Tuesday, April 26, 2022

කඩදොර විහාරය

නුවරඑළියෙ සංචාරය කරන විට යා යුතුම ස්ථාන අතර බොහෝ දෙනෙක් මගහැර ගන්නා එහෙත් නරඹිය යුතු ම සුන්දර ස්ථානයක් ලෙස කඩදොර විහාරය හැදින්විය හැක. ගොඩක් අය  නොදන්නා ඒ වගේ ම අවුරුද්දකට උපරිම දෙවතාවක් පමණක්  දැක ගන්නට  හැකි තැනක් ලෙස පෙන්වා දිය හැක. සමහර අවුරුදු වල නම් එක පාරක්වත් දැක ගැනීමට හැකියාව නොලැබේ. මෙය කොත්මලේ පියබිම්බාරාමය නමින් ද හදුන්වනු ලබයි. නමුත් මෙය වඩාත් ප්‍රසිද්ධ  කොත්මලේ කඩදොර විහාරය නමිනි.


කඩදොර විහාරය ගැන ඉතිහාසය බලන විට කාවන්තිස්ස රජතුමාගේ කාලයේ දී මෙම ප්‍රදේශය කොත්මලේ නමින් ම හදුන්වා ඇත. එහෙත් කොත්මලේ ඉතිහාසය එයටත් වඩා පැරැණි ය.

කොත්මලේ පස කළු වීම පිළිබඳ  ජනප්‍රවාදයේ සදහන්  කතා වෘත්තයක් ඇත. එනම් හනුමා ගිනි තැබූ නිසා මෙලෙස   පස කළු වූ බව ජනප්‍රවාද වල කියැවේ.

කුවේණිගේ දරුවන් දෙදෙනා කොත්මලේට පළා ආ බව ද සදහන් වේ. ගැමුණු කුමාරයා මාළිගය  හැරලා   කොත්මලේ කොටගේපිටියේ සැගව ජීවත් වූ බව ද සදහන් වේ.  ගැමුණු කුමාරයා මහ පොළවේ පය ගසා ඉන්නට ඉගෙනගත්තේ කොත්මලේ හිටපු කාල වකවානුව තුළ බව නොරහසකි.


කාලිංග මාඝගේ කාලයේ දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍ර ධාතූන් වහන්සේ සගවා  තිබෙන ලද්දේ ද කොත්මලේ ප්‍රදේශයේ ය. ඉංග්‍රීසින් මහනුවර ආක්‍රමණය කළ විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ  සැගව සිටියේ  කොත්මලේ ය. 1818 කැරැල්ල මොහොතේ කැප්පෙටිපොළ, කිවුලේගෙදර, කැටකැලේ වගේ නිදහස් සටනේ නායකයන් ආරක්ෂාව පතා පැමිණියේ කොත්මලේට බව ඉපැරණි මතයයි.

රජවරු , නිදහස් සටන් වල නායකයන් මෙන්ම දන්ත ධාතූන් වහන්සේ පවා රැකබලා ගත් නගරයක් ලෙස පෙන්වා දිය හැක. සංචාරක ස්ථානයක් ලෙස ගතහොත් ඉහළ  වටිනාකමක් කොත්මලේට තිබේ.  ( Peacock hills ) මොණරගල කන්ද, දෙහඳුකඩුල්ල, රජ පීල්ල, මහවිරුසෑය, කොත්මලේ ජලාශය, ඒ වගේම වතුර අඩු කාලෙට කඩදොර විහාරයත් නරඹන්නට හැකියාව ලැබේ.


වැස්ස වැඩි කාල වල දී කොත්මලේ ඔය පිටාර දාන නිසාවෙන් කඩදොර හා ඒ අවට ප්‍රදේශය අතීතයේ සිට ගංවතුරට ලක් වී ඇත. මීට  පිළියමක් ලෙස 1950 සමයේ දි මෙම ප්‍රදේශයට වේල්ලක් සෑදීමට සැලසුම් කර තිබේ.  ඒ අනුව  වසර 20 කට පමණ  පසු  1970 වසරේ පෙබරවාරි 28 ආරම්භ කරන ලද මහවැලි සංවර්ධන වැඩසටහනේ කඩිනම් වැඩපිළිවෙල යටතේ 1979 වසරේදී කොත්මලේ ජලාශයේ වැඩ අරඹා 1985 දී විවෘත කර ඇත. කොත්මලේ ජලාශය සාදන විට කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබිච්ච ගම් 57 වගේම පන්සල් 54 ක් යට වූ බව කියැවේ.

කඩදොර විහාරය  කොත්මලේ ජලාශය සාදන විට  යට වූ විහාරයක් ලෙස හදුන්වා දිය හැක. ජලාශයේ වතුර අඩු කාලයේ විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ නටඹුන් කිහිපයක් දැක බලා ගැනීමට හැක.   දැඩි නියගය පවතින  කාලය තුළ මෙය හොදින් දැක ගත හැක. වැඩිම කාලයක් වතුරෙන් යට වී තිබීම නිසාම වර්තමානය වන විට නටබුන් පමණක් ඉතිරි වී ඇත.

කඩදොර විහාරයට පැමිණෙන්නේ  නම් ගම්පොලට පැමිණ මාවෙල බස් රථයක් හෝ  දොරගල බස් රථයක හරි නැඟ ලේසියෙන් ම යා හැක. නුවරඑලිය මහනුවර පාරේ තවලන්තැන්න මංසන්ධියෙන් කොත්මලේ දෙසට තිබෙන මාර්ගයෙන් ද පැමිණිය හැක. නාවලපිටිය හරහා ද කොත්මලේට ලගා වීමට හැක.

මූලාශ්‍ර 

www.budusarana.lk

www.lifesmile.lk

www.deshatana.com

Friday, April 22, 2022

බඹරකන්ද දිය ඇල්ල


ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉහළට ඔසවන දසුන් අතර දිය ඇලි වලට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.  දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර දිය ඇලි නැරඹීම වඩාත් ප්‍රචලිත වූවකි. ස්වභාවික පරිසරය මනරම් කරන දිය ඇලි රාශියක් ලංකාව තුළ විහිදී ඇත. 

උස් කදුකර තුළින් බිහි ව අතරමග දී පෝෂ­ණය වී ගලා හැලෙන දියඇලි මනස්කාන්ත දසුනකි. බඹරකන්ද දියඇල්ල  ලංකාවේ උසම දිය ඇල්ල ලෙස හදුන්වා දිය හැක. එය ලෝකයේ උසින් වැඩිම දිය ඇලි අතර 299 වන ස්ථානය හිමි කර ගනී. මෙය උසින්  263m ක් එනම් අඩි 863කි.  මෙම දිය ඇල්ල සුන්දරත්වය අතින් ලංකාවේ පමණක් නොව ලෝකයේ ම සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූවකි.

මෙම දිය ඇල්ල ‘බඹරකැලේ’ ඇල්ල යන නමින් ද හදුන්වනු ලබයි.  වලවේ ගගේ අතු  ගංගාවක් වන කුඩා ඔයෙන් මෙම දියඇල්ල නිර්මාණය වේ. හෝර්ටන්තැන්නෙන් ආරම්භ වන වලවේ ගග පසුව කුඩා අතු ගංගා කිහිපයකටම වෙන් වේ. මේ බඹරකන්ද ඇල්ල නිර්මාණය කරන කුඩා ඔය එහි එක් අතු ගංගාවකි. පහලට ගමන් කරන ඇල්ල නැවත වලවේ ගග හා එකතු වේ.

දිය ඇල්ල නැරඹීමට  කොළඹ  බදුල්ල මාර්ගයේ  A4 මාර්ගයේ ගමන් කළ යුතුය. කොළඹ සිට ගමන් කරන විට බෙලිහුල්ඔය පඹහින්න පසු කර  කලුපහන හන්දියෙන් 5km පමණ ගමන් කළ විට  බඹරකන්ද දිය ඇල්ල හමු වේ. මෙම මාර්ගයේ දී වීරකෝන් ගම පසු කර 4km ක් පමණ ගිය පසු මෙම ඇල්ලට යන වනාන්තර මාර්ගය හමු වේ. 

මෙහිදී  වනාන්තර මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කළ විට  බඹරකන්ද දිය ඇල්ල හමු වේ. 

දිය ඇල්ල අසල තිබෙන වේදිකාවේ සිට මේ සුන්දර බඹරකන්ද දිය ඇල්ලේ මිහිරියාව අත්විදිය හැක.  මෙම ස්ථානය ලංකාවේ  සෙසු දිය ඇලි වලට අසමාන  දිය නෑමට ඉතා සුදුසු බැවිනි.  ඇල්ල වැටෙන ස්ථානය අසල ගැඹුර වැඩි බැවින් එම ස්ථානය හැර දිය ඇල්ල පහල කොටසේ දිය නෑමට සුදුසු ස්ථාන රැසකි.

නියග කාලයට කදුකර ඉහල ප්‍රදේශ වල දී වගා කටයුතු සදහා යොදා ගන්නා බැවින් දිය ඇල්ල තුනී ආකාරයෙන් දිස් වේ.

මෙම දිය ඇල්ල අසලම තවත් සුන්දර දිය ඇලි දෙකක් වන ලංකා ඇල්ල හා යාලතැන්න ඇල්ල පිහිටා ඇත. මේ බඹරකන්ද සංචාරයේ දී එම දිය ඇලි දෙකේ සුන්දරත්වය ද අත්විදිය හැකිය.

පරිසරය සංරක්ෂණය කර ගනිමින් සංචාරය කිරීම සංචාරකයන්ගේ යුතුකම හා වගකීමයි.

මූලාශ්‍ර

www.lankadeepa.lk

www.facebook.lk

www.sltraveler.lk

Saturday, April 16, 2022

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය

 

හෝර්ටන්තැන්න මෙරට පවතින සුවිශේෂි සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයකි. පරිසර සුන්දරත්වය අතින් ඉහළ ජෛව විවිධත්වයෙන් අනූන මනරම් භූමියකි. මේ සුන්දර භූමිභාගය හෙක්ටයාර 3160 ක විශාලත්වයෙන් යුත් කඳුකර සදාහරිත වැසි වනාන්තරයකි. නුවරඑළිය, බදුල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක තුනට මායිම් ව පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට මීටර 1800 – 2100 අතර උසකින් යුක්ත වන අතර ශ්‍රී ලංකාවේ උසින් ම පිහිටි පට්ටිපොළ සානුව හෝර්ටන්තැන්නට අයත් වේ. 


ක්‍රි.ව 1833 දී විලියම් ෆිෂර් සහ ඇල්බට් වොට්සන් නම් බ්‍රිතාන්‍ය යුද්ධ නිලධාරීන් දෙදෙනා විසින් හෝර්ටන් තැන්න සොයා ගෙන ඇත. එකල ආණ්‍ඩුකාරවරයාව සිටි රොබට් විල්මට් හෝර්ටන්ගේ නාමය සිහිගන්වමින් " හෝර්ටන්තැන්න " යන නාමය භාවිතයට එක් කර තිබේ. අතීතයේ දී මෙම භූමිය මහ එළිය, මහතැන්න, මැණික් පොකුණ යන නම් වලින් ද හඳුන්වා ඇත.

හෝර්ටන්තැන්න වෙත පැමිණීමට ප්‍රධාන මාර්ග දෙකක් තිබේ. එනම් නුවරඑළිය-පට්ටිපොල මාර්ගයේ 32km  පැමිණිය යුතුය.  හපුතලේ සිට ඔහිය හරහා 38km ක් පැමිණි විටද මෙම ස්ථානයට ලගා විය හැක.  එසේම හැටන් ඩයගම හරහා ද හෝර්ටන්තැන්නට පිවිසෙන අප්‍රකට  මාර්ගයක් ඇත. 

කොළඹ සිට පැමිණෙන සංචාරකයින් හෝර්ටන්තැන්නට පැමිණෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හෝ පට්ටිපොල දුම්රිය ස්ථානවලට ලගා වීමෙනි. මේ සංචාරය  උඩරට දුම්රිය මාර්ගයේ ඇති සුන්දරවය ද අත්විඳිමින් පැමිණීමට හැකිවීමයි.

හෝර්ටන්තැන්න පළමුවරට ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කරන ලද්දේ 1969 වසරේ දෙසැම්බර් 5 වන දින ය. හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයක් බවට පත් කරනු ලැබූයේ 1988 වසරේ මාර්තු 16 වන දිනය. මෙහි විශාලත්වය හෙක්ටයාර 3160 වන අතර මුහුදු මට්ටමේ සිට උස මීටර 2200ක් පමණ වේ. මේ නිසාම වාර්ෂික උෂ්ණත්වය 15C වන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2540ක් පමණ වේ.



ශ්‍රී ලංකාවේ උසම තැනිතලා ප්‍රදේශය ලෙස සැලසෙන මේ ප්‍රදේශයේ උසින් මීටර 2398ක් වන කිරිගල්පොත්ත කන්දත් උසින් මීටර 2351ක් වන තොටුපොල කන්දත් පිහිටා ඇත. හෝර්ටන්තැන්න සංචාරය කරන විට මේ කදු දෙක ද තරණය කිරීමේ හැකියාව ද සංචාරකයන් හට පවතී. මෙම උද්‍යානයේ ඇති වඩාත්ම ප්‍රසිද්ධ ස්ථාන වන්නේ වළාකුළු වනාන්තර, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල හා චිමිනි ඇල්ලයි.

අධික සුළං නිසා ශාක  කුරුවී වැඩීම සිදුවේ. වාතය වැඩි සිසිල් බවකින් හා වැඩි ආර්ද්‍රතාවයකින් යුතු නිසා ම වනාන්තර ඇතුළත සිසිල් බවක් පවතී. මේ ප්‍රදේශය ඉතා වටිනා ජල පෝෂක ප්‍රදේශයක් වන අතර මහවැලි, වලවේ, කැළණි ගංගාවල අතු ගංගා වගේම බගවන්තලාව ඔය, බෙලිහුල්ඔය හා ආගර ඔය යන ජල මූලාශ්‍රයන් ද මෙහි සිට ආරම්භ වේ.

කදු හා නිම්නවලින් අනූන මෙම පරිසරයේ එකිනෙකට වෙනස් ශාක විශේෂ හා ස්ථරවලින් යුතුය. මෙහි තෙත් සදාහරිත වනාන්තර ද පවතින අතර වනාන්තර ඇතුලට හිරු එළිය පතිත වන්නේ මද වශයෙනි. මේ නිසා ම ඒවා ඇතුළත අදුරු බවකින් යුක්තය. ශාක ආලෝකය සදහා තරගකිරීමක් කරනු ලබයි. එහි ප්‍රථිපලයක් ලෙස ශාක මත වැඩෙන අපි ශාක හා උඩවැඩියා විශේෂ බහුල වේ. මෙම අපි ශාක නිරන්තර පවතින වලාකුළු මගින් ජලය ලබා ගැනීම සිදු කරයි.

මහ රත්මල් යනු හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ දැකිය හැකි විශේෂ ශාකයකි. මීට අමතරව කීන, වල්කදුරු, බිනරමල්, වල්කපුරු, මහ මීවන, බෝවිටියා වැනි ශාකද මෙහි බහුල ය. එසේම ප්‍රධාන ආක්‍රමණික ශාක විශේෂ 02 ක් ද මේ උද්‍යානයේ දී දැකිය හැකිය. එනම් එයුලැක්ස් හා වරැල්ල යන ශාකයන් ය. ආවේණික පක්ෂි විශේෂ 14ක්, සංචාරක කුරුල්ලන් විශේෂ 11ක් ඇතුලු කුරුලු විශේෂ 50 ක් ද ගෝනා, දිවියා, වදුරා, වැලි මුවා, දඩු ලේනා, බළල් දිවියා, හාවා යන සතුන්ද මේ භූමියේ වාසය කරයි. ආවේණික වදුරු විශේෂයක් වන වලස් වදුරා මෙහි දැකිය හැකි තවත් සුවිශේෂී සත්වයෙකි.


ක්‍රියාකාරී වළාකුළු වනාන්තර ලොව පැරණිතම වනාන්තරවලින් පැවත එන අතර වසර මිලියන ගණනකට පෙර ලංකාව පිහිටි ඇන්ටාක්ටික් කලාපයේ වූ ශීත දේශගුණය අදටත් මෙහි නොනැවතී පවතින බවට විශ්වාස කරයි. හෝර්ටන්තැන්න වූ කලී ක්‍රියාකාරී වළාකුළු දැකගැනීමට ඉතාම සුදුසු ස්ථානයකි. ලෝකාන්තයේ පහළ ප්‍රදේශවල උණුසුම් වාතය ඝනීභවනය වීමෙන් සෑදුනු වලාකුළු නිරන්තරයෙන්ම දැකිය හැකිය. මේ නිසාම හෝර්ටන්තැන්න ප්‍රදේශයේ පවතින්නේ නිරන්තර වෙනස්වන කාලගුණයකි.

ලෝකාන්තය හෝර්ටතැන්නේ වඩාත්ම ප්‍රකට සංචාරක ස්ථානයයි. මෙහි සිට පහළට ඇත්තේ මීටර 870ක් පමණ වන බෑවුමකි. පහළ බැලූවිට තේ වතු යායන් හා බලන්ගොඩ ප්‍රදේශ පැහැදිලිව දැකිය හැකිය. කිරිකැටි ඔය හා දකුණු පළාතේ සමහර ප්‍රදේශ ත් ඈත මුහුදත් වලාකුළු නැති පැහැදිලි දිනවල බලාගත හැකිය.

හෝර්ටන්තැනේ ඇති අනෙක් සුන්දරතම සංචාරක ස්ථාන දෙක වන්නේ බේකර්ස් ඇල්ල හා චිමිනි ඇල්ල යන දිය ඇලි දෙකයි.  


මෙම හෝර්ටන්තැන්න උද්‍යානය Camping වලට ඉතාම සුදුසුය. ඔබ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය වෙත පැමිණෙන්නේ නම් කිරිගල්පොත්ත කදුවැටිය ද තරණය කිරීමට අවසර ලබා ගත හැක. එවිට  සංචාරය තවත් උද්වේගකර එකක් වනු නොඅනුමානය. කිසිවිටෙක මෙම සුන්දර ජල පෝෂක කලාපය විනාශ වන ආකාරයට කටයුතු නොකළ යුතුය.

මතු පරම්පරාවට ද මෙවන් ස්ථාන වල සුන්දරත්වය විද ගැනීමට ඉඩ හසර ඉතිරි කළ යුතුය එය සැමදෙනා සතු පරම වගකීමකි.

මූලාශ්‍ර 

www.sltraveler.lk

www.thaksalawa.lk

www.facebook.lk

Friday, April 15, 2022

මඩොල්සිම පුංචි ලෝකාන්තය

 
කඳු වලින් ආවරණය වී තිබෙන සුන්දරත්වයෙන් අනූන   සංචාරක ආකර්ෂණයක් දිනාගත් භූමියක් ලෙස මඩොල්සිම හදුන්වා දිය හැක. පෞරාණික  බවින් යුතු මනස්කාන්ත  ගම්මානයක් ලෙස මඩොල්සිම කා අතරත් සුප්‍රසිද්ධ ය.

දිගාමඩුල්ල දෙසින් සීමා වී තිබෙන මඩොල්සිම ගම්මානය ඌව කඳු වළල්ලෙන් වට වී ඇති  නිසාම එම ප්‍රදේශයට හිරු එළිය පතිත වන්නේ ප්‍රමාද වය. අනෙකුත් ස්ථාන වලට වඩා ඉක්මනින් ඉර බැස යාම  සිදු වේ. මේ නිසා මඩොල්සිමට දවල් කාලය තරමක් කෙටි වී ඇත.

බදුල්ල නගරයේ සිට  පස්සර දෙසට ගමන් කර  වම්  පැත්තට තියෙන B360 පාරේ 20km විතර ගමන් කර මඩොල්සිම ගම්මානයට පහසුවෙන් ළඟා විය හැක.  පොදු ප්‍රවාහනයේ ගමන් කරන්නේ නම් පිටමාරුව බසයෙන් ගමනාන්තයට ලගා විය හැක. නමුත් එය ගමන් කරන්නේ දවසටම ගමන් වාර දෙකක් පමණි. මීගහකිවුල නගරයේ සිට මඩොල්සිමට පහසුවෙන් ලගා විය හැක.

පස්සර ඉඳන් මඩොල්සිමට යන මාර්ගය හරිත වර්ණයෙන් දිස් වේ. එම ප්‍රදේශය තරමක් ජනශුන්‍ය ව ඇත. තේ වතු වල තේ දළු කඩන මිනිසෙකු හැර වැඩි මිනිස් වාසයක්  නොමැති  ප්‍රදේශයකි. 

පුංචි ලෝකාන්තය , කොහොනාවල ගම්මානය , ඩී.එස් ගල , මඩොල්සිම ආසන්නයේ තියෙන ලස්සන ස්ථාන කිහිපයකි. පුංචි ලෝකාන්තය  රෝස්බෙරි වතුයායේ මායිමක පිහිටා ඇත. එම නිසා අතුරු මාර්ගයකින් මද  දුරක් ගමන් කිරීමට සිදු වේ. මෙය තරමක් දුෂ්කර මාර්ගයකි.  ගමනාන්තය දක්වා ගමන් කරන්නට සිදු වන්නේ නම් පා ගමනිනි.

මේ මාර්ගයේ  තවත් සුන්දර දර්ශනයක් දැකිය හැකි වේ. ඒ  ඩී.එස් ගල යි. මෙය ස්වාභාවික පිහිටීමක් වුවද  මෙහි හැඩරුව  ඩී.එස් සේනානායක මහත්තයගේ වගේ කියල මතයක් ව්‍යාප්ත ව ඇත.

පුංචි ලෝකාන්තයට ළඟා වීමට මෙහිදී හැකිය. පුංචි ලෝකාන්තයට  මොණරාගල, මහියංගනය, මහනුවර, අම්පාර, බිබිල, මඩකලපුව ප්‍රදේශ වගේම සේනානායක සමුද්‍රයත් දැක ගත හැක. ඝන මීදුම  දවසක් නම් මේම දර්ශන මගහැරී යනු ඇත.



පුංචි ලෝකාන්තය, කොහොනාවල ගම්මානය, ඩී.එස් ගල, මඩොල්සිම ආසන්නයේ තියෙන ලස්සන ස්ථාන වලින් කිහිපයකි.

කොහොනාවල  තිබෙන අඩුම ඉර එළිය වැටෙන ගම්මානය මඩොල්සිම යි. එහි මීදුමත් සමග තරමක අඳුරු ගතියක් පවතී. සිසිලස සමග ගත සිත නිවෙන හැගීමක් මෙහිදී  උත්පන්න වේ. පුංචි  ලෝකාන්තය පිහිටි ස්ථානය මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන්  1400m ක් පමණ උසකින් යුක්තය.



 මෙම ලෝකාන්ත ගමනට අවශ්‍ය ආහාර හා අනෙකුත් දේවල්  ලබාගැනීම මඩොල්සිම කුඩා නගරයේ දි සිදු කර ගත යුතුය. මෙම මාර්ගයේ දී හමුවන තවත් සුන්දර ස්ථානයක් වන්නේ අරදුනු ඇල්ලයි.  පිටමාරුව ගමේ තවත් සුන්දර දිය ඇලි දෙකක් ඇති බව කියැවුනත් ඒ ගැන ප්‍රසිද්ධියට පත් ව නැත.

තවමත් අප්‍රකට මෙම මඩොල්සිම ලෝකාන්තය වෙත පැමිණෙන්නේ ඉතා කුඩා පරිමාණයේ සංචාරකයින් පිරිසකි. ඉදිරියේ දී අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු වුවහොත් විශාල වශයෙන් සංචාරකයින් මේ කරා ඇදී එනු ඇත.  බදුලු පුරවරයේ සංචාරය කරන විට මෙම ලෝකාන්තය වෙත පැමිණීමට අමතක නොකළ යුතුය. සාමාන්‍යයයෙන් බදුල්ලේ සිට වුවත් මේ ගමනට සම්පූර්ණ දිනයක් වෙන් කිරීමට සිදුවේ.

මෙහි සුන්දරත්වය අපද්‍රව්‍ය දමා විනාශ නොකර අනාගතය උදෙස රැක ගැනීම සැමදෙනා සතු යුතුකමකි.

මූලාශ්‍ර 

www.sltraveler.lk

www.deshatana.com

www.facebook.com

Wednesday, April 6, 2022

දුම්බර කදුවැටිය හෙවත් නකල්ස් කදුවැටිය

 

දුම්බර කදු වැටිය දුටුවන්ගේ මන පිනවන  මනස්කාන්ත දර්ශනයකි.  මහනුවර සහ මාතලේ දිස්ත්‍රික් තුළ  පැතිර පවතින මෙම කදුවැටිය දකුණින් සහ නැගෙනහිරින් මහවැලි නිම්නයෙන් ද , බටහිරෙන් මාතලේ නිම්නයෙන් ද ,  මධ්‍යම කදු වැටියෙන් වෙන් ව පවතී.


කදුවැටියේ බටහිර පෙදෙස බට වර්ග වලින් පිරී පවතින නිසා බටදඩුකන්ද ලෙසින් හදුන්වනු ඇත. උස් කදු මුදුන් නිතර ම පාහේ මීදුමින් වැසි තිබෙන නිසා දුමින් බරවුනු යන අදහස ඉස්මතු කරමින් දුම්බර කදුවැටිය ලෙස හැදින්වේ.

ඈත සිට බලන විට මිට මෙලවු අතක ඇගිළි හැඩයෙන්  කදුවැටියේ මුදුන් 05 ක් දිස්  වෙන නිසා නකල්ස් කදුවැටිය ලෙසද හැදින්වේ.

මෙහි ප්‍රධාන කදුවැටියේ ඇති කදුමුදුන් කිහිපයක් නම් දෝතළුගල , කොබෙනිගල , නකල්ස් , ගොම්බානිය  වේ. 

තව ද ප්‍රධාන කදුවැටියේ උතුරු කොටසින් ආරම්භ වී ඊසාන දිග දිසාවට විහිදෙන කළුපහන , වාමාරපුගල , ලකේගල , සහ ලබුලැස්සපතන  , දුම්බානගල , ගල්තුල , ප්‍රධාන විහිදී යාම් ලෙස දැක්විය  හැක.

ස්වභාවික පාරිසර පද්ධති වශයෙන් අතිශයින් ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍ර කර ගනිමින් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කොට ඇත. 

බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකර ඇති අතර ඒ සමගම ඇමරිකාවේ හවායි දූපත් සමූහයේ දූපත් කිහිපයක් ද ලෝක උරුම ලෙස නම්කර තිබේ.

ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශයක් ලෙස  ශී‍්‍ර ලංකාවේ  නකල්ස්  රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරයේ ශාක හා සත්ත්ව ප‍්‍රජාව සම්බන්ධයෙන් සිදු කරන ලද පුළුල් අධ්‍යයනයන් පදනම් කර ගනිමින් මෙම යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට ඉදිරිපත් කර ඇත.

 ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලද ශී‍්‍රමත් රොබට් හෝරටන් හට ගරු කිරීමක් වශයෙන් හෝර්ටන් තැන්න ලෙස නම් කරන ලද පාරිසරික භූමි භාගය අතීතයේ මහඑළිය හා මැණික් තැන්න යන නම්වලින් හඳුන්වා ඇත. 1969 වර්ෂයේ දී ස්වභාවික රක්ෂිතයක් බවට පත් කළ එම ප‍්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගෙන 1988 හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලදී.

හෙක්ටයාර 28,000 ක පමණ වපසරියක  දුම්බර කඳුවැටිය විහිදී ඇත. පාරිසරික වටිනාකම හේතුවෙන්ම එය දැඩි රක්ෂිතයක් ලෙස  නම්කර තිබේ.

මධ්‍යම හා සබරගමු පළාත් මායිම් වන ලෙසට පළාත් මායිම් අතරින් විහිදී යමින් මුහුදු මට්ටමේ සිට මීටර 2244 ක් උසින් පිහිටා ඇති සමනළ කදුමුදුන මෙරට පමණක් නොව සමස්ත ලෝකයේ ම සියළුම ආගමිකයන්ගේ ගෞරව ආදරයට පාත‍්‍ර වූ භූමි භාගයකි.  සමනළ කන්ද වටා අක්කර 56,000 ක් පුරා පැතිරී ගිය වන භූමිය පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් භූමි භාගයකි. 1940 නිකුත් කළ ගැසට් පත‍්‍රයක් මගින් මෙම ප‍්‍රදේශය අභයභූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.

මෙම ස්වභාවික පරිසර පද්ධතීන් සම්බන්ධයෙන් සකසන ලද ව්‍යාපෘති වර්තාවක් සැළකිල්ලට ගනිමින් යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුව ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකර ස්වභාවික පරිසරය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.



බ‍්‍රසීලියා සමුළුවේදී ගත් මෙම තීරණය අනුව ශී‍්‍ර ලංකාවේ ලෝක උරුම සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යන ලදි. අලුතෙන් එකතුවූ ලෝක උරුම තුනම ස්වභාවික ලෝක උරුම වේ.

වටිනාකමින් ඉහළ ශාක සත්ත්ව ප්‍රජාව බහුල ව මෙහි දක්නට ලැබේ. ඉහළ සිට බලන විට ඝන හරිත වර්ණයෙන් නකල්ස් සුන්දරත්වය දිස් වේ. බොහෝ නරඹන්නන් කදු තරණය කරන්නන් සංචාරකයන් අතර මෙම කදුවැටි ප්‍රසිද්ධියට පත් ව ඇත. 

පරිසරය විනාශ කරමින් යන යුගයක මෙවන් ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම සුවිසල් ය. මේවා ලෝක උරුම ලෙස නම් කර ඇති හෙයින් රටට ලැබෙන කීර්තිය ද ඉමහත් ය.

 

මූලාශ්‍ර 

www.lankadeepa.lk

www.facebook.lk

www.sltraveler.lk

www.maubima.lk

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...