Wednesday, May 25, 2022

නිලාවේලි වෙරළ තීරය

සුන්දර ස්ථානයන්ගෙන් අනූන මනරම් දිවයිනක් ලෙස ලංකාව ඈත අතීතයේ සිට ම  ලෝකයේ ම ආකර්ශනය දිනාගත් පුරවරයකි.  මෙරටට විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය  ලැබෙන ප්‍රධානම හේතුවක් ලෙස  මෙරටේ පිහිටා තිබෙන ලස්සන සුන්දර වෙරළ තීරයන් හදුන්වා දිය හැකිය. ලංකාවේ ජීවත් වන ඇතමුන්වත් මෙතරම් ලස්සන මුහුදු වෙරළවල් මෙරට තිබෙන බව නොදනී.  එම සුන්දරම වෙරළවල් අතරින් නිලාවේලි වෙරළ තීරයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.

නිලාවැලි වෙරළ තීරය නැගෙනහිර පළාතේ ඉතාම දර්ශනීය වෙරළ තීරයන්ගෙන් එකකි. එම නොගැඹුරු මුහුදු වෙරළ තීරය සංචාරකයන්ට ඉමහත් අත්දැකීම් ගොන්නක් ලබා දෙයි. නිලාවේලි වෙරළ තීරය දකුණු ආසියාවට අයත් පිරිසිදු සුදු වැලි සහිත වෙරළ තීරයක් ලෙස ද හැඳින් වේ.


නිලාවේලි වෙරළ තීරය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය නගරයේ සිට පුල්මුඩේ මාර්ගයේ කි. මි. 15ක් පමණ දිගට ය.  ත්‍රිකුණාමලය නගරයේ සිට විනාඩි 30 ක පමණ ගමනකින්  එම ස්ථානයට ළගා වීමට හැකියාව ඇත. වෙරළ තීරයේ බොහෝ තරු පංති නවාතැන් ද පවතී. රසවත් මුහුදු ආහාර වේලක් ගැනීම සඳහා නිලාවේලි ආශ්‍රිත මුහුදු තීරය අවටින් පහසුව සැපයේ.  


මෙහි ප්‍රසිද්ද  පරවි දූපතේ සංචාරය සදහා බෝට්ටු සවාරියක් ලබා ගැනීමට ද හැකියාව පවතී.  ලංකාවේ ඉතාම වටිනා වස්තුවක් ලෙස නිලාවේලි වෙරළ තීරය  හඳුන්වා දීමට හැක. යුධ ගැටුම් පැවතීම නිසාවෙන්  සංචාරකයින්ට බොහෝ කාලයක් මෙය තහනම් ව පැවතිනි. එය යළිත් සංචාරකයින් සඳහා විවෘත කොට ලක්දිව සොඳුරුත ම වෙරළක සුන්දරත්වය විඳ ගැනීමට සියල්ලන්ටම අවස්ථාව උදා කර දී ඇත.


ත්‍රිකුණාමල නගරයේ සිට කිලෝමීටර් 10 ක් පමණ උතුරු දෙසින් පිහිටා ඇති මෙහි දර්ශනීය බව වඩාත් ඉස්මතු වන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා වන කාල සීමාවේ දී ය.

කොරල් පර බිඳී යාමෙන් සැදි සුදුපැහැ වැල්ලෙන් සපිරි නිලාවේලි වෙරළ තීරය  උප්පුවේලි නම් කුඩා ගම්මානයෙන් ආරම්භ වී කුච්චවේලි  ළඳු කැලෑ දක්වා විහිදී  යයි.

නිලාවේලී වෙරළ තීරයට නැගෙනහිර දෙසින් පිහිටි පරෙවි දූව  ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටත ම නොගැඹුරු දියේ කිමිදුම් ස්ථානයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන් යොදා ගනී . 


ජල ක්‍රීඩා සඳහා ඉතා යෝග්‍ය නිලාවේලි මුහුදු තීරයේ දී මනා ව සංරක්ෂණය වූ ජීව පරයක්  දැක ගැනීමට හැකි අතර එය වර්ණවත් නිවර්තන මසුන් එකතුවකට ද නවාතැන් සපයයි.


පාසිකුඩා වෙරළ තීරය


පාසිකුඩා වෙරළ තීරය ද සංචාරක තෝතැන්නකි. කොළඹ සිට පොළොන්නරුවට ගොස්‌ එතැනින් මනම්පිටිය පාලම පසු කර වැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට ගොස්‌ එහි පොලිස් ස්ථානය අසලින්  වමට හැරී වඩුක්‌කොඩෙයි පසුකළ පසු පාසිකුඩා මුහුදු තීරය දිස් වේ. 

මෙහිදී දරුවන් සමග සැමට  බියකින් තොරව  මුහුදේ  නිදහසේ දිය නෑමට පවුලේ අය සමඟ විනෝද වීමට කදිම මුහුදු තීරය ලෙස මඩකලපුවේ පාසිකුඩා වෙරළ තීරය හදුන්වා දිය හැක.  

මහ මුහුදේ කිලෝමීටරයක් පමණ කිසිදු අනතුරකින් තොරව ඇවිද යන්නට හැකියාව තිබේ. පාසිකුඩා සහ කල්කුඩා යනු ළඟ ළඟ පිහිටි මුහුදු බොකු දෙකකි. කොරල් පර මෙන් ම කැස්‌බෑවනුත් මෙහි දී දැක ගත හැකිය.  පාසිකුඩා වෙරළ තීරයේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරක් දක්වා ස්වාභාවික දිය තටාකයක් ලෙස පිහිටා ඇත. 

පාසිකුඩා මුහුදු බොක්කට මුහුණලා පිහිටි මුහුදු වෙරළේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරින්  ශක්තිමත් කොරල්පර වැටියක් පිහිටා ඇත. මේ කොරල් වැටිය නිසා මහ මුහුදේ සිට එන විශාල දිය රැලි පාසිකුඩා මුහුදු වෙරළට කඩා නොවදී. මේ නිසා ම සංචාරකයන්ට රිසි සේ මහ මුහුදේ විනෝද වන්නට අවස්ථාව උදා වී ඇත.

 මේ ශක්තිමත් කොරල් වැටිය පාසිකුඩා මුහුදු වෙරළේ සිට බලන විට මද දුරින් පිහිටා තිබේ. මේ නිසා පාසිකුඩා වෙරළ තීරය සංචාරකයන්ට අපූරු තෝතැන්නකි. උදෑසන සිට දිවා කාලය දක්වා පවතින දැඩි අව්රශ්මිය නිසා මේ ස්ථානයේ සිටීම මදක් අසීරු වේ. 

සවස් කාලයේ දී ඉර බසින දර්ශනය නරඹන්නට හා තම විඩාව නිවාගැනීමට බොහෝදෙනෙක් මෙම ස්ථානයට පැමිණේ.



මාබල් බීච්


 ත්‍රිකුණාමල වරායේ ම එක වෙරළ තීරයක්‌ මෙලෙස හදුන්වයි. මෙය ජල තටාකයක්‌ ලෙස පවතී. ගැඹුරු නැති වැලිතලාව හා ගල්පර වලින් අනූන වෙරළ තීරය කි. හිරු රැස්  ජල තලය මතට වැටී  අපූරු රටාවන්  නොගැඹුරු ජලතලයේ සිත්තම් කරයි. එය මාබල් අල්ලා ඇති ආකාරයට දිස් වේ.මෙය ලංකාවේ එලෙස පවතින එකම වෙරළ වේ. මේ නිසා ම එය "මාබල් බීච්”  නමින් හදුන්වයි.

කොට්‌ටියාරම් බොක්‌කේ සාම්පූර් සිට ත්‍රිකුණාමලය  දක්‌වා වු වක්‍රයේ හරි අර්ධය වන තැන මෙම “මාබල් බීච්” පිහිටා ඇත. එහි සිට රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය  හා ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරයත්  දැක බලා ගත හැකි වේ.

එමෙන් ම ත්‍රිකුණාමල වරායේ විවරය හොදින් දැකගත හැකිය. “එළිෆන්ට්‌  අයිලන්ඩ්” සහ එලිෆන්ට්‌ තුඩුවත් පෙනේ. වෙරළ ආසන්නයේ ම නාවික යාත්‍රාත් දැකගත හැකිය. 


“මාබල් බීච්” හි සංචාරකයන්ට වෙන් වූ අය කිරීමකින් තොරව ඇතුළු විය හැකි පොදු වෙරළ කලාපයක් සහ ගුවන් හමුදාව මගින් පාලනය කෙරෙන නිවාඩු නිකේතනයක්‌ සහිත අවසරලත් පුද්ගලයන්ට පමණක්‌ ඇතුළු විය හැකි කොටසකුත් තිබේ.

 

ආරුගම්බේ වෙරළ 


ආරුගම් බොක්ක  ආරුගම්බේ වෙරළ බොහෝ ප්‍රසිද්ධියට පත් වෙන්නේ  සර්ෆින්ග් නිසාවෙනි.  රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාව සඳහා හොඳම වඩාත් සුදුසු ම වෙරළ තීරයක් විදියට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා ගැනීමට  ආරුගම් බොක්ක මුහුදු තීරය සමත් ව ඇත. විදෙස් සංචාරකයන් බොහෝ ප්‍රමාණයක් සර්ෆින්ග් වල යෙදීමට කැමත්තක් දක්වයි. ඔවුන්ට මෙය වඩාත් විනෝදාස්වාදය ගෙනදෙයි. ඔවුන් මෙරට ට වැඩි වශයෙන් පැමිණෙන කාලයට දෙස් විදෙස් සංචාරකයන්ගෙන්  ආරුගම්බේ වෙරළ තීරය පිරී ඉතිරේ.  



නිස්කලංකව ඇවිදින්න යන්න නම් ආරුගම්බේ සුදුසු වෙන්නෙ සංචාරකයන්ගෙන් තොර කාලයේ දී ය. රළ මත ලිස්සා යෑමට සුදුසු මෙවන් මුහුදු තීරයක් තවත් නොමැති තරම් ය.  පීහිනීමට නෑමට හොඳ වෙරළ ඉසව් ද මෙහි වේ. සර්ෆින් කරන්නට තියෙන හොඳම ස්ථානය ආරුගම්බේ ලෙස හදුන්වා දිය හැක.

මූලාශ්‍ර 

www.facebook.lk

www.srilankatravelpages.com

www.gasma.lk

www.sinhalanews.lk

www.silumina.lk

 

Monday, May 23, 2022

මාළිගාවිල බුද්ධ ප‍්‍රතිමාව හා දඹේගොඩ බෝසත් පිළිමය

මාළිගාවිල බුද්ධ ප‍්‍රතිමාව

සුන්දර දර්ශනයන්ගෙන් හෙබි ලංකාද්වීපයේ දර්ශනීට ස්ථාන අතුරින් මොණරාගල දිස්ති‍්‍රක්කයේ බුත්තල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි  මාළිගාවිල ඓතිහාසික වටිනාකමකින් යුත් සංචාරක ආකර්ෂණය අනූන වූ භූමි භාගයක් ලෙස හදුන්වා දිය හැක.

මොණරාගල සිට වැල්ලවාය දක්වා මාර්ගයේ කුඩුකන් ඔය මංසන්ධියෙන් වමට ගොස් ඔක්කම්පිටිය නගරයේ සිට කිලෝ මීටර් 7ක් පමණ පසු කළ විට මෙම ස්ථානයට ළඟා විය හැක. අනෙක් මාර්ගය ලෙස බුත්තල නගරයේ සිට රජමාවත, කතරගම මාවත මාර්ගයේ වම්පසට ඇති ඔක්කම්පිටිය – නිදැල්ල මාර්ගයේ කිලෝ මීටර් 10ක් පමණ ගමන් කළ විට මෙම ස්ථානයට ළඟා විය හැක.

ඌවේ පළාතටත් පහතරට වියළි කලාපයටත් අයත් දේශගුණික ලක්ෂණ වලින් සමන්විත පරිසරයක්  මාළිගාවිල දැකිය හැක. පුරාවිද්‍යාත්මක භූමිය ස්භාවික වන රක්ෂිත හා කඳු වළලූ කිහිපයකින් මෙම භූමිය වට වී තිබේ.  අක්කර 200ක පමණ භූමි පරිසරයක විහි දී ඇති මෙම ස්ථානය යාල වන රක්ෂිතයේ උතුරු මායිමේ හා මධ්‍ය කඳුකරයේ ගිණිකොණ බෑවුමේ පිහිටා ඇත.

මාළිගාවිල භූමිය වියළි කලාපයට අයත් වූවත් පරිසර පද්ධතිය තෙත් කලාපයට ආවේණික වූ භූ භෞතික ලක්ෂණවලින් යුතු ඉහළ තත්වයක් පිළිබිඹු කරයි. වියළි කලාපයට ආවේණික දුර්ලභ ශාක හා සත්ව ගහණයකින් මෙය සමන්විත වේ.  මෙතුලින් සදාහරිත වනාන්තරයක සෞන්දර්යය ඉස්මතු වේ. 

මෙහි ස්භාවික සෞන්දර්යය ඉහළ මට්ටමක පවතින නිසා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට නතු ව ඇත. ඈත  අතීතයේ සිට  මාළිගාවිල භික්ෂුන් වහන්සේලාට ‌යෝග්‍ය වූ ස්ථානයක් බව ඉතිහාසගත තොරතුරු සාක්ෂි සපයයි. මෙම භූමිය තුළ පිහිටා ඇති විවිධ කටාර ලෙන් හා ශිලා ‌ලේඛන තුළින් එම සාධකය සනාථ වේ. වංශකතා මූලාශ‍්‍රවලට අනුව මාළිගාවිල  විහාරය අරියකාරී විහාරයක් ලෙස හඳුනා ගෙන ඇති අතර ආර්යකර විහාරය නමින් ද ව්‍යවහාරයේ සඳහන් ව ඇත.


මහාවංශයේ සඳහන් තොරතුරු මඟින් ද මෙම ස්ථානය පිළිබඳ වැදගත් සාධක කිහිපයක් සඳහන් කළ හැක. ජනප්‍රවාද අනුව රුහුණු කුමාරයකු විසින් කණගාමය නම් ස්ථානයක දී ඉදිකරන ලද පිළිමයක් ලෙස මාළිගාවිල  මහාවංශයේ සඳහන් වේ.  එහි දී වංශකතාකරු අරියාරි විහාරයට මල්වතු නම් ගම පූජාකර එහි සිත්කළු පිළිමයක් හා පිළිම ගෙයක් කරවූ බව විස්තර කියවේ.

අග්ගබෝධි රජු කණගාමයෙහි දෘශ්‍යබාධිත රෝගින් සඳහා ආරෝග්‍ය ශාලාවක් ද එහි ම පටිවා විහාරයේ විශාල බුදුගෙයක් ද ගලින් නෙලන ලද බුදුපිළිමයක් ද සාදවන ලද බව මූලවංශයේ සඳහන් වේ. මාළිඟාවිල බුදු පිළිමය ස්ඵටික හුණු ගලින් නිම කරවන ලද්දකි. මෙම පිළිමය අඩි 45ක පමණ උසකින් සමන්විත වේ. ආන්ද්‍රා ශෛලයට අනුව නිර්මාණය කරන ලද මෙම පිළිමය මෙරට පිහිටි උසම හිටි පිළිමය ලෙස ද සැළකේ. 

සමභංග ඉරියව්ව හා අභය මුද්‍රව නිරූපනය කෙරේ. ඒකාංශ චීවරය රැළි සහිත ව හා අඩවන් නේත‍්‍රා සහිත වේ. සමචතුරදස‍්‍රාකාර හැඩයෙන් යුත් ගඩොළින් කළ සුවිශාල ප‍්‍රතිමා ගෘහයකි. මෙය ගෙඩිගේ සම්ප‍්‍රදායට අයත් පිළිම ගෘහයක් ලෙස සැළකේ. මෙම පිළිම ගෘහය තුළ පද්ම පීඨයක් සකසා මාධ්‍යයෙහි පිළිමය පිහිටුවා ඇත. 

ප‍්‍රතිමා ගෘහයට නැගෙනහිරින් ප‍්‍රදක්ශිනා පථයක්, පියගැටපෙළ ත්‍රිත්වයක් , සඳකඩ පහනක් සහ මුරගල් දෙකකී. ප‍්‍රතිමාව හා පිළිම ගෘහය වටා වැලි ඇතිරු මළුවකි. එහි පාදෝවනයක් ස්ථාපිත කර ඇත. මෙහි ශේෂ වී ඇති වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුව පිළිම ගෘහය වටා ප‍්‍රාකාරයක් ද තිබී ඇති බව සදහන් වේ. 

මෙම පිළිමය 1991 වසරේ දී රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලදී. 1991 වසර වනවිට පිළිමය කොටස්වලට කැඩී කැබලිව තිබී ඇත.

 මාළිගාවිල බුදු පිළිම ශ්‍රී ලංකාවේ වූ පැරණි බුද්ධ ප්‍රතිමා අතුරින් විශාලතම අනාබද්ධ (සම්පූර්ණයෙන් ම වෙනම නෙළන ලද) ශෛලමය බුද්ධ ප්‍රතිමාව ලෙස මාළිගාවිල බුද්ධ ප්‍රතිමාව සැලකේ. 


              දඹේගොඩ බෝසත් පිළිමය

මාළිගාවිල බුද්ධ ප‍්‍රතිමාවට නැගෙනහිර දෙසින් දඹේගොඩ බෝසත් පිළිමය පිහිටා ඇත. හතරැස් මාලක 5කින් යුත් ඉහළ කඳු මස්තකයේ මෙම පිළිමය පිහිටා ඇත. මෙම බෝසත් පිළිමය ද ලංකාවේ මූර්ති නිර්මාණයෙහි විශේෂත්වයකට උරුමකම් කියනු ලබයි. වංශ කතාවේ සඳහන් පරිදි අග්ගබෝධි රජුගේ සොහොයුරු වු ‌දෙවන දප්පුල රජු විසින් නිමවන ලද මෙම පිළිමය නිර්මාණය කිරීමට උපයෝගී කරගෙන ඇත්තේ ස්ඵටික හුණුගල් හෙවත් ලවණගිරි පාෂාණයයි.


දඹේගොඩ බෝසත් පිළිමය චූලවංශයේ 45 වන පරිච්ඡේදයේ සඳහන් පරිදි මාලවත්ථ නම් ග‍්‍රමයේ අරියකාරී විහාරයට පූජා කළ අතර එම ස්ථානයේ රියන් 15ක් උස මෛත‍්‍රී පිළිමයක් කර වු බව සඳහන් වේ. මෙවැනි විශාල ලෙස හුණු ගලින් නිමවන ලද පිළිමයක් වෙනත් ස්ථානයක නිර්මාණය කිරීමෙන් පසු එම ස්ථානයට රැගෙන ආ බව විද්වතුන්ගේ මතය වේ.   මෙම පිළිමය කිසිදු ආධාරකයක් නොමැතිව නිමවා තිබීම අති විශිෂ්ට  තාක්ෂණ ශිල්පයක් ලෙස සැළකිය හැකි ය.

සමභංග ඉරියව්වෙන් හිටි ඉරියව්ව නිරුපිත අතර පීඨය මත පිළිමය පිහිටුවා ඇත. ජටා මකුටය, ශිර්ශාභරණ, පැළඳ සිටින ධ්‍යාන මුද්‍රවෙන් යුත් බුද්ධ රූපයක් ජටා මකුටයේ ඉහළ නිර්මාණය කර ඇත. උඩුකය නිරුවත් වන අතර රාජාභරණ මෙන් ආභරණ පැළඳ සිටින කුණ්ඩලාභරණ, උදර බන්ධන, උර මාල, වළලූ හා පුන නූල ද නිර්මාණය කර ඇත. මහායාන බෞද්ධ සංකල්පය තුළින් පැවත එන බෝසත් පිළිමය වන්දනාමාන කිරීම ට මෙම ප‍්‍රතිමාව ඉදිවන්නට ඇතැයි සැලකිය හැක.


මෙම පූජනීය පිළිමය නූතනයේ ද වන්දනා මානයට පාත‍්‍ර වන අතර බොහෝ මිනිසුන්ගේ ලෙඩ සුවපත් කිරීමේ අද්විතීය බලයක් ඇතැයි යන විශ්වාසය ද පවතී.

අතු පතර විහිදී ගිය ගස් වැල් වලින් යුත් මෙහි අවට පරිසරය ඉතා නිස්කලංක රමණීය දර්ශනයකි. සිත සමාධි සුවයට පාත්‍ර කරවීමට සමත් මෙම මනරම් භූමි භාගය බොහෝ දෙනාගේ නෙත් සිත් පිනවයි. සංචාරකයන් ලෙස බැතිමතුන් ලෙස ගමන් කරන ඇත්තන් පරිසරය එලෙසම සුන්දර ව පවත්වා ගැනීම උදෙසා වගකීමෙන් කටයුතු කරත් නම් මෙවන් පුදබිම් බොහෝකල් සංරක්ෂිතව පවතිනු ඇත.

මූලාශ්‍ර 

https://sinhala.archaeology.lk

www.budusarana.lk

www.praja.lk

Tuesday, May 17, 2022

සමනළ කන්දේ ශ්‍රී පාදස්ථානය


ශ්‍රී සම්බුද්ධ ගෞතම බුදුන්ගේ පාදස්පර්ශයට පාත්‍ර වූ ස්ථාන අතර  ශ්‍රී පාදස්ථානය ලෝකවාසී බෞද්ධ ජනයාගේ ගෞරවාදරයට බදුන් වූවකි. බුදුන් වහන්සේ ත‍ෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේ සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනළ කදු මුදුනට වැඩම කොට සිරිපා ලාංඡනය පිහිට වූ බව සදහන් වේ.

සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ සෑම වසරකම  උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය. එය ඊළඟ වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන්  නිමාවට පත්  වේ. ශ්‍රී පාදස්ථානය ලොව පුරා වෙසෙන විවිධ ආගම් අදහන්නන්ගේ වන්දනා මානයට පාත්‍ර වී ඇත.  සමනළ කඳු මුදුනේ ගල් පර්වතයේ සටහන්ව ඇතැයි සැලකෙන පාද ලාංඡනය   සිංහල බෞද්ධයන්ට අනුව  බුදු රජාණන් වහන්සේගේ වම් ශ්‍රී පාද සටහනයි. 

නමුත් එය හින්දු භක්තිකයන් සිව දෙවියන්ගේ පා සටහන ලෙසත් මහමදිකයන්ගේ මතය අනුව බාබා ආදමලේගේ පා සටහන ලෙසත් ක්‍රිස්තු භක්තික විශ්වාස අනුව  ශාන්ත ​තෝමස් නම් ක්‍රිස්තියානි මුණිවරයාගේ බවත් මත පළ වේ.

මෙවන් විශ්වාසයන් හා ප්‍රසිද්ධීන් හේතු කොට ගෙන ශතවර්ෂ ගණනාවක් තිස්සේ ස්වදේශිකයන්ට අමතරව ලොව පුරා නන් දෙසින් ලංකාවට පැමිණෙන වන්දනා කරුවන් මෙන් ම සංචාරකයන් ද සමනළ කන්ද තරණය කර  ශ්‍රී පාද ලාංඡනය වැද පුදා ගනී. 

වර්තමානයේ මෙය තරණය  පහසු කරුණක් වුව ද අතීතයේ දී එය තරණය කිරීම අති දුෂ්කර වූ කාර්යයක් විය.  නමුත් සමනළ කන්ද  විශාල ජන කණ්ඩායම් වල වන්දනා මානයට පාත්‍ර වන පූජනීය ස්ථානයක් බවට පත් විය.



වර්තමානයේ ශ්‍රී පාද ස්ථානය සිංහල බෞද්ධයන්ගේ පරිපාලනය යටතේ පවතී. බුදුන් ජීවමාන කාලයේ මෙන්ම පෙර කාලයේ සිටම ලංකාවේ සමන් දෙවියන් ඇදහීම ප්‍රචලිතව පැවැතී ඇත. බෞද්ධ පුරාවෘත්තවලට අනුව සමනළ කන්ද බුදු සමයට සම්බන්ධව තිබූ බවට පිළිගත හැකි මුල්ම සාක්ෂිය හමුවන්නේ මහා වංශයෙනි. මහා වංශයේ  විස්තර අනුව දුටුගැමුණු රජ සමයේ සමනළ කන්දේ භාවනානුයෝගිව වැඩ සිටි මලියදේව නමැති රහතන් වහන්සේ නමක් ප්‍රමුඛ නවසියයක් භික්ෂුන්ට රජතුමා තණ හාල් වලින් පිසු බත් දන් දුන් බව ද සදහන් වේ.  ඒ සමය වෙන විට සමනල කන්ද භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය ගත ව විසු ස්ථානයක් බව මනාව පැහැදිලි වේ.

මුල්වරට සමනළ කන්දේ ශ්‍රී පාද ලාංඡනය සොයා ගත්තේ   වළගම්බා රජතුමා බවට සැලකේ. ශ්‍රී පාද වන්දනාව පිළිබඳ  බැලූ විට මේ වන්දනාව අනුරාධපුර සමයේ දී ආකාර දෙකකින් සිදුව ඇත. මෙරට පැරැණි ම බෞද්ධ ආරාම  ස්ථානයන්ගේ තිබී දෙපතුල් සටහන් සහිත සතරැස් ගල් පුවරු රාශියක් දැකගත හැකි වේ. මේවා අනුරාධපුරය, මිහින්තලය, අභයගිරිය, රුවන්මැලි සෑය, රජගල, සිතුල්පව්ව, තිස්මහාරාමය, තිරියාය ආදි ස්ථානයන්ගෙන් බහුල ව දැක ගත හැක. මෙම සිරිපතුල් ගල්වල උත්තලව  ලෙස  ඉහළට එසවී පෙනෙන ආකාරයට  බුදුන්ගේ යටි පතුල් කැටයම් කර තිබේ. එහි සිරිපතුලේ ඇති ඇඟිලි දිගින් එක සමාන වේ. මේවා බුද්ධ ප්‍රතිමාව නිර්මාණයට පෙර අවධියේ බුදුන් වහන්සේ  සංකේතවත් කිරීම සඳහා නිර්මාණය කර ඇත.


දෙවන  සිරිපතුල් වන්දනාව වන්නේ අවතල හැඩයේ පහළට, යටට එබී ගිය ආකාරයේ සිරිපතුල් වන්දනයයි.  මෙම දෙවන ශ්‍රී පාද ලාංඡන වන්දනාව බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද ස්ථානවල පහළට පිහිටියා වූ පිය සටහන් ලෙස නිර්මාණය වී ඇත. සමන් ගිරෙහිද එසේ පහළට හැරුණු  සලකුණක් වේ. ශ්‍රී පාදස්ථානය මුල් කරගත් ඓතිහාසික වන්දනා සම්ප්‍රදාය එදා සිට අද දක්වා  ජීවමානව පවතී.

ඉර සේවාව නැරඹීම ශ්‍රී පාද වන්දනාවට එන බොහෝමයක් දෙනාගේ ආශාවකි.  අදුර නිවාලමින් ලොවම එළිය කරමින්  නැඟන හිරු සියල්ලට ම පෙර කරන ශ්‍රී පාද නමස්කාරයයි. සිරිපා කඳු මුදුනේ සිට එය හොඳින්ම දැකගත හැක.  උදෑසන ඉර සේවාව දැක බලා ගැනීමට කැමති බැතිමතුන් ශ්‍රී පාද කරුණා කිරීම ආරම්භ කරන්නේ සවස් යාමයේ දී ය. රාත්‍රියේ කන්ද තරණය කිරීම අතිශය අපූර්ව අත්දැකීමක් වන බව නොඅනුමානය. මග දෙපස ආලෝක පහන් සිරිපා කරුණා කිරීමට මඟ පෙන්වයි. අතරමඟ ආහාර ගැනීමට මෙන්ම  ගිමන් හැරීමට හැකි ස්ථාන ද බොහෝ පවතී.

ශ්‍රී පාදස්ථානයට ළඟා වීමට මාර්ග කිහිපයකි.

රත්නපුර- පලබැද්දල මාර්ගය, හැටන්- නල්ලතන්නි මාර්ගය, කුරුවිට- එරත්න මාර්ගය, මුරේවත්ත මාර්ගය, මූකුවත්ත මාර්ගය, මාලිම්බොඩ මාර්ගය ඒවා  වේ.

මෙයින් මුරේවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ මාර්ග භාවිතා කරන්නේ නැති තරම් ය. කුරුවිට- එරත්න මාර්ගය ඉඳහිට භාවිතා කරනු දැකිය හැකි ය. බොහෝ බැතිමතුන් භාවිතා කරන්නේ රත්නපුර- පලබැද්දල මාර්ගය සහ හැටන්- නල්ලතන්නි මාර්ගය යි. මෙයිනුත් හැටන්- නල්ලතන්නි මාර්ගය අධික බෑවුම් සහිත වුවත්, එය අන් මාර්ග වලට වඩා කෙටි ය. එම මාර්ගයෙන් යන විට මුළු දුර වන්නේ කිලෝ මිටර් 5ක් පමණි.

ශ්‍රී පාදස්ථානය, සමනොළ කන්ද, සමන්තකූට, සුමණකූට, සමන්ගිර ආදි විවිධ පර්යාය නම්වලින් හඳුන්වනු ලබයි.  රත්නපුර දිස්ත්‍රික්කයේ පලාබද්දල ග්‍රාම නිලධාරි වසමට අයත් වන සමනොළ ගිරි ශිඛරය  මුහුදු මට්ටමේ සිට අඩි 7360ක් උසින් යුක්තය. මෙය බැතිමතුන්ගේ , පරිසරවේදීන්ගේ , සෞන්දර්යකාමීන්ගේ  වැඩි අවධානයක් යොමු වී ඇති භූමියකි.

වසරකට ලක්ෂ ගණනකගේ පාදර්ස්පර්ශය ලබන මෙරට සතර දෙස ම දර්ශනය වන ස්ථානයක් ලෙස ද හඳුන්වාදිය හැකිය. රටේ ප්‍රධානම ජල මූලාශ්‍රය වෙමින්  ගංගා රැසක් බිහි වන්නේ සමනොළ කන්ද ආශ්‍රිත තෙත් වනාන්තර කලාපයෙනි. එනම් මහවැලි, කැලණි, කළු සහ වලවේ ගංගා ආරම්භ මූලය  මෙම සමනල කන්දයි.  බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වූ මෙරට පැරැණිතම බෞද්ධ උරුමයක් ලෙස ශ්‍රී පාදස්ථානය හැඳින්විය හැකිය.

මූලාශ්‍ර

 www.Myschool.lk

www.silumina.lk

www.lankadeepa.lk

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...