Monday, May 23, 2022

මාළිගාවිල බුද්ධ ප‍්‍රතිමාව හා දඹේගොඩ බෝසත් පිළිමය

මාළිගාවිල බුද්ධ ප‍්‍රතිමාව

සුන්දර දර්ශනයන්ගෙන් හෙබි ලංකාද්වීපයේ දර්ශනීට ස්ථාන අතුරින් මොණරාගල දිස්ති‍්‍රක්කයේ බුත්තල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි  මාළිගාවිල ඓතිහාසික වටිනාකමකින් යුත් සංචාරක ආකර්ෂණය අනූන වූ භූමි භාගයක් ලෙස හදුන්වා දිය හැක.

මොණරාගල සිට වැල්ලවාය දක්වා මාර්ගයේ කුඩුකන් ඔය මංසන්ධියෙන් වමට ගොස් ඔක්කම්පිටිය නගරයේ සිට කිලෝ මීටර් 7ක් පමණ පසු කළ විට මෙම ස්ථානයට ළඟා විය හැක. අනෙක් මාර්ගය ලෙස බුත්තල නගරයේ සිට රජමාවත, කතරගම මාවත මාර්ගයේ වම්පසට ඇති ඔක්කම්පිටිය – නිදැල්ල මාර්ගයේ කිලෝ මීටර් 10ක් පමණ ගමන් කළ විට මෙම ස්ථානයට ළඟා විය හැක.

ඌවේ පළාතටත් පහතරට වියළි කලාපයටත් අයත් දේශගුණික ලක්ෂණ වලින් සමන්විත පරිසරයක්  මාළිගාවිල දැකිය හැක. පුරාවිද්‍යාත්මක භූමිය ස්භාවික වන රක්ෂිත හා කඳු වළලූ කිහිපයකින් මෙම භූමිය වට වී තිබේ.  අක්කර 200ක පමණ භූමි පරිසරයක විහි දී ඇති මෙම ස්ථානය යාල වන රක්ෂිතයේ උතුරු මායිමේ හා මධ්‍ය කඳුකරයේ ගිණිකොණ බෑවුමේ පිහිටා ඇත.

මාළිගාවිල භූමිය වියළි කලාපයට අයත් වූවත් පරිසර පද්ධතිය තෙත් කලාපයට ආවේණික වූ භූ භෞතික ලක්ෂණවලින් යුතු ඉහළ තත්වයක් පිළිබිඹු කරයි. වියළි කලාපයට ආවේණික දුර්ලභ ශාක හා සත්ව ගහණයකින් මෙය සමන්විත වේ.  මෙතුලින් සදාහරිත වනාන්තරයක සෞන්දර්යය ඉස්මතු වේ. 

මෙහි ස්භාවික සෞන්දර්යය ඉහළ මට්ටමක පවතින නිසා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට නතු ව ඇත. ඈත  අතීතයේ සිට  මාළිගාවිල භික්ෂුන් වහන්සේලාට ‌යෝග්‍ය වූ ස්ථානයක් බව ඉතිහාසගත තොරතුරු සාක්ෂි සපයයි. මෙම භූමිය තුළ පිහිටා ඇති විවිධ කටාර ලෙන් හා ශිලා ‌ලේඛන තුළින් එම සාධකය සනාථ වේ. වංශකතා මූලාශ‍්‍රවලට අනුව මාළිගාවිල  විහාරය අරියකාරී විහාරයක් ලෙස හඳුනා ගෙන ඇති අතර ආර්යකර විහාරය නමින් ද ව්‍යවහාරයේ සඳහන් ව ඇත.


මහාවංශයේ සඳහන් තොරතුරු මඟින් ද මෙම ස්ථානය පිළිබඳ වැදගත් සාධක කිහිපයක් සඳහන් කළ හැක. ජනප්‍රවාද අනුව රුහුණු කුමාරයකු විසින් කණගාමය නම් ස්ථානයක දී ඉදිකරන ලද පිළිමයක් ලෙස මාළිගාවිල  මහාවංශයේ සඳහන් වේ.  එහි දී වංශකතාකරු අරියාරි විහාරයට මල්වතු නම් ගම පූජාකර එහි සිත්කළු පිළිමයක් හා පිළිම ගෙයක් කරවූ බව විස්තර කියවේ.

අග්ගබෝධි රජු කණගාමයෙහි දෘශ්‍යබාධිත රෝගින් සඳහා ආරෝග්‍ය ශාලාවක් ද එහි ම පටිවා විහාරයේ විශාල බුදුගෙයක් ද ගලින් නෙලන ලද බුදුපිළිමයක් ද සාදවන ලද බව මූලවංශයේ සඳහන් වේ. මාළිඟාවිල බුදු පිළිමය ස්ඵටික හුණු ගලින් නිම කරවන ලද්දකි. මෙම පිළිමය අඩි 45ක පමණ උසකින් සමන්විත වේ. ආන්ද්‍රා ශෛලයට අනුව නිර්මාණය කරන ලද මෙම පිළිමය මෙරට පිහිටි උසම හිටි පිළිමය ලෙස ද සැළකේ. 

සමභංග ඉරියව්ව හා අභය මුද්‍රව නිරූපනය කෙරේ. ඒකාංශ චීවරය රැළි සහිත ව හා අඩවන් නේත‍්‍රා සහිත වේ. සමචතුරදස‍්‍රාකාර හැඩයෙන් යුත් ගඩොළින් කළ සුවිශාල ප‍්‍රතිමා ගෘහයකි. මෙය ගෙඩිගේ සම්ප‍්‍රදායට අයත් පිළිම ගෘහයක් ලෙස සැළකේ. මෙම පිළිම ගෘහය තුළ පද්ම පීඨයක් සකසා මාධ්‍යයෙහි පිළිමය පිහිටුවා ඇත. 

ප‍්‍රතිමා ගෘහයට නැගෙනහිරින් ප‍්‍රදක්ශිනා පථයක්, පියගැටපෙළ ත්‍රිත්වයක් , සඳකඩ පහනක් සහ මුරගල් දෙකකී. ප‍්‍රතිමාව හා පිළිම ගෘහය වටා වැලි ඇතිරු මළුවකි. එහි පාදෝවනයක් ස්ථාපිත කර ඇත. මෙහි ශේෂ වී ඇති වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුව පිළිම ගෘහය වටා ප‍්‍රාකාරයක් ද තිබී ඇති බව සදහන් වේ. 

මෙම පිළිමය 1991 වසරේ දී රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලදී. 1991 වසර වනවිට පිළිමය කොටස්වලට කැඩී කැබලිව තිබී ඇත.

 මාළිගාවිල බුදු පිළිම ශ්‍රී ලංකාවේ වූ පැරණි බුද්ධ ප්‍රතිමා අතුරින් විශාලතම අනාබද්ධ (සම්පූර්ණයෙන් ම වෙනම නෙළන ලද) ශෛලමය බුද්ධ ප්‍රතිමාව ලෙස මාළිගාවිල බුද්ධ ප්‍රතිමාව සැලකේ. 


              දඹේගොඩ බෝසත් පිළිමය

මාළිගාවිල බුද්ධ ප‍්‍රතිමාවට නැගෙනහිර දෙසින් දඹේගොඩ බෝසත් පිළිමය පිහිටා ඇත. හතරැස් මාලක 5කින් යුත් ඉහළ කඳු මස්තකයේ මෙම පිළිමය පිහිටා ඇත. මෙම බෝසත් පිළිමය ද ලංකාවේ මූර්ති නිර්මාණයෙහි විශේෂත්වයකට උරුමකම් කියනු ලබයි. වංශ කතාවේ සඳහන් පරිදි අග්ගබෝධි රජුගේ සොහොයුරු වු ‌දෙවන දප්පුල රජු විසින් නිමවන ලද මෙම පිළිමය නිර්මාණය කිරීමට උපයෝගී කරගෙන ඇත්තේ ස්ඵටික හුණුගල් හෙවත් ලවණගිරි පාෂාණයයි.


දඹේගොඩ බෝසත් පිළිමය චූලවංශයේ 45 වන පරිච්ඡේදයේ සඳහන් පරිදි මාලවත්ථ නම් ග‍්‍රමයේ අරියකාරී විහාරයට පූජා කළ අතර එම ස්ථානයේ රියන් 15ක් උස මෛත‍්‍රී පිළිමයක් කර වු බව සඳහන් වේ. මෙවැනි විශාල ලෙස හුණු ගලින් නිමවන ලද පිළිමයක් වෙනත් ස්ථානයක නිර්මාණය කිරීමෙන් පසු එම ස්ථානයට රැගෙන ආ බව විද්වතුන්ගේ මතය වේ.   මෙම පිළිමය කිසිදු ආධාරකයක් නොමැතිව නිමවා තිබීම අති විශිෂ්ට  තාක්ෂණ ශිල්පයක් ලෙස සැළකිය හැකි ය.

සමභංග ඉරියව්වෙන් හිටි ඉරියව්ව නිරුපිත අතර පීඨය මත පිළිමය පිහිටුවා ඇත. ජටා මකුටය, ශිර්ශාභරණ, පැළඳ සිටින ධ්‍යාන මුද්‍රවෙන් යුත් බුද්ධ රූපයක් ජටා මකුටයේ ඉහළ නිර්මාණය කර ඇත. උඩුකය නිරුවත් වන අතර රාජාභරණ මෙන් ආභරණ පැළඳ සිටින කුණ්ඩලාභරණ, උදර බන්ධන, උර මාල, වළලූ හා පුන නූල ද නිර්මාණය කර ඇත. මහායාන බෞද්ධ සංකල්පය තුළින් පැවත එන බෝසත් පිළිමය වන්දනාමාන කිරීම ට මෙම ප‍්‍රතිමාව ඉදිවන්නට ඇතැයි සැලකිය හැක.


මෙම පූජනීය පිළිමය නූතනයේ ද වන්දනා මානයට පාත‍්‍ර වන අතර බොහෝ මිනිසුන්ගේ ලෙඩ සුවපත් කිරීමේ අද්විතීය බලයක් ඇතැයි යන විශ්වාසය ද පවතී.

අතු පතර විහිදී ගිය ගස් වැල් වලින් යුත් මෙහි අවට පරිසරය ඉතා නිස්කලංක රමණීය දර්ශනයකි. සිත සමාධි සුවයට පාත්‍ර කරවීමට සමත් මෙම මනරම් භූමි භාගය බොහෝ දෙනාගේ නෙත් සිත් පිනවයි. සංචාරකයන් ලෙස බැතිමතුන් ලෙස ගමන් කරන ඇත්තන් පරිසරය එලෙසම සුන්දර ව පවත්වා ගැනීම උදෙසා වගකීමෙන් කටයුතු කරත් නම් මෙවන් පුදබිම් බොහෝකල් සංරක්ෂිතව පවතිනු ඇත.

මූලාශ්‍ර 

https://sinhala.archaeology.lk

www.budusarana.lk

www.praja.lk

No comments:

Post a Comment

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...