරීක්ෂණ කුලුණ, තාරා පොකුණ, දියවන්නා ඉවුර අසබඩ සක්මන් මාර්ගය, හඳුන් දිවියා ගැවසෙන අඩවිය, වන සැරි මාවත සහ පාවෙන වේදිකාව ඒවායි. එම නිසා විද්‍යාත්මක ගවේශකයන්ට පමණක් නොව පරිසරයේ සුන්දරත්වය විඳීමට කැමති කා හටත් මේ උද්‍යානය අපූරු ස්ථානයකි. පවුලේ සියලු දෙනා සමඟ පැමිණ නැරඹිය හැකි සොඳුරු ස්ථානයක් ලෙස ද මෙය පෙන්වා දිය හැක. විශේෂයෙන් කුඩා දරුවන්ට සතුන් ඇතුළු පරිසරය ගැන දැනුම, අවබෝධය ලබාගත හැකි ස්ථානයක් වේ.

කුරුල්ලන් නැරඹීමට සුදුසු ස්ථානයක් ලෙස බැද්දගාන තෙත්බිම් උද්‍යාන සංචාරකයන් අතර ප්‍රසිද්ධයි. මේ තෙත්බිම් උද්‍යානයේ එක් එක් ස්ථානවලදී ඔබට දැකගත හැකි කුරුලු වර්ග පිළිබඳ ඒ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරු මඟින් දැනුම්වත් කර ඇත. කුරුල්ලන් නැරඹීම සඳහා උදෑසන 6-8 කාලය වඩා සුදුසුයි. මෙහිදී අලංකාර සංචාරක කුරුල්ලන් රාශියක් දැකගත හැකි වේවි. කුරුල්ලන් නැරඹීමට යන විට හැකි තරම් නිහඬව ගමන් කිරීම උචිත වන්නේ ශබ්ද නිසා කලබලයට පත්වන කුරුල්ලන් සැඟවී සිටීමට උත්සාහ දරන නිසයි. මුවාවී කුරුල්ලන් නිරීක්ෂණය කිරීමට සහ ඡායාරූප ගත හැකි ස්ථානයකුත් මේ උද්‍යානය සතුයි. කුරුලු තොරතුරු පුවරුවලින් ඔබට කුරුල්ලන් ගැන තොරතුරු රැසක් දැනගත හැකියි.


සාමාන්‍යයෙන්  උද්‍යානය සම්පූර්ණයෙන් නැරඹීමට පැය 1 ½ක පමණ කාලයක් ගතවන අතර අනවශ්‍ය ලෙස උද්‍යානයේ රැඳී සිටීම නරඹන්නට  හිරිහැරයක් විය හැකියි. උද්‍යානය තුළට ප්ලාස්ටික්, පොලිතින් සහ ආහාර ගෙන ඒම සපුරා තහනම් බව උද්‍යානයේ පාලනාධිකාරිය දන්වා ඇත. 

Monday, May 8, 2023

මිහි­න්තලා පුද­බිම


පොසොන් පුර පසලොස්වක පොහෝ දිනට මෙරට දේශීය බෞද්ධ ජනයා වැල නොකැඩී ඇදී යන්නේ අනුරාධපුර මිහින්තලය වෙතයි.  මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ ප්‍රථ­ම­යෙන් වැඩම කළ ස්ථානය ලෙස මිහින්තලය ප්‍රසිද්ධ වේ. දේශීය සංචා­ර­ක­යන් මිහි­න්ත­ල­යට පැමි­ණිමේ ඉහළ ප්‍රති­ශ­ත­යක් දැක­ගත හැකි වන්නේ පොසොන් සමයට ය. මෙහි පවතින ඓතිතිහාසික  විශ්වීය අගය නිසා අන්ත­ර්ජා­තික තලයේ සංචා­ර­ක­යන් අතර ද මිහි­න්ත­ලය ප්‍රච­ලිත  වී ඇත.

මිහින්තලය පුද බිම වරක් හෝ වැඳපුදා ගන්න ආගමික අතින් පමණක් නෙමෙයි පුරාවිද්‍යාත්මක වටිනාකම අතිනුත් වැඩිහිටියන් ට වගේ ම දරුවන් ටත් එම නටඹුන්  දැක බලා ගන්නට අවස්ථාව තිබේ.

කොළඹ සිට එන විට මිහින්තලයට ළගා වීමට පහසුම මාර්ගය තමයි කුරුණෑගල, දඹුල්ල,කැකිරාව,මරදන්කඩල, තිරප්පනේ පහු කරල එන මග. බසයේ ගමන් කරනවනම් කොළඹ-වව්නියා, කොළඹ-යාපනය, කොළඹ-හොරොව්පොතාන වගේ බස් වල පැමිණිය හැක. නමුත් බොහෝ අය  අනුරාධපුරය වැඳපුදාගෙන  පසුව  මිහින්තලේ වන්දනා කරන්නට පැමිණෙයි.  එවිට අනුරාධපුර සිට ත්‍රිකුණාමල පාරේ 12km පමණ ඒමෙන් මිහින්තලේට ලගා විය හැක.

ලොව ඕනෑම පුරා­විද්‍යා භූමි­යක්, ස්මාර­ක­යක් හෝ සංස්කෘ­තික වස්තු­වක් තුළ පව­තින කැපී­පෙ­නෙන විශ්වීය අග­යන් පද­නම් කර­ග­නි­මින් යුනෙස්කෝ සංවි­ධා­නය විසින් ලෝක උරුම ස්ථාන නම් කිරීම සිදු කරනු ලැබේ. මිහි­න්ත­ලය පුරා­විද්‍යා භූමියේ ඇති සුවි­ශේ­ෂ­ත්වය වන්නේ  එම පුද­බිම තුළ ඇති ස්මාර­ක­වල ගැබ් වී පවතින අගයයි.

මිහින්තලයේ මැද මළුව දක්වා පිවි­සී­මට ඇති ශෛල­මය  පිය­ගැටපෙළ පඩි 1840කින් සම­න්විත වන අතර විහා­ර­ස්ථා­න­යක් ආශ්‍රි­තව කන්දක් තර­ණය කිරී­මට ඇති ප්‍රමා­ණා­ත්මක අතින් වැඩිම පිය­ගැ­ට­ව­ලින් සම­න්විත වීම ද සංචා­ර­ක­යන්ගේ ආකර්ෂණය ට හේතු වන්නකි. මිහිඳු හිමි­යන් දඹ­දිව සිට ශ්‍රී ලංකා­වට බුදු දහම රැගෙන ආ උතුම් ස්ථානය ලෙස මිහි­න්තලේ පව­තින අන­න්‍ය­තාව ලොව සුප­තළ වී ඇත.   බුදු­ද­හමේ චිර­ස්ථිය ඇති වූ ස්ථානය නිසා චිර­ස්ථිය, නෛමි­තික අගය ද මෙහි දැක­ගත හැකිය. එසේම ස්තූප රාශි­යක් පැව­තීම නිසා නිතැ­තින් ම ආධ්‍යා­ත්මික අගය ද නොඅ­ඩුව පවතී. සංස්කෘ­තික හා සෞන්ද­ර්යා­ත්මක අගය ද මෙහි ඉහළ වේ.

මෙම ස්ථානය ආශ්‍රිත ව දැක­ගත හැකි සංස්කෘ­තික අග­යන්ගේ ප්‍රමා­ණය ද අප්‍ර­මා­ණ වේ. දේවා­න­ම්පි­ය­තිස්ස රජුගේ කාලයේ  එනම් බුද්ධ පරි­නි­ර්වා­ණ­යෙන් පසු පොසොන් පුන් පොහෝ දිනක  මහි­න්දා­ග­ම­නය සිදු වී ඇති අතර දීප­වං­සය,  සම­න්ත­පා­සා­දි­කාව, මහා­වං­සය, පූජා­ව­ලිය ආදී සාහිත්‍ය කෘති හා රජ­ග­ලින් හා මිහි­න්ත­ල­යෙන් සොයා­ගත් සෙල්ලිපි ද ඒ බව තහ­වුරු කරයි.  වාස්තු­විද්‍යා නිර්මාණ අතර දාන­ශා­ලා­වේ ඇති බත් හා කැඳ ඔරු, ජල සැප­යුම් ක්‍රම ආදි­යත් හා ඒ ආශ්‍රීත ක්‍රියා­කා­ර­කම් මත ඓති­හා­සික අගය කැපී­පෙ­නෙන ඉහළ තල­යක මිහින්තලය  පව­තී. මිහි­න්ත­ලය, වෙස්ස­ගි­රිය, සිතු­ල්පව්ව, රිටි­ගල, රජ­ගල ආදි ස්ථාන­වල පිහිටි ස්වභා­වික ලෙන් මුලින් ම බෞද්ධ භික්‍ෂූන්ට ආවාස විය. 


කදු ගැටයක් ඇසුරු කර­ග­නි­මින් සැකසී ඇති මිහි­න්තලා පුදබිමට අනු­රා­ධ­පුර ඈත පිහිටි බොහෝ ස්ථාන දර්ශ­නය වීම දැක­ගත හැකිය. එමෙන් ම ස්වාභා­වික ගිරි­දුර්ග වාස­ස්ථාන කර­ගත් භික්ෂූන් වහන්සේ බවුන් වැඩීම සඳහා තෝරා­ගෙන ඇති හැට අටක් වූ ගුහා පද්ධ­තිය, ස්වභාව සෞන්දර්ය නරඹමින් සංච­ර­ණය කරන සංචා­ර­ක­යන්ට විනෝ­දා­ස්වා­ද­යක් ද සප­යන ආරා­ධනා ගල, අම්බ­ස්තල දාගැබේ මළු­වට නැඟී­මෙන් දැක­ගත හැකි මන­රම් ස්වභා­වික දර්ශ­නය සංචා­රක ආකර්ෂණය වැඩි කරවයි.

කළු­දිය පොකුණ වැනි පරිශ්‍ර තුළ නිස්ක­ලංක සුන්දරත්ව­යක් විඳ­ගැ­නී­මට හැකිය. පුරාණ රජ­ද­රු­වන් ඉදි කර ඇති බොහෝ ස්මාර­ක­ය­න්ගෙන් පෙර පැවති වාස්තු­විද්‍යා සැලැස්ම පිළි­බඳ වට­හා­ගැ­නී­මට හැකිය. මෙහි විහාර වර්ග හත­රක සාධක පෙනේ. මුල් කාලීනව ස්වාභා­වික ලෙන් පද්ධ­තිය හා සබැඳි ගිරිදුර්ග­ව­ලින් සම­න්විත ලෙන් විහා­ර­යක් ලෙස ආරම්භ වී ඇති මිහි­න්ත­ලය විහා­රයේ රාජ­ගි­රි­ලෙන මහ­නු­වර යුගය දක්වාම සංව­ර්ධන කාර්යන්ට භාජනය වී ඇති බවට සාධක හමුවේ. මිහි­ඳු­සෑය, මහා සෑය, කණ්ටක චේතිය, අම්බ­ස්තල දාගැබ, ගිරි­භණ්ඩ ස්තූපය, ඉදි­කටු සෑය, ඇත්වෙහෙර මෙහි ස්තූප අතර සුවි­ශේෂි වේ.

පූජ­නීය නොවන ස්මාරක අත­ර සන්නි­පාත ශාලාව, දාන­ශා­ලාව, රෝහල, පොත්ගුල, මනි­නාග මන්දි­රය, ඉදි­ක­ටුසෑ පංචා­වාස සංකී­ර්ණය, ප්‍රධා­න­ඝ­රය පෙන්වා­දිය හැකිය ඉදි­ක­ටු­සෑය සංකී­ර්ණයේ සම­ච­තු­ර­ශ්‍රා­කාර සිංහ පොකුණ හා කළු­දිය පොකුණ, නාග පොකුණ වැනි වාස්තු­විද්‍යා නිර්මා­ණ­ය­න්ගෙන් මිහි­න්තලා පුද­බිමේ පව­තින වාස්තු­විද්‍යා අගය තව­දු­ර­ටත් වැඩි වේ. පාහි­යන් හිමිගේ වාර්තාවේ සඳ­හන් වී ඇති ආකා­ර­යට එම ආරා­මයේ 3000ක් පමණ වූ භික්‍ෂූ පිරි­සක් වැඩ­වා­සය කළ සඳ­හන් වී ඇත. 

මිහි­න්ත­ලය විහාර භූමිය තුළ පව­තින්නා වූ තාක්‍ෂ­ණික හා විද්‍යා­ත්මක අගය ප්‍රාථ­මික ලෙන් පද්ධ­තිය ආශ්‍රි­තව ගුහාව තුළට වැසි ජලය ඒම වැළැ­ක්වී­මට කටා­රම් කෙටී­මෙන් ආරම්භ වූ ප්‍රාථ­මික තාක්‍ෂණ මට්ටමේ ඉදි­කි­රීමේ සිට දැවැන්ත ස්තූප හා ගොඩ­නැ­ගිලි ඉදිකි­රීම දක්වා වූ දියුණු තාක්‍ෂ­ණික මට්ට­මක් හඳු­නා­ගත හැකිය. 

සිංහ පොකුණේ ජල ටැංකියේ පතුල ලෙස ස්වාභා­වික ගල් පර්ව­තය යෙදා ගෙන සිව් දිශාවේ බිත්ති සඳහා ශෛල­මය පුවරු එකි­නෙක වෑද්දුම් ක්‍රම­වේද ඔස්සේ සම්බන්ධ කර ජලය වෑස්සී­මට සලස්වා ඇත. එහි තාක්‍ෂ­ණය මෙන් ම උද්‍යාන අලං­ක­රණ ක්‍රම­වේ­ද­යක් ලෙස ද සිංහ මුඛය යොදා­ගෙන ඇත්තේ පුරාණ තාක්‍ෂ­ණික ඥානය විදහා පෙන්ව­මිනි. මිහින්ත­ලය පුදබිමේ සංචා­රක ප්‍රව­ර්ධ­න­යට ද වර්තමාන අවදානය යොමු වී තිබේ. ශ්‍රී ලාංකික බෞද්ධයන් වශයෙන් මිහින්තලා පුද බිමෙහි ඇති ආගමික සහ ඓතිහාසික සුවිශේෂිභාවය අති මහත් ය. මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමගම ලක්දිවට බුදු දහම හඳුන්වා දෙනු ලැබූයේ ඓතිහාසික මිහින්තලා පුදබිමේ දීය.

මිහින්තලේ කඳු පාමුල  තියෙන පළමු පියගැටපෙළ අවසන් වු විට දකුණු පැත්තෙන් තිබෙන  පඩිපෙළ කණ්ඨක වෛත්‍යය වෙතයි. මිහින්තලේ  යන බොහොමයක් දෙනාගේ අදහස මිහින්තලේ බලන්න තියෙන්නෙ අම්බස්ථල වෛත්‍යයයි, ආරාධනා ගලයි, මිහින්තලේ මහා සෑයයි, හිඳි බුද්ධ ප්‍රතිමාවයි විතරක් කියල. නමුත් මිහින්තලේ ඊට වඩා බොහොමයක් දේවල් බැලිය හැක. කණ්ඨක වෛත්‍ය ද ඉන් එකක්. කණ්ඨක චෛත්‍ය වටේ තිබෙන වාහල්කඩවල් තමයි ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති අලංකාරතම කැටයම් තියෙන වාහල්කඩවල් ලෙස සැලකෙන්නේ. ඒ වගේම තමයි මෙම කැටයම් ලංකාවේ පැරණිතම කැටයම් අතරටත් වැටෙයි. කණ්ඨක චෛත්‍ය වාහල්කඩ කැටයම් අතර තියෙනවා ලංකාවෙ පැරණිම ගණ දෙවි රෑපයක් සහ වලස් හිසක් සහිත වාමන රුවක්. 

කණ්ඨක වෛත්‍ය පිටුපසින් ත අට සැට ලෙන් තිබේ. කටාරම් කොටපු මෙම සමහර ගල්ලෙන් වල කටාරම් වලට පහලින් ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බ්‍රාහ්මී අකුරුවලින් ලියපු සෙල්ලිපි දැකිය හැකිය. පිහිටි ගලේ නෙළපු හිටිගෙන සිටින ආකාරයෙන් සකස් කරපු තරමක විශාල සිංහ රුවක් මෙහි තිබ. ඉහළින් තියෙන පොකුණට එකතුවන ජලය මේ සිංහයාගේ කටෙන් එළියට එන විදිහට හදපු විශිෂ්ඨ නිර්මාණයක් එය.

සිංහ පොකුණ අසලින් තියෙන පාර දිගේ ඉහලට ගිහාම මිහින්තලේ මැද මලුවට එන්න පුලුවන්. විශාල බත් ඔරුවක් සහ කැඳ ඔරුවක් තියෙන දාන ශාලාවට අමතරව මැද මලුවෙ තියෙන තවත් සුවිශේෂී පුරාවස්තු දෙකක් තමයි 4 වන මිහිඳු රජුගේ කාලයේ ලියවුණු මිහින්තලේ පුවරු ලිපි දෙක. මටසිලිටු වෙන්න මැදපු ගලක කොටල තියෙන මේ පුවරු ලිපි දෙකේ අකුරු තාමත් පැහැදිලිව කියවිය හැක.

මැද මලුවෙ ඉඳල උඩ මලුවට යන්න තවත් පියගැට පෙළක් තිබේ. අරලිය මල් ගස් වලින් හෙවන වෙලා තියෙන මේ පියගැට පෙළ අපූරුයි. මිහින්තලේ උඩ මළුවේ සුප්‍රසිද්ධ ආරාධනා ගල, අම්බස්ථල චෛත්‍යය, මිහින්තලේ මහා සෑය සහ සුවිසල් හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන්නෙ මේ ඉහළ මළුවෙ. 

මහකනදරා වැවේ සුළං රැල්ල සමග මිහින්තලේ මහා සෑ මළුවට ගිහාම පූජනීය අනුරාධපුරයේ රුවන්වැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය වගේම නුවර වැවත් දැක් ගන්න පුලුවන්. මහා සෑය වටේ ගිහිල්ල වන්දනාමාන කරගන්න අතරෙම මහා සෑය එහා පැත්තෙන් තියෙන මිහිඳු හිමියන්ගෙ භෂ්මාවශේෂ තැම්පත් කරල හදපු මිහිඳු සෑයත් වන්දනාමාන කර ගන්න හැකියි.  නාග පොකුණත් බලන්න  උඩමලුවෙන් පහලට බැහැල පොඩි දුරක් එනකොට වම් පැත්තට හැරුණු කොට පුළුවන්. මිහින්තලේ වන්දනාමාන කරන්න යන්න තියෙන හොඳම වෙලාව තමයි සවස්වරුව. ඉර බැස යන අලංකාර දර්ශනය වගේම සුදුපැහැ විදුලි බුබුළුවලින් ආලෝක කෙරුණු මිහින්තලා මහා සෑයේ අලංකාරයත් දකින්නට පුළුවන් වෙන්නේ සවස් වරුවෙ දි.

මිහින්තලේ පැරණි රෝහල් සංකීර්ණය, කටු සෑය හා ආශ්‍රිත නටඹුන්, ඇත් වෙහෙර, ගිරි භණ්ඩ සෑය, රජගිරි ලෙන්, කලුදිය පොකුණ, මහකනදරාව වැව, කනදරාව ගල් පාලම, වසම්මලේ චිත්‍ර ලෙන වගේම මිහින්තලේ පුරාවිද්‍යා කෞතුකාගාරයත් අනිවාර්යයෙන්ම නැරඹීමට මතක තබා ගත යුතුය. ඒ නිසා මිහින්තලේ නැරඹීමට මුලු දවසක්ම ගත වේවි.මේ පුදබිම් වන්දනාමාන කරගෙන මතු පරපුරට ත් ඒවා සුරක්ෂිත ව තබන්නට ඔබේ වගකීම ද ඉටු කල යුතුය.

මූලාශ්‍ර 

www.gamana.lk

www.silumina.lk

www.srilankatravelpages.com

Thursday, April 20, 2023

ඩෙවෝන් ඇල්ල

සීත මීදුම්  මධ්‍යයේ ඩෙවෝන් තේ වතුයාය මැද ඇද හැළෙන චමත්කාරජනක  දියඇල්ල කඳුකරයේ අසිරිය ඉස්මතු කරන ඩෙවෝන් දියඇල්ලයි. අලංකාරව ඇද හැලෙන ඩෙවෝන් ඇල්ල නැරඹීමට සංචාරකයන් බොහෝමයක් නිරන්තරවම ගමන් කරයි. කදුකරය දෙසට සංචාරයට යන  ඕනෑම සංචාරකයෙකුගේ අවදානය ඩෙවෝන් වෙත හිමි වේ.

100m පමණ උසකින් යුතු කඳු මුදුනක සිට ඩෙවෝන් ඇද හැලෙන්නේ සිනිදු සේලයක්  බඳු අපූර්ව චමත්කාරයකිනි.  සීතල නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් තලවාකැලේ නගරයට බටහිර දෙසට වන්නට ඒ 7 මාර්ග‍ය ආශ්‍රිතව පිහිටා ඇති මේ දියඇල්ල මධ්‍යම පළාතේ පිහිටි දියඇලි අතරින් සොඳුරුම දියඇල්ලක් ලෙස හැඳින්විය හැකි ය.

ශ්‍රී ලංකාවේ  දියඇලි අතරින් උසින් 19 වැනි ස්ථානය හිමිවන්නේ මේ ඩෙවෝන් දියඇල්ලටයි. මීටර් 97ක් උසැති මේ දියඇල්ල කලකට පෙර මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කෝපි වතු හිමි වැවිලිකරුවකු වූ ඩෙවෝන් නැමැත්තාගේ නමින් ප්‍රකටව ඇති බවට අදහස් පවතී.

මුහුදු මට්ටමේ සිට මීටර් 1140ක් උසින් පිහිටි මේ දියඇලි කොමලිය සංචාරකයන්ගේ ආකර්ෂණය  නොමද ව දිනා ගන්නට විය.  ඩෙවෝන් තේ වත්ත මැද දී දර්ශනය වන මේ දියඇලි කොමලිය ඇල්ලට කිලෝ මීටරයක් පමණ ඉදිරිපසින් ඇදෙන නුවරඑළිය මාර්ගයේ සිට ද නැරැඹිය හැකි ය. දියඇල්ල නිදහසේ නැරැඹීමට වගේ ම එහි සුන්දරත්වය විඳීමට මෙන්ම එය ඡායාරූපගත කර ගැනීමට ද එම ස්ථානයේ සිට හැකියාව පවතී.

ඩෙවෝන් දිය ඇල්ල නිර්මාණය වන්නේ, මහවැලි ගංඟාවෙන් පෝෂණය වන ඔයක් වන කොත්මලේ ඔයෙන් ගලා එන අතු ගංගාවක් ආශ්‍රය කරගෙන ය. ඕනෑම දියඇල්ලක දිය දහර ගලා හැලෙන ආකාරය අනුව, පිහිටීම සහ  දර්ශනය වන සුන්දරත්වය අනුව, ඇල්ලේ ජලය වැටෙන හඬ අනුව එයට අනන්‍යතාවක් ඇත. ‍ඩෙවෝන් දිය ඇල්ල ද ඒ අනන්‍යතාවෙන් යුක්ත ය.

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරයකට එක්වන ඕනෑම කෙනකු නැරැඹීමට අමතක නොකරන දියඇල්ලක් ලෙස සඳහන් කළ හැකි මෙය, දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයට නොමඳව පාත්‍ර වන දිය ඇල්ලකි. ශ්‍රී ලාංකේය පුද්ගලයකු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ දියඇල්ලකට නැග ඉන් පහළට බැස තැබූ පළමු වාර්තාව අයත් වන්නේ ද ඩෙවෝන් දිය ඇල්ල මුල්කරගෙන ය. ඒ 1998 අප්‍රේල් 17 වැනිදා ලෙස ඉතිහාසයට එක්ව ඇත. එම වාර්තාව තබා ඇත්තේ කුමාර බන්දුල නමැත්තා විසිනි.

මෙම ඩෙවොන් දියඇල්ල නැරැඹිය හැක්කේ තලවාකැලේ හැටන් මාර්ගයෙහි 20 වැනි සැතැපුම් කණුව ආසන්නයේදී ය.  නැත්නම් නුවරඑළිය - හැටන් මාර්ගයේ හැටන් සිට කි. මී. 34ක් පමණ ගමන් කළ පසුව ය. වසන්ත සමයේ උදාවත් සමග සංචාරකයන් වැඩි වැඩියෙන් නුවරඑළිය දෙසට ඇදී එන විට ඩෙවෝන් තේ වතු යායේ තේ දලු නෙලන ලදුන් දෙස බලමින් ඩෙවෝන් ඇල්ල නැරඹීමට උනන්දුවක් දක්වයි. 

මේ සුන්දර ස්ථාන නරඹන්නට වගේ ම ස්වභාවික ජෛව විවිධත්වය රැක ගනිමින් මතු පරපුර උදෙසා රැක ගන්නට ද අප වග බලා ගත යුතු වේ. 


මූලාශ්‍ර 

www.travelpages.lk

www.divaina.lk

www.youtube.com

Saturday, April 8, 2023

නල්ලූර් කෝවිල



ශ්‍රී ලංකාවේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන අතර යාපන නගරයට සමීප ව පිහිටි යාපනය පේදුරුතුඩුව මාර්ගයේ දී හමුවන නල්ලූර් කෝවිල හින්දු ජනයාගේ වන්දනාමානයට පාත්‍ර වන පූජනීය භූමියකි. යාපනයේ ඓතිහාසික ස්ථාන අතර නල්ලූර් හින්දු කෝවිල විශේෂ වන්නේ එහි ඇති ආගමික හා සංස්කෘතික වැදගත්කම හේතුවෙනි.

මෙය හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ සේ සැලකෙන අතර මෙරට ශිව ආගමේ ජිවය ලෙස සලකයි.  සවැනි බුවනෙකබාහු රජු විසින් මුල්වරට මෙය තනවා කතරගම දෙවිඳුන් හෙවත් කන්දස්වාමි දෙවියන් නමට පූජා කළ බව සඳහන් වේ. මෙම කෝවිල ජාතීන් අතර සුහදතාව වර්ධනය කරන ස්ථානයකි. සවැනි බුවනෙකබාහු රජු නම් සයවන පැරකුම්බා රජු විසින් පුතු ලෙස හදා වඩා ගත් චෙම්බග පෙරුමාල් හෙවත් අරිය වෙට්ටෙයියදුම් පෙරුමාල් නමැති කුමාරයෙකි. 

යාපනයේ හින්දු කෝවිල් මෙන් ම ලංකාවේ බෞද්ධ විහාරස්ථාන ද ඉදි කොට ඇති  ඔහු කර වූ මුල්ම නල්ලූර් කෝවිල වර්තමානයේ දි දිස්වන්නේ ප්‍රතිසංස්කරණ  කිහිපයකට ලක් වීමෙනි.

නල්ලුර් කෝවිල් භූමිය ඉතා අලංකාරවත් රමණීය  වටපිටාවකින් යුක්ත වේ. ලෙඩදුක් කරදර බාධක දුරුකර බැතිමතුන් පීඩනයෙන් මුදවා සරල සැහැල්ලු ආධ්‍යාත්මික සුවයක් ලබා දෙන  හින්දු ආගමට ආවේණික ක්‍රම මගින් මිනිස් සිත් සුවපත් කරන ගුණයක් මෙහි පවතී. මෙම නල්ලූර්  හින්දු කෝවිල සියලු ආගමික බැතිමතුන්ගේ පූජාවට මෙන් ම ගෞරවාදරයට පාත්‍ර වන්නකි.

තවත් මතයක් නම් මෙම දේවාලය මුරුගන් දෙවියන්ට කැප කර ඇති අතර යුද්ධයේ දෙවියා රණශූර දෙවියා ලෙස ද සැලකේ. ඔහු මහා ශිව සහ පාර්වතීගේ පුත්‍රයා වන අතර ගනේෂ්ගේ සහෝදරයා වේ. මෙය  ශ්‍රී ලංකාවේ ඇති ප්‍රසිද්ධ පුදභූමි ගණනාවක් අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී. මෙරටට පැමිණි ආක්‍රමණිකයන් විසින් වරින් වර මෙය විනාශ කර ඇති නමුත් සෑම විටම ප්‍රතිසංස්කරණය කර ඇත. මෙහි "නල්ලූර් උත්සවය" නමින් හැඳින්වෙන ජනප්‍රිය උත්සවයක් පවත්වයි. එය නගර මධ්‍යයේ පිහිටු වන අතර පිරිමින් මුරුගන් දෙවියන්ට ගෞරව කිරීම සඳහා උඩුකය නිරුවතින් කෝවිලට ඇතුල් වීම සිරිතකි.

ප්‍රථම කන්දස්වාමි කෝවිල ආරම්භ කර ඇත්තේ 1948 වසරේ දී යි. යාල්පාන වෛපවමාලෛට අනුව නම් මෙම කෝවිල 13 වන සියවසේ දී යාපනයේ කාලිංග මාඝ රජතුමාගේ ඇමතිවරයෙකු වූ බුවනෙකබාහු විසින් සංවර්ධනය කරන ඇත. 

තුන්වන වරට නල්ලුර් කන්දස්වාමි කෝවිල  අලුත්වැඩියා කර යාපනය රාජධානිය පාලනය කළේ සපුමල් කුමාරයා විසිනි. නල්ලුර් කෝවිල සමිපයේ රජ මාලිගාව පිහිටා ඇති අතර නල්ලුර් යාපනයේ රජවරුන්ගේ අගනුවර ලෙස හැදින්වේ. නල්ලුර් පිවිසුම ආරක්ෂිත ද්වාර හතරකින් සමන්විත ව ඇත. 

වර්තමානයේ දී මුල්ම නල්ලුර් කෝවිල පිහිටි ස්ථානයේ පෘතුගීසීන් තැනූ පල්ලි  පුජනිය දෙවස්ථාන දක්නට ඇත. නගර මධ්‍යය මුතිරෛ සන්ති නම් වූ අතර එය වටා බලකොටුවක් පැවතී ඇත. එහි රජවරුන් බ්‍රහ්මණ පූජකයන්, සොල්දාදුවන් සහ වෙනත් සේවා සපයන්නන් සඳහා ඉතා අලංකාර ගොඩනැගිලි සකසා  ඇත. උස් බිත්ති සහිත පුරාණ  කන්දස්වාමි කෝවිල ආරක්ෂක බලකොටුවක් ලෙස ද යොදා ගෙන ඇත. ක්‍රි.ව. 1624 වර්ෂයේ  දී පෘතුගීසී කතෝලික යටත් විජිතයේ ඔලිවේරා විසින් තෙවන නල්ලුර් කෝවිල විනාශ කර ඇත. වර්තමානයේ නල්ලුර් කෝවිලෙහි ශාන්ත ජේම්ස් පල්ලිය පිහිටා ඇති ස්ථානයේ මුල්ම නල්ලුර් කෝවිල පිහිටා ඇත.

ලන්දේසි යටත් විජිත යුගයේ දී එකල කුරුක්කල් වලව් නම් ප්‍රදේශයක ලන්දේසි කච්චේරියේ සරප් ලෙස සේවය කල 'දොන් ජූවාන් ' රගුනාථ මාපාන මුදලියර් විසින් හතරවන නල්ලුර්  කෝවිල ක්‍රිස්තු වර්ශ 1734 දී ඉදිකර ඇත. කෝවිලේ ප්‍රථම වරට පුජකයෙකු ලෙස සේවය කොට ඇති බ්‍රහ්මණයා ක්‍රිශ්නෛයර් නමින් හැදින්වේ. 

ආරම්භයේ දී කෝවිල ඉදිකර ඇත්තේ ගඩොල් සහ ගල් මාධ්‍යයෙනි. එහි වහලයට පොල් අතු භාවිතා කර තිබී ඇත. මුල්ම සිද්ධස්ථානයේ තිබී ඇත්තේ කුඩා ශාලා දෙකක් පමණි. අතීතයේ  කෝවිලෙහි පරිපාලන කටයුතු භාරව කටයුතු කරන ලද්දේ රගුනාථ මාපාන මුදලියර්ගෙන් පැවත එන්නන් විසින් බවට සැලකේ.

නල්ලූර් කෝවිල් ඉතිහාසයේ 'ස්වර්ණමය යුගය' ආරම්භ වන්නේ 1890 දී ‍ය. 07 වැනි භාරකාරයා ලෙස නල්ලුර් කෝවිල් පරිපාලනය ආරුමුග මාපාන මුදලියර් විසින් අතට ගෙන ඇත. ඔහු විසින් පළමු බෙල් කුළුණ 1899 දී  ඉදි කරන ලදි. පසුව  අනුප්‍රාප්තිකයන් විසින් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. 1964 පසු වර්තමානයේ 10 වන භාරකරු වන කුමාරදාස් මාපාන මුදලියර් විසින් කෝවිලේ වැඩි දියුණු කිරීම් සිදු කර ඇත. මුළුමනින් ම  කෝවිල් සංකීර්ණය  ගොඩ නගමින් එය මෙරට තුළ විශාලතම හින්දු කෝවිල් සංකීර්ණය බවට පත්කර ඇත. වාර්ෂික චාරිත්‍රයක් වන 'තිරුප්පනි ' ඔහු විසින් හඳුන්වා දෙන ලදුව ඇත. අද වන විට කෝවිලේ ඇති ගෝපුරම් හතර, බෙල් කුලුණු හය සහ එහි ඇති බලකොටු බිත්ති  නල්ලුර් සඳහා බලකොටුවක පෙනුමක් ලබා දී ඇත.

මෙම කෝවිලේ ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට මුහුණලා පිහිටා ඇත. එහි ඇති කැටයම් ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව කරවා තිබේ. මෙම කෝවිලේ දක්ෂිණ ප්‍රදේශයේ ශුද්ධ වු පොකුණ හා චන්ද්‍රයුධපානි සිද්ධස්ථානයක් ද දක්නට ඇත. උතුරු පැත්තේ 'පුන්තෝට්ටම් ' ශුද්ධ උයන දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙහි දෙමළ හින්දු ජනතාවගේ අනන්‍යතාවය සහයෝගය  සදහා සමාජයීය වශයෙන් වැදගත් වූ කෝවිලකි. ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ බොහෝ කෝවිල් ඉදිකර තිබේ.  කෝවිලේ පරිපාලනය දැඩි විනයගරුක බව නිසා මෙම කෝවිල බැතිමතුන්ගේ ගෞරවාදරයට සහ සම්මානයට පත්ව ඇත.

අද වන විට මේ පූජනීය භූමිය දස දහස් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වේ. ඉන්දියාවේ සිට පවා බොහෝමයක් මේ නල්ලූර් කෝවිල වැදපුදා ගැනීමට පැමිණෙන්නේ මෙම කෝවිල් භූමිය හාස්කම් වලින් පිරී පවතින බවට ඔවුන් විශ්වාස කරන හෙයිනි. හින්දු ජනයන්ගේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් බවට මෙය පත්ව තිබේ. දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් ද මෙය නැරඹීමට වැද පුදා ගැනීමට පැමිණෙයි. රාජ්‍ය නායකයන් ද තම රාජකාරී දිවිය ආරම්භයට ප්‍රථම ව හෝ ආරම්භයෙන් පසු මෙහි පැමිණ ආශිර්වාද ලබා ගැනීම සිදු කරයි. මෙරට ඓතිහාසික සංචාරක ස්ථාන අතුරින් වැදගත්  තැනක්  නල්ලූර් කෝවිල ට හිමි වේ.

මූලාශ්‍ර 

www.travelpages.lk

www.thaksalawa.lk

www.youtube.com

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...