Monday, March 28, 2022

බෝපත් ඇල්ල

 


බෝපත් ඇල්ල වනාහි සුන්දරත්වයෙන් පූර්ණ වූ කොමළියකි. බෝපත් ඇල්ල රත්නපුර , කුරුවිට නගරයන්ට ආසන්නයේ පිහිටා ඇත. සංචාරකයින්ගෙන් නිරන්තරයෙන්ම  පිරී පවතින ස්ථානයක් ලෙස බෝපත් ඇල්ල  හදුන්වා දිය  හැකිය. සංචාරකයන් ආකර්ෂණය නොමද ව දිනා ගෙන ඇති මෙම ඇල්ල නැරඹීමට මෙන් ම මෙහි දිය නෑමට ද බොහෝ දෙනෙක් උනන්දුවෙන් ඇදී එති.

මෙම දිය ඇල්ලේ උස අඩි 95ක් හෙවත් මීටර 30ක් පමණ වන බව සදහන් වේ. මෙය උපදින්නේ  කළු ගගේ අතු ගංගාවක් වන කුරු ගංගාව  මගින් බව තහවුරු කර ඇත.

බෝපත් ඇල්ල නමින් නිර්මාණය වී ඇත්තේ හොදින් ජලය ඇති කාලයට එය බෝ කොළයක ආකාරයෙන් හැඩයෙන් ජලය විහිදුවමින් කඩා හැලෙන නිසාවෙනි.

 දිය ඇල්ල  කුරුවිට අගල්වත්ත ගම තුළ සැගව පවතී.   එයට ලගාවිය හැකි මාර්ග දෙකක් ද වේ. කොළඹ රත්නපුර මාර්ගයේ හිග්ගස්හේන හන්දිය හරහා ද   අනෙක් මාර්ගය වැටී ඇත්තේ කුරුවිට පොලීසිය අසලින් ද වේ. 

ප්‍රධාන මාර්ගයේ සිට 3km ක් පමණ දුරක් ගමන් කිරීමෙන්  ඇල්ල වෙත ළගා විය  හැකිය.  GPS තාක්ෂණික සිතියම හරහා ද ස්ථානය පහසුවෙන් සොයා ගත හැක.

මෙම දිය ඇල්ල ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇත. එනම් දිය ඇල්ල දක්වා ගමන් මාර්ගය  වෙළඳසැල් වලින් පිරී ඉතිරී ඇත. කුරුවිට ප්‍රාදේශීය සභාව මගින් ඇල්ල අසල රථ ගාලක්, නැරඹුම් මැදිරියක් හා වැසිකිලි පහසුකම් සපයා ඇත. ඒ නිසා ප්‍රවේශ පත් ලබා ගැනීම අනිවාර්ය වේ.  

පටු විවරයක් හරහා ඉතාමත් රමණීය ය දර්ශනයක් විහිදුවාලමින් කඩා හැලෙන මෙම දිය ඇල්ල අවට ප්‍රදේශය ජෛව විවිධතවයෙන් ඉතා ම ඉහළ ය. 
මෙම ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5000 ක් පමණ වන අතර මෙය ලංකාවේ පුළුල් ව අධ්‍යනය කළ දිය ඇල්ලක්ද වේ.

බෝපත් ඇල්ල අසල දිය නෑම භයානක වන අතර මේ ඇල්ල අවට දිය නෑමට ගොස් මියගිය සංඛ්‍යාව 80කට වැඩි බව සදහන් වේ. ඉහළ ප්‍රදේශයේ වර්ෂාපතනය අනුව හදිසියේ දිය ඇල්ලේ වතුර පහර වේගවත් විය හැකිය. 

දිය ඇල්ල අවට කලාපයේ නිධානයක් ඇති බවට ද ජන මතයක් පවතී. මෙම අඩවියට සුමන සමන් දෙවියන්ගේ බැල්ම පවතින බව ද  සදහන් වේ. පෙර රාජ්‍ය  පාලකයින් දිය නෑමට මෙම ඇල්ල අසල කලාපය භාවිතා කළ බව ජනප්‍රවාද වල සදහන් වේ.

බොහෝමයක් දෙනා ඇල්ලේ ඉහළ කලාපයට යාමට උත්සහ කරයි. ඇල්ලේ පාද පොකුණ තෙක් පිවිස දිය ඇල්ල නැරඹීමට උත්සාහ කරයි. මෙය ඉතා අවදානම් වූ නොයා යුතු ගමනකි. මන්ද යත් සිටි හැටියේ වතුර වැඩිවීමක් සිදු වුවහොත්  එය අතිශය භයානක වන්නකි. එවන් තත්ත්වයන් නිරන්තරයෙන් මෙහි සිදු ව ඇත.  

පොලිතීන් ප්ලාස්ටික් වලින් මෙම පරිසරය විනාශ නොකරන ලෙස ද සිහිපත් කළ යුතුය.  මත් ද්‍රව්‍ය  භාවිතා  කරමින් අශීලාචාර ලෙස හැසිරීමෙන්ද වළකින ලෙස ද මතක් කළ යුතුම ය.

මූලාශ්‍ර  

www.sltraveler.lk

www.facebook.lk


Monday, March 14, 2022

වංගෙඩිගල


සංචාරකයන් සංචාරයට වගේ ම  කඳු නගින්නටත් බොහෝ කැමැත්තක් දක්වයි. තරුණ  තරුණියන්  වැඩිදෙනෙක් කදු තරණය කරන්නට පෙළඹී ඇත. කදු නැගීමට එහි සංචාරය කර සුන්දරත්වය විදීමට කැමති ආධුනික අයට නම් පහසු කන්දක් ලෙස "වංගෙඩිගල" හදුන්වා දිය හැක.  

සබරගමුව දිස්ත්‍රික්කයේ කළුපහන හන්දියට කලින් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ  ඉහළට ඇති මාර්ගයක් ඔස්සේ මෙම කඳු මුදුනට ලඟාවිය හැක.  එමෙන් ම විකල්ප මාර්ග කීපයකින් ද කඳු මුදුනට ගමන් කළ හැක. පැය දෙකක පමණ කාලයක් මෙම කන්ද තරණයට ගත වන බව සදහන් වේ.

මෙය මුනින් අත හැරවූ වංගෙඩියක හැඩයෙන් දිස් වන නිසා  වංගෙඩිගල නමින් හදුන්වා ඇත. ගැමි විස්වාසය  අනුව මෙම වංගෙඩිගල අභ්‍යන්තරයේ වටිනා නිධානයක් ඇත. 

යම් අකුරු තුනක් එක්තරා රිද්මයකට හඬ නැගීමෙන් මෙම නිධානයේ දොරටුව විවෘත කළහැකි අතර ඉන් අකුරු දෙකක් දක්වා නිවැරදිව හඬ නැගිය හැකි අයද සිටි බව කියනු ලැබේ.


වංගෙඩිගලට හිරු උදාවන ආකාරය ඉතා මනරම් දර්ශනයකි.වංගෙඩිගල සහ වංගෙඩිගල කඳු පංතිය යනු පැහැදිලිව ම එකිනෙකට වෙනස් ස්ථාන වේ.  වංගෙඩිගල 1400m උසින් ‍යුක්ත වන අතර එය පිහිටි දර්ශනීය කඳු පංතිය වංගෙඩිගල කඳු පංතියයි. එහි ඇති ඉහළ ම ස්ථානය ගොන්මොල්ලිය කන්ද නමින් හදුන්වයි. එය මුහුදු මට්ටමේ සිට උස 2034 m කි. එය ශ්‍රී ලංකාවේ 13 වන උසම කන්දයි. "බලතොඩුව"  ගොන්මොල්ලිය කන්ද අසල ඇති අනෙක් කඳු මුදුන වේ. 


වංගෙඩිගල මුදුනට ළඟාවන සංචාරකයන් හට සුන්දර දසුන් රැසක් දැක බලා ගත හැකි වේ. පළමු ව  ඇස පිනවන දර්ශනය සුන්දර බඹරකන්ද දිය ඇල්ලයි. තරමක් විමසිලිමත් ව බලන විට ලංකා ඇල්ලේ ඉහළ කොටස ද වංගෙඩිගල මුදුනේ සිට  නැරඹිය හැකිය. 

 පැහැදිලි අහසක් සහිත දිනකදී වංගෙඩිගල සිට නිරිතදිග අන්තය බලන විට වෙරළබඩ තැන්න සහ කඳුකර කලාපය වෙන්වන සීමාව ඉතාමත් පැහැදිලිව දැකිය හැක. එම දර්ශනය නම් සිත් වසඟ කරන අලංකාරත්වයකින් යුතු වේ. 

වංගෙඩිගල අසල කඳවුරු ගැසීමට උචිත  භූමියක් නොවුන ද ගොන්මොල්ලිය කන්ද පාමුලට වන්නට කඳවුරු ඉදිකළ හැක.  සුළං තද කාලයට නම් එම ස්ථානය යොදා ගැනීම අවධානම් සහිත වේ.  සුළං කාලයට වංගෙඩිගල සහ ගොන්මොල්ලිය කඳු ආශ්‍රිත ව සිට ගැනීමට පවා අපහසු තරම් දැඩි  සුළඟක් පවතින බව කිව යුතුමය.  

ගොන්මොල්ලිය කන්දට යන අතරමග වනය තුළට වන්නට ද කඳවුරු භූමියක් ඇති අතර සුළං කාලයට එම ස්ථානය කදවුරු සදහා වඩාත් සුදුසු වේ.  වංගෙඩිගල කඳු පංතිය ආශ්‍රිතව ජලය සපයාගත හැකි තැනක් නොමැති බව හොදින් මතක තබා ගත යුතුය. එ නිසා අවශ්‍ය තරමට ජලය රැගෙන යාමට සිහි තබා ගත යුතුය.

 ඈතට  ගොනෙකුගේ මොල්ලියක හැඩයෙන් දිස් වන නිසා ගොන්මොල්ලිය කන්ද  නමින් හැඳින්වේ. වංගෙඩිගල සිට ගොන්මොල්ලිය කඳු මුදුන තෙක් පැහැදිලි අඩි පාරක් දැකිය හැක. ගොන්මොල්ලිය කඳු මුදුනට ළඟා වූ විට ලෝකාන්තය සහ හෝර්ටන් තැන්න ඉතා පැහැදිලිව දැකගත හැකිය. කඳු මුදුන ඉතාම පටු නිසා ප්‍රවේශම ගැන අවධානය යොමු කර යුතුය.

සංචාරය කර පසු කිසිවක් ඉතිරි නොකර පරිසරය පවිත්‍ර ව  තබා ඒම වගකීම බව ද සිහි තබා ගත යුතුය. 

මූලාශ්‍ර 

www.facebook.com

www.youtube.com

www.tharanayalk.blogpost.com


Thursday, March 10, 2022

ඇඩිෂම් බංගලාව



සුන්දර හපුතලේ නගරයේ සිට 4km පමණ ගමන් ගත් විට ශාන්ත බෙනඩික්ට් නිකායට අයත් පූජකරුවන් විසින් පවත්වා ගෙන යනු ලබන පැරණි පන්නයේ මෙම  තාපසාරාමය හමු වේ. හරිත වර්ණ කඳුවැටි අතර නිසලව වැජඹෙන ඇඩිෂම් බංගලාව සංචාරක නෙත් සිත් ආකර්ෂණය කර  ගන්නා ‍සොඳුරු ස්ථානයකි. 


ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් විසින් මෙය ගොඩනගා ඇත. 1869 දී ඔහු උපත ලද්දේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයට අයත් ඇඩිෂම් නම් සොඳුරු ගම්මානයේ යි.

එංගලන්ත පල්ලියේ පූජකයෙකු ලෙස කටයුතු කළ  හෙන්රි මොන්ටේගු විලියර්ස් තෝමස්ගේ පියා ය.  ප්‍රභූ පෙළපතකින් පැවතෙන ඔහුගේ මව වික්ටෝරියා රසල් ආර්යාව දෙවරක් ම බ්‍රිතාන්‍යයේ අගමැති තනතුර දැරූ ජෝන් රසල්ගේ දියණිය යි.

එංගලන්තයේ පොදු පාසලකින් අධ්‍යාපනය හදාරන ලද ඔහු පවුලේ අනෙක් අය මෙන් ව්‍යාපාරික හෝ දේශපාලන වෘත්තියන් හි නිරත නොවී එවකට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ ලංකාවට පැමිණෙයි.  වගාකරුවෙකු ලෙස කටයුතු කිරීමට ඔහු පැමිණ ඇත.

බොගවන්තලාවේ එල්බැද්ද වතුයායේ පුහුණු වගාකරුවෙකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීමට  ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් කටයුතු කරන ලදි. 

1896 දී තේ වැවිලිකරුවෙකුගේ දියණිය වූ එවලින් හෝප් වෝකර් හා විවාහ විය. ඔවුහු බ්‍රසීලය බලා සංචාරය කර  වසර 04 කට පසු  නැවතත් ලංකාවට පැමිණෙයි.  දික්ඔය සමූහයේ ඔහුගේ ම තේ වත්තක් ආරම්භ කිරීමට ඔහුට හැකියාව ලැබුණි.

1905 දී කොළඹ නගරය කේන්ද්‍ර කර ගෙන වෙළඳාමේ යෙදෙමින් ජෝර්ජ් ස්ටුවර්ට් සමූහය සමග එක් වූ තෝමස් 1928 දී එහි සභාපති ලෙස පත් ව 1949 දී විශ්‍රාම යන තෙක්  එම ධූරයේ කටයුතු කළ බව සදහන් වේ.

එංගලන්තයට සමාන ප්‍රදේශයක බංගලාවක් ඉදිකිරීමේ ආශාවක් ඔහුට පැවතිනි. කඳුකර ප්‍රදේශයක එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිවසක් තැනීමට තෝමස්ට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු මෙරට උස් ම කඳු මුදුන් අතර දර්ශනීය වනාන්තරයක් මධ්‍යයේ පිහිටි හපුතලේ තෝරා ගන්නා ලදි.   

කෙන්ට් ප්‍රාන්තයේ ලීඩ්ස් මාළිගයට තරමක් සමාන වන ඇඩිෂම් බංගලාව එංගලන්තයේ තියඩෝර් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කර ඇති අතර එය ශක්තිමත් කළුගල් බිත්ති හා උසින් වැඩි  පටු කවුළු පියන්පත් සහිත ඉංග්‍රීසි පන්නයේ දුම් කවුළුවලින් සමන්විත වූවකි.

ආර්. බූත් සහ එෆ්. වෙබ්ස්ටර් නම් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මග පෙන්වීම යටතේ 1929 වර්ෂයේ දී ගොඩ නගන්නට ආරම්භ කළ  ඇඩිෂම් බංගලාවේ වැඩ කටයුතු වසර දෙකක දී පසු ව නිම වන විට එය සෑම අතින් ම ඉංග්‍රීසි නිවසකට සමාන විය. ඇඩිෂම් බංගලාවේ වහළ සඳහා යොදගෙන ඇත්තේ බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක දැවයෙන් සැකසූ පැතලි උළු කැට යි.

 නිවසේ සෑම දොරක් ම කවුළුවක් ම පියගැට පෙළක් ම මෙන් ම පොළව ද බුරුම තේක්ක යොදා ගනිමින් නිමවා තිබේ.   ඇඩිෂම් බංගලාවේ පැවති ගෘහ භාණ්ඩ රිදීමය පිඟන් භාණ්ඩ සහ බුමුතුරුණු සියල්ල එංගලන්තයෙන් ආනයනය කර ඇත.

විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ඇඩිෂම් වතුයාය අක්කර 10 ක් පමණ වන අතර එය  බංගලාව මෙන් ම සුන්දරත්වයෙන් අනූනය.  හොදින් නඩත්තු කරන ලද ගෙවත්ත මල් වලින් පිරි අතර එංගලන්තයෙන් ගෙන්වන ලද රෝස පැළ එහි අලංකාරය වැඩි කරයි.  

හපුතලේ පවතින සෞම්‍ය කාලගුණය නිසා එංගලන්තයෙන් ගෙනා ස්ට්‍රෝබෙරි සහ ඇපල්  ඇඩිෂම් වතුයායේ සරුව වැඩුණු බවට ද සදහන් වේ.

සුන්දරත්වයේ නවාතැනක් වූ ඇඩිෂම් බංගලාව යටත් විජිත කාලයේ ලංකාවේ ප්‍රභූන් නිතර පැමිණි  ස්ථානයකි.

 විලියර්ස් ආර්යාව ආගන්තුක සත්කාරය සඳහා ඉතා ළැදි කාරුණික කාන්තාවක් වූ අතර ඇය සිතුවම් ඇඳීමට ද  ආශාවක් දක්වා තිබේ. ඇය විසින් අඳින  තෙල් සිතුවම් සහ  දිය සායම් සිතුවම් බොහෝමයක් අදටත් ඇඩිෂම් බංගලාවේ බිත්ති වල දක්නට හැකිය.

විලියර්ස්ට පුතුන් දෙදෙනෙකු සිටිය ද ඔවුන් දෙදෙනා ම ඔහුට පෙර මිය ගොස් ය. මේ හේතුවෙන් 1949 දී ඔහු ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ සභාපති ධූරයෙන් විශ්‍රාම ගෙන යළිත් එංගලන්තය බලා නැව් නැගීමට පෙර ඇඩිෂම් බංගලාව එහි ගෘහ භාණ්ඩ ද සමග ම සේදවත්ත කම්හලට අලෙවි කර ඇත.
ඉන්  වසර 10 කට පසු ව 1959 දෙසැම්බර් 21 වැනි දින ඔහු මිය ගියේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ දී ය. 

පසු ව 1961 වර්ෂයේ දී රෝමානු කතෝලික පල්ලිය ඇඩිෂම් බංගලාව සහ වතුයාය මිලට ගෙන එය තාපසාරාමයක් බවට පත් කරන ලදි. එහි පරිපාලන කටයුතු සිදු වුයේ ශාන්ත සිල්වෙස්ටර් නිකායට අයත් පූජකවරුන් විසිනි.

ඇඩිෂම් බංගලාව තාපසාරාමයක් බවට පරිවර්තනය කළ ද පැවති සුන්දරත්වය ඒ ලෙසින් ම රැක ගැනීමට පූජකවරුන් කටයුතු කර තිබේ. වර්තමානයේ දී ඇඩිෂම් බංගලාව ක්‍රියාත්මක වන්නේ ශාන්ත බෙනඩික්ට් නිකායට අයත් පූජකවරුන්ගේ තාපසාරාමයක් ලෙස යි.

නිවාඩුවකට අපූරු  තැනක් ලෙස මෙය හදුන්වයි.

 එය සංචාරකයන් සඳහා ද විවෘත ව පවතී. ඇඩිෂම් වතු යායේ වැවෙන පලතුරුවලින් සකසන ලද ස්ට්‍රෝබෙරි ජෑම්, දොඩම් මාමලේඩ්, පේරවලින් සැකසූ ජෙලි සහ නැවුම් පලතුරු කෝඩියල් මිල දී ගැනීමේ හැකියාව ද එහි ගමන් කරන සංචාරකයන්ට ලැබේ.


ඕනෑම අයෙකුට  ඇඩිෂම් බංගලාවේ නවාතැන් ගැනීමට ද හැකියාව පවතී. 

ඇඩිෂම් බංගලාවේ නවාතැන් ගැනීමට කැමති නම් අවම වශයෙන් සති තුනකට පෙර ඉඩ වෙන් කරවා ගත යුතු ය. ඇඩිෂම් බංගලාව සාමාන්‍ය නවාතැන්පොළක් නොවන නිසා එහි වරකට නවාතැන් ගත හැක්කේ 12 දෙනෙකුට පමණි. 

පාසල් නිවාඩු කාලයේ සතියේ දිනවල ද ඇඩිෂම් බංගලාව මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වුවත් අනෙකුත් කාලයන් හි එය නැරඹිය හැක්කේ සති අන්තයේ සහ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල උදෑසන 9 සිට සවස 4.30 දක්වා පමණි.

සුන්දර හපුතලේ සංචාරය කරන්නන්ට තම සංචාරයට එකතු කර ගත හැකි තවත් අපූරු තෝතැන්නක් ලෙස මෙය හදුන්වා දිය හැක.

මූලාශ්‍ර 

https://roar.media

www.facebook.com

www.yamu.lk

Monday, March 7, 2022

මාකෙළි ඇල්ල කොමලිය

 බස්නාහිර පළාත තුළ හමුවන සීමිත සංචාරක ස්ථාන අතර මධ්‍යම කඳුකරයේ දිය ඇල්ලකට  සමානත්වයෙන් යුතු සුන්දරත්වයෙන් අනූන  " මා කෙළි ඇල්ල " සංචාරකයන්ගේ නෙත් සිත් වසගයට පත් කරන ලද්දකි. කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර දිය ඇල්ලක් වන  "මාකෙළි ඇල්ල"  මනරම් දිය කොමළිය තරමක් අප්‍රකට ව පැවතිය ද නූතනයේ තරුණ සංචාරකයන් විසින් කරලියට ගෙනෙන ලදි.  පාහියන්ගල සංචාරයේ යෙදෙන්නේ නම් මෙම දිය ඇල්ල නැරඹීමේ අවස්ථාව පහසුවෙන් උදාකර ගැනීමට  හැකිය.


බුලත්සිංහල හරහා බුලත්සිංහල -පරගොඩ මාර්ගයේ පරගොඩ පසු කර මෝල්කාව හන්දියට පැමිණ කෙලින් කන්ද ප්‍රදේශයට ගමන් කිරීමේ දී මෙම දිය ඇල්ල නැරඹිය හැක.  කොළඹ මාර්ගයේ අගලවත්තට ගොස් කුකුළේ ගඟ ව්‍යාපෘතියටත් පැමිණ  කුකුළේ ගඟ සිට කිලෝ මීටර 3ක් පමණ තරම් දුරින් පිහිටි මාකෙළි ඇල්ලට පහසුවෙන්ම ලඟා විය හැක.

නෙළුකැටිය රක්ෂිත වනාන්තරය හරහා ගලා බසින මාකෙළි දොළ   මෙලෙස මාකෙළි ඇල්ල බවට පරිවර්තනය වේ. ඇල්ල පිහිටි ප්‍රදේශය ජනශුන්‍ය නිහැඩියාව අතරින් ජල දහරේ හඩ පමණක් සවන් වැකෙන හරිත වර්ණයෙන් වෙලී ගිය මනරම් ස්ථානයකි. ඇල්ල නරඹන සංචාරකයන් හැරුණ විට වෙනත් වාහනයක් හෝ මිනිස් වාසයක් එම මාර්ගයේ දැකිය නොහැකිය. මාර්ගය  දෙපසෙහිම හරිත වර්ණ ගහකොළ වලින් අනූන පරිසරය සිසිල් සුවදායක බවක් ගුප්ත බවක් මවයි.  

සංචාරක කටයුතු අමාත්‍යාංශය විසින් සවිකල පුවරුවෙහි මාකෙළි ඇල්ල පිලිබඳව විස්තර සඳහන් වේ. පුරාවෘත්තවල දැක්වෙන ආකාරයට නම් මාකෙළි ඇල්ල පිහිටි පාලින්ද නුවර  වීදිය බණ්ඩාර කුමරු ප්‍රාදේශිය පාලකයෙකු ලෙස ඔටුණු පැළඳි නුවරයි.


උසින් 21m පමණ වන දිය ඇල්ලෙන් කඩා හැලෙන සුදු පැහැති  ජල ධාරාව ඇල්ල පහලට වැටී අවට පරිසරයට ජල බිඳු ඉසිමින් ගලා යන අයුරු  කෙතරම් බලා සිටිය ද නිමක් නොවේ.  දිය ඇල්ල නැරඹීමට  සකස් කර ඇති ස්ථානයෙන් මදක් ඈතට ගිය පසු නෑමට සුදුසු ස්ථානයක් ද හමු වේ.

මාකෙළි ඇල්ලේ සුන්දරත්වය වගේම එහි ඇති අනතුරුදායක බවත් ඉතාම ඉහළය. මේ වන විට මෙම ස්ථානයේ දී ජීවිත තිස් ගණනක් බිලි ගෙන ඇති බැවින් සංචාරකයන් තම පරිස්සම ගැන කල්පනාකාරීව වග බලා ගත යුතුය. 

උසින් 21m ක් පමණ වන මෙම දිය ඇල්ල මඳක් දුර සිට නරඹන්නෙකුට මනාලියකගේ වේලයක් ආකාරයෙන් දිස්වේ. මෙම දිය ඇල්ල ආශ්‍රිත පෙදෙස අතීතයේ දී පවා ගිරි දුර්ග,ජල දුර්ග වලින් සමන්විත පෙදෙසක් වූ බැවින් එවක යුධමය අවස්ථා වලදී ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස ද භාවිත කර ඇත. මෙම දිය ඇල්ල ආශ්‍රිත ජල පෝෂිත  පෙදෙස වර්ග කිලෝමීටර 11 කට හිමිකම් දරයි. මෙම ප්‍රදේශයට නිරිත දිග මෝසම මගින් තද වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය 4000mm පමණ වේ.

ඉතාම සුන්දර පරිසරයක් වන මාකෙළි ඇල්ල අවට රක්ෂිතය සංචාරකයන්  විසින් ගෙනයන පොලිතින් ආදී අපද්‍රව්‍ය තැන තැන දමා අපවිත්‍ර නොකිරීමට වගබලා ගන්නේ නම් වඩාත් වටනේය.

මූලාශ්‍ර 

www.thaksalawa.lk

www.facebook.lk

http://vidya-gaweshana.blogpost.com

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...