නුවරඑළියෙ සංචාරය කරන විට යා යුතුම ස්ථාන අතර බොහෝ දෙනෙක් මගහැර ගන්නා එහෙත් නරඹිය යුතු ම සුන්දර ස්ථානයක් ලෙස කඩදොර විහාරය හැදින්විය හැක. ගොඩක් අය නොදන්නා ඒ වගේ ම අවුරුද්දකට උපරිම දෙවතාවක් පමණක් දැක ගන්නට හැකි තැනක් ලෙස පෙන්වා දිය හැක. සමහර අවුරුදු වල නම් එක පාරක්වත් දැක ගැනීමට හැකියාව නොලැබේ. මෙය කොත්මලේ පියබිම්බාරාමය නමින් ද හදුන්වනු ලබයි. නමුත් මෙය වඩාත් ප්රසිද්ධ කොත්මලේ කඩදොර විහාරය නමිනි.
කඩදොර විහාරය ගැන ඉතිහාසය බලන විට කාවන්තිස්ස රජතුමාගේ කාලයේ දී මෙම ප්රදේශය කොත්මලේ නමින් ම හදුන්වා ඇත. එහෙත් කොත්මලේ ඉතිහාසය එයටත් වඩා පැරැණි ය.
කොත්මලේ පස කළු වීම පිළිබඳ ජනප්රවාදයේ සදහන් කතා වෘත්තයක් ඇත. එනම් හනුමා ගිනි තැබූ නිසා මෙලෙස පස කළු වූ බව ජනප්රවාද වල කියැවේ.
කුවේණිගේ දරුවන් දෙදෙනා කොත්මලේට පළා ආ බව ද සදහන් වේ. ගැමුණු කුමාරයා මාළිගය හැරලා කොත්මලේ කොටගේපිටියේ සැගව ජීවත් වූ බව ද සදහන් වේ. ගැමුණු කුමාරයා මහ පොළවේ පය ගසා ඉන්නට ඉගෙනගත්තේ කොත්මලේ හිටපු කාල වකවානුව තුළ බව නොරහසකි.
කාලිංග මාඝගේ කාලයේ දන්ත ධාතූන් වහන්සේ සහ පාත්ර ධාතූන් වහන්සේ සගවා තිබෙන ලද්දේ ද කොත්මලේ ප්රදේශයේ ය. ඉංග්රීසින් මහනුවර ආක්රමණය කළ විට ශ්රී වික්රම රාජසිංහ රජ්ජුරුවෝ සැගව සිටියේ කොත්මලේ ය. 1818 කැරැල්ල මොහොතේ කැප්පෙටිපොළ, කිවුලේගෙදර, කැටකැලේ වගේ නිදහස් සටනේ නායකයන් ආරක්ෂාව පතා පැමිණියේ කොත්මලේට බව ඉපැරණි මතයයි.
රජවරු , නිදහස් සටන් වල නායකයන් මෙන්ම දන්ත ධාතූන් වහන්සේ පවා රැකබලා ගත් නගරයක් ලෙස පෙන්වා දිය හැක. සංචාරක ස්ථානයක් ලෙස ගතහොත් ඉහළ වටිනාකමක් කොත්මලේට තිබේ. ( Peacock hills ) මොණරගල කන්ද, දෙහඳුකඩුල්ල, රජ පීල්ල, මහවිරුසෑය, කොත්මලේ ජලාශය, ඒ වගේම වතුර අඩු කාලෙට කඩදොර විහාරයත් නරඹන්නට හැකියාව ලැබේ.
වැස්ස වැඩි කාල වල දී කොත්මලේ ඔය පිටාර දාන නිසාවෙන් කඩදොර හා ඒ අවට ප්රදේශය අතීතයේ සිට ගංවතුරට ලක් වී ඇත. මීට පිළියමක් ලෙස 1950 සමයේ දි මෙම ප්රදේශයට වේල්ලක් සෑදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව වසර 20 කට පමණ පසු 1970 වසරේ පෙබරවාරි 28 ආරම්භ කරන ලද මහවැලි සංවර්ධන වැඩසටහනේ කඩිනම් වැඩපිළිවෙල යටතේ 1979 වසරේදී කොත්මලේ ජලාශයේ වැඩ අරඹා 1985 දී විවෘත කර ඇත. කොත්මලේ ජලාශය සාදන විට කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබිච්ච ගම් 57 වගේම පන්සල් 54 ක් යට වූ බව කියැවේ.
කඩදොර විහාරය කොත්මලේ ජලාශය සාදන විට යට වූ විහාරයක් ලෙස හදුන්වා දිය හැක. ජලාශයේ වතුර අඩු කාලයේ විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ නටඹුන් කිහිපයක් දැක බලා ගැනීමට හැක. දැඩි නියගය පවතින කාලය තුළ මෙය හොදින් දැක ගත හැක. වැඩිම කාලයක් වතුරෙන් යට වී තිබීම නිසාම වර්තමානය වන විට නටබුන් පමණක් ඉතිරි වී ඇත.
කඩදොර විහාරයට පැමිණෙන්නේ නම් ගම්පොලට පැමිණ මාවෙල බස් රථයක් හෝ දොරගල බස් රථයක හරි නැඟ ලේසියෙන් ම යා හැක. නුවරඑලිය මහනුවර පාරේ තවලන්තැන්න මංසන්ධියෙන් කොත්මලේ දෙසට තිබෙන මාර්ගයෙන් ද පැමිණිය හැක. නාවලපිටිය හරහා ද කොත්මලේට ලගා වීමට හැක.
මූලාශ්ර
www.budusarana.lk
www.lifesmile.lk
www.deshatana.com
No comments:
Post a Comment