සුන්දර ස්ථානයන්ගෙන් අනූන මනරම් දිවයිනක් ලෙස ලංකාව ඈත අතීතයේ සිට ම ලෝකයේ ම ආකර්ශනය දිනාගත් පුරවරයකි. මෙරටට විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ලැබෙන ප්‍රධානම හේතුවක් ලෙස මෙරටේ පිහිටා තිබෙන ලස්සන සුන්දර වෙරළ තීරයන් හදුන්වා දිය හැකිය. ලංකාවේ ජීවත් වන ඇතමුන්වත් මෙතරම් ලස්සන මුහුදු වෙරළවල් මෙරට තිබෙන බව නොදනී. එම සුන්දරම වෙරළවල් අතරින් නිලාවේලි වෙරළ තීරයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.
නිලාවැලි වෙරළ තීරය නැගෙනහිර පළාතේ ඉතාම දර්ශනීය වෙරළ තීරයන්ගෙන් එකකි. එම නොගැඹුරු මුහුදු වෙරළ තීරය සංචාරකයන්ට ඉමහත් අත්දැකීම් ගොන්නක් ලබා දෙයි. නිලාවේලි වෙරළ තීරය දකුණු ආසියාවට අයත් පිරිසිදු සුදු වැලි සහිත වෙරළ තීරයක් ලෙස ද හැඳින් වේ.
නිලාවේලි වෙරළ තීරය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය නගරයේ සිට පුල්මුඩේ මාර්ගයේ කි. මි. 15ක් පමණ දිගට ය. ත්‍රිකුණාමලය නගරයේ සිට විනාඩි 30 ක පමණ ගමනකින් එම ස්ථානයට ළගා වීමට හැකියාව ඇත. වෙරළ තීරයේ බොහෝ තරු පංති නවාතැන් ද පවතී. රසවත් මුහුදු ආහාර වේලක් ගැනීම සඳහා නිලාවේලි ආශ්රිත මුහුදු තීරය අවටින් පහසුව සැපයේ.
මෙහි ප්‍රසිද්ද පරවි දූපතේ සංචාරය සදහා බෝට්ටු සවාරියක් ලබා ගැනීමට ද හැකියාව පවතී. ලංකාවේ ඉතාම වටිනා වස්තුවක් ලෙස නිලාවේලි වෙරළ තීරය හඳුන්වා දීමට හැක. යුධ ගැටුම් පැවතීම නිසාවෙන් සංචාරකයින්ට බොහෝ කාලයක් මෙය තහනම් ව පැවතිනි. එය යළිත් සංචාරකයින් සඳහා විවෘත කොට ලක්දිව සොඳුරුත ම වෙරළක සුන්දරත්වය විඳ ගැනීමට සියල්ලන්ටම අවස්ථාව උදා කර දී ඇත.
ත්‍රිකුණාමල නගරයේ සිට කිලෝමීටර් 10 ක් පමණ උතුරු දෙසින් පිහිටා ඇති මෙහි දර්ශනීය බව වඩාත් ඉස්මතු වන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා වන කාල සීමාවේ දී ය.
කොරල් පර බිඳී යාමෙන් සැදි සුදුපැහැ වැල්ලෙන් සපිරි නිලාවේලි වෙරළ තීරය උප්පුවේලි නම් කුඩා ගම්මානයෙන් ආරම්භ වී කුච්චවේලි ළඳු කැලෑ දක්වා විහිදී යයි.නිලාවේලී වෙරළ තීරයට නැගෙනහිර දෙසින් පිහිටි පරෙවි දූව ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටත ම නොගැඹුරු දියේ කිමිදුම් ස්ථානයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන් යොදා ගනී .
ජල ක්‍රීඩා සඳහා ඉතා යෝග්‍ය නිලාවේලි මුහුදු තීරයේ දී මනා ව සංරක්ෂණය වූ ජීව පරයක් දැක ගැනීමට හැකි අතර එය වර්ණවත් නිවර්තන මසුන් එකතුවකට ද නවාතැන් සපයයි.
පාසිකුඩා වෙරළ තීරය
පාසිකුඩා වෙරළ තීරය ද සංචාරක තෝතැන්නකි. කොළඹ සිට පොළොන්නරුවට ගොස් එතැනින් මනම්පිටිය පාලම පසු කර වැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට ගොස් එහි පොලිස් ස්ථානය අසලින් වමට හැරී වඩුක්කොඩෙයි පසුකළ පසු පාසිකුඩා මුහුදු තීරය දිස් වේ.
මෙහිදී දරුවන් සමග සැමට බියකින් තොරව මුහුදේ නිදහසේ දිය නෑමට පවුලේ අය සමඟ විනෝද වීමට කදිම මුහුදු තීරය ලෙස මඩකලපුවේ පාසිකුඩා වෙරළ තීරය හදුන්වා දිය හැක.
මහ මුහුදේ කිලෝමීටරයක් පමණ කිසිදු අනතුරකින් තොරව ඇවිද යන්නට හැකියාව තිබේ. පාසිකුඩා සහ කල්කුඩා යනු ළඟ ළඟ පිහිටි මුහුදු බොකු දෙකකි. කොරල් පර මෙන් ම කැස්බෑවනුත් මෙහි දී දැක ගත හැකිය. පාසිකුඩා වෙරළ තීරයේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරක් දක්වා ස්වාභාවික දිය තටාකයක් ලෙස පිහිටා ඇත.පාසිකුඩා මුහුදු බොක්කට මුහුණලා පිහිටි මුහුදු වෙරළේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරින් ශක්තිමත් කොරල්පර වැටියක් පිහිටා ඇත. මේ කොරල් වැටිය නිසා මහ මුහුදේ සිට එන විශාල දිය රැලි පාසිකුඩා මුහුදු වෙරළට කඩා නොවදී. මේ නිසා ම සංචාරකයන්ට රිසි සේ මහ මුහුදේ විනෝද වන්නට අවස්ථාව උදා වී ඇත.
මේ ශක්තිමත් කොරල් වැටිය පාසිකුඩා මුහුදු වෙරළේ සිට බලන විට මද දුරින් පිහිටා තිබේ. මේ නිසා පාසිකුඩා වෙරළ තීරය සංචාරකයන්ට අපූරු තෝතැන්නකි. උදෑසන සිට දිවා කාලය දක්වා පවතින දැඩි අව්රශ්මිය නිසා මේ ස්ථානයේ සිටීම මදක් අසීරු වේ.
සවස් කාලයේ දී ඉර බසින දර්ශනය නරඹන්නට හා තම විඩාව නිවාගැනීමට බොහෝදෙනෙක් මෙම ස්ථානයට පැමිණේ.
මාබල් බීච්
ත්‍රිකුණාමල වරායේ ම එක වෙරළ තීරයක් මෙලෙස හදුන්වයි. මෙය ජල තටාකයක් ලෙස පවතී. ගැඹුරු නැති වැලිතලාව හා ගල්පර වලින් අනූන වෙරළ තීරය කි. හිරු රැස් ජල තලය මතට වැටී අපූරු රටාවන් නොගැඹුරු ජලතලයේ සිත්තම් කරයි. එය මාබල් අල්ලා ඇති ආකාරයට දිස් වේ.මෙය ලංකාවේ එලෙස පවතින එකම වෙරළ වේ. මේ නිසා ම එය "මාබල් බීච්” නමින් හදුන්වයි.
කොට්ටියාරම් බොක්කේ සාම්පූර් සිට ත්‍රිකුණාමලය දක්වා වු වක්‍රයේ හරි අර්ධය වන තැන මෙම “මාබල් බීච්” පිහිටා ඇත. එහි සිට රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය හා ෆවුල් පොයින්ට් ප්‍රදීපාගාරයත් දැක බලා ගත හැකි වේ.
එමෙන් ම ත්‍රිකුණාමල වරායේ විවරය හොදින් දැකගත හැකිය. “එළිෆන්ට් අයිලන්ඩ්” සහ එලිෆන්ට් තුඩුවත් පෙනේ. වෙරළ ආසන්නයේ ම නාවික යාත්‍රාත් දැකගත හැකිය.
“මාබල් බීච්” හි සංචාරකයන්ට වෙන් වූ අය කිරීමකින් තොරව ඇතුළු විය හැකි පොදු වෙරළ කලාපයක් සහ ගුවන් හමුදාව මගින් පාලනය කෙරෙන නිවාඩු නිකේතනයක් සහිත අවසරලත් පුද්ගලයන්ට පමණක් ඇතුළු විය හැකි කොටසකුත් තිබේ.
ආරුගම්බේ වෙරළ
ආරුගම් බොක්ක ආරුගම්බේ වෙරළ බොහෝ ප්‍රසිද්ධියට පත් වෙන්නේ සර්ෆින්ග් නිසාවෙනි. රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාව සඳහා හොඳම වඩාත් සුදුසු ම වෙරළ තීරයක් විදියට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා ගැනීමට ආරුගම් බොක්ක මුහුදු තීරය සමත් ව ඇත. විදෙස් සංචාරකයන් බොහෝ ප්‍රමාණයක් සර්ෆින්ග් වල යෙදීමට කැමත්තක් දක්වයි. ඔවුන්ට මෙය වඩාත් විනෝදාස්වාදය ගෙනදෙයි. ඔවුන් මෙරට ට වැඩි වශයෙන් පැමිණෙන කාලයට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ආරුගම්බේ වෙරළ තීරය පිරී ඉතිරේ.
නිස්කලංකව ඇවිදින්න යන්න නම් ආරුගම්බේ සුදුසු වෙන්නෙ සංචාරකයන්ගෙන් තොර කාලයේ දී ය. රළ මත ලිස්සා යෑමට සුදුසු මෙවන් මුහුදු තීරයක් තවත් නොමැති තරම් ය. පීහිනීමට නෑමට හොඳ වෙරළ ඉසව් ද මෙහි වේ. සර්ෆින් කරන්නට තියෙන හොඳම ස්ථානය ආරුගම්බේ ලෙස හදුන්වා දිය හැක.
මූලාශ්‍ර
www.facebook.lk
www.srilankatravelpages.com
www.gasma.lk
www.sinhalanews.lk
www.silumina.lk
No comments:
Post a Comment