Tuesday, May 17, 2022

සමනළ කන්දේ ශ්‍රී පාදස්ථානය


ශ්‍රී සම්බුද්ධ ගෞතම බුදුන්ගේ පාදස්පර්ශයට පාත්‍ර වූ ස්ථාන අතර  ශ්‍රී පාදස්ථානය ලෝකවාසී බෞද්ධ ජනයාගේ ගෞරවාදරයට බදුන් වූවකි. බුදුන් වහන්සේ ත‍ෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේ සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනළ කදු මුදුනට වැඩම කොට සිරිපා ලාංඡනය පිහිට වූ බව සදහන් වේ.

සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ සෑම වසරකම  උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය. එය ඊළඟ වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන්  නිමාවට පත්  වේ. ශ්‍රී පාදස්ථානය ලොව පුරා වෙසෙන විවිධ ආගම් අදහන්නන්ගේ වන්දනා මානයට පාත්‍ර වී ඇත.  සමනළ කඳු මුදුනේ ගල් පර්වතයේ සටහන්ව ඇතැයි සැලකෙන පාද ලාංඡනය   සිංහල බෞද්ධයන්ට අනුව  බුදු රජාණන් වහන්සේගේ වම් ශ්‍රී පාද සටහනයි. 

නමුත් එය හින්දු භක්තිකයන් සිව දෙවියන්ගේ පා සටහන ලෙසත් මහමදිකයන්ගේ මතය අනුව බාබා ආදමලේගේ පා සටහන ලෙසත් ක්‍රිස්තු භක්තික විශ්වාස අනුව  ශාන්ත ​තෝමස් නම් ක්‍රිස්තියානි මුණිවරයාගේ බවත් මත පළ වේ.

මෙවන් විශ්වාසයන් හා ප්‍රසිද්ධීන් හේතු කොට ගෙන ශතවර්ෂ ගණනාවක් තිස්සේ ස්වදේශිකයන්ට අමතරව ලොව පුරා නන් දෙසින් ලංකාවට පැමිණෙන වන්දනා කරුවන් මෙන් ම සංචාරකයන් ද සමනළ කන්ද තරණය කර  ශ්‍රී පාද ලාංඡනය වැද පුදා ගනී. 

වර්තමානයේ මෙය තරණය  පහසු කරුණක් වුව ද අතීතයේ දී එය තරණය කිරීම අති දුෂ්කර වූ කාර්යයක් විය.  නමුත් සමනළ කන්ද  විශාල ජන කණ්ඩායම් වල වන්දනා මානයට පාත්‍ර වන පූජනීය ස්ථානයක් බවට පත් විය.



වර්තමානයේ ශ්‍රී පාද ස්ථානය සිංහල බෞද්ධයන්ගේ පරිපාලනය යටතේ පවතී. බුදුන් ජීවමාන කාලයේ මෙන්ම පෙර කාලයේ සිටම ලංකාවේ සමන් දෙවියන් ඇදහීම ප්‍රචලිතව පැවැතී ඇත. බෞද්ධ පුරාවෘත්තවලට අනුව සමනළ කන්ද බුදු සමයට සම්බන්ධව තිබූ බවට පිළිගත හැකි මුල්ම සාක්ෂිය හමුවන්නේ මහා වංශයෙනි. මහා වංශයේ  විස්තර අනුව දුටුගැමුණු රජ සමයේ සමනළ කන්දේ භාවනානුයෝගිව වැඩ සිටි මලියදේව නමැති රහතන් වහන්සේ නමක් ප්‍රමුඛ නවසියයක් භික්ෂුන්ට රජතුමා තණ හාල් වලින් පිසු බත් දන් දුන් බව ද සදහන් වේ.  ඒ සමය වෙන විට සමනල කන්ද භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය ගත ව විසු ස්ථානයක් බව මනාව පැහැදිලි වේ.

මුල්වරට සමනළ කන්දේ ශ්‍රී පාද ලාංඡනය සොයා ගත්තේ   වළගම්බා රජතුමා බවට සැලකේ. ශ්‍රී පාද වන්දනාව පිළිබඳ  බැලූ විට මේ වන්දනාව අනුරාධපුර සමයේ දී ආකාර දෙකකින් සිදුව ඇත. මෙරට පැරැණි ම බෞද්ධ ආරාම  ස්ථානයන්ගේ තිබී දෙපතුල් සටහන් සහිත සතරැස් ගල් පුවරු රාශියක් දැකගත හැකි වේ. මේවා අනුරාධපුරය, මිහින්තලය, අභයගිරිය, රුවන්මැලි සෑය, රජගල, සිතුල්පව්ව, තිස්මහාරාමය, තිරියාය ආදි ස්ථානයන්ගෙන් බහුල ව දැක ගත හැක. මෙම සිරිපතුල් ගල්වල උත්තලව  ලෙස  ඉහළට එසවී පෙනෙන ආකාරයට  බුදුන්ගේ යටි පතුල් කැටයම් කර තිබේ. එහි සිරිපතුලේ ඇති ඇඟිලි දිගින් එක සමාන වේ. මේවා බුද්ධ ප්‍රතිමාව නිර්මාණයට පෙර අවධියේ බුදුන් වහන්සේ  සංකේතවත් කිරීම සඳහා නිර්මාණය කර ඇත.


දෙවන  සිරිපතුල් වන්දනාව වන්නේ අවතල හැඩයේ පහළට, යටට එබී ගිය ආකාරයේ සිරිපතුල් වන්දනයයි.  මෙම දෙවන ශ්‍රී පාද ලාංඡන වන්දනාව බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද ස්ථානවල පහළට පිහිටියා වූ පිය සටහන් ලෙස නිර්මාණය වී ඇත. සමන් ගිරෙහිද එසේ පහළට හැරුණු  සලකුණක් වේ. ශ්‍රී පාදස්ථානය මුල් කරගත් ඓතිහාසික වන්දනා සම්ප්‍රදාය එදා සිට අද දක්වා  ජීවමානව පවතී.

ඉර සේවාව නැරඹීම ශ්‍රී පාද වන්දනාවට එන බොහෝමයක් දෙනාගේ ආශාවකි.  අදුර නිවාලමින් ලොවම එළිය කරමින්  නැඟන හිරු සියල්ලට ම පෙර කරන ශ්‍රී පාද නමස්කාරයයි. සිරිපා කඳු මුදුනේ සිට එය හොඳින්ම දැකගත හැක.  උදෑසන ඉර සේවාව දැක බලා ගැනීමට කැමති බැතිමතුන් ශ්‍රී පාද කරුණා කිරීම ආරම්භ කරන්නේ සවස් යාමයේ දී ය. රාත්‍රියේ කන්ද තරණය කිරීම අතිශය අපූර්ව අත්දැකීමක් වන බව නොඅනුමානය. මග දෙපස ආලෝක පහන් සිරිපා කරුණා කිරීමට මඟ පෙන්වයි. අතරමඟ ආහාර ගැනීමට මෙන්ම  ගිමන් හැරීමට හැකි ස්ථාන ද බොහෝ පවතී.

ශ්‍රී පාදස්ථානයට ළඟා වීමට මාර්ග කිහිපයකි.

රත්නපුර- පලබැද්දල මාර්ගය, හැටන්- නල්ලතන්නි මාර්ගය, කුරුවිට- එරත්න මාර්ගය, මුරේවත්ත මාර්ගය, මූකුවත්ත මාර්ගය, මාලිම්බොඩ මාර්ගය ඒවා  වේ.

මෙයින් මුරේවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ මාර්ග භාවිතා කරන්නේ නැති තරම් ය. කුරුවිට- එරත්න මාර්ගය ඉඳහිට භාවිතා කරනු දැකිය හැකි ය. බොහෝ බැතිමතුන් භාවිතා කරන්නේ රත්නපුර- පලබැද්දල මාර්ගය සහ හැටන්- නල්ලතන්නි මාර්ගය යි. මෙයිනුත් හැටන්- නල්ලතන්නි මාර්ගය අධික බෑවුම් සහිත වුවත්, එය අන් මාර්ග වලට වඩා කෙටි ය. එම මාර්ගයෙන් යන විට මුළු දුර වන්නේ කිලෝ මිටර් 5ක් පමණි.

ශ්‍රී පාදස්ථානය, සමනොළ කන්ද, සමන්තකූට, සුමණකූට, සමන්ගිර ආදි විවිධ පර්යාය නම්වලින් හඳුන්වනු ලබයි.  රත්නපුර දිස්ත්‍රික්කයේ පලාබද්දල ග්‍රාම නිලධාරි වසමට අයත් වන සමනොළ ගිරි ශිඛරය  මුහුදු මට්ටමේ සිට අඩි 7360ක් උසින් යුක්තය. මෙය බැතිමතුන්ගේ , පරිසරවේදීන්ගේ , සෞන්දර්යකාමීන්ගේ  වැඩි අවධානයක් යොමු වී ඇති භූමියකි.

වසරකට ලක්ෂ ගණනකගේ පාදර්ස්පර්ශය ලබන මෙරට සතර දෙස ම දර්ශනය වන ස්ථානයක් ලෙස ද හඳුන්වාදිය හැකිය. රටේ ප්‍රධානම ජල මූලාශ්‍රය වෙමින්  ගංගා රැසක් බිහි වන්නේ සමනොළ කන්ද ආශ්‍රිත තෙත් වනාන්තර කලාපයෙනි. එනම් මහවැලි, කැලණි, කළු සහ වලවේ ගංගා ආරම්භ මූලය  මෙම සමනල කන්දයි.  බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වූ මෙරට පැරැණිතම බෞද්ධ උරුමයක් ලෙස ශ්‍රී පාදස්ථානය හැඳින්විය හැකිය.

මූලාශ්‍ර

 www.Myschool.lk

www.silumina.lk

www.lankadeepa.lk

No comments:

Post a Comment

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...