ශ්‍රී ලංකාවේ පිහිටි සංචාරක පාරාදීසයන් අතර සීගිරිය සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී. දේශීය මෙන්ම විදේශීය ආකර්ෂණය නොමද ව ලැබෙන තැනක් ලෙසත් මෙය පෙන්වා දිය හැක. ලාංකීය සංස්කෘතික උරුම අතරින් සීගිරිය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් ව තිබේ.
කාශ්‍යප රජතුමා සීගිරිය නිර්මාණය කළ බව ජනප්‍රවාදයන්හි සදහන් වේ. එනම් ධාතුසේන පිය රජු ඝාතනය කර රජකම ලබාගත් කාශ්‍යපයන් තම සොයුරු වූ මුගලන්ට බියෙන් තම ආරක්ෂාව සඳහා සීගිරි පර්වතය බලකොටුවක් ලෙස සකස් කර ඉදි කළ බව මූලාශ්‍ර වල දැක්වේ.
සීගිරියේ ඇති විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය හෙළි කරන කැටපත් පවුර, සීගිරි චිත්‍ර, සීගිරි පියගැට පෙළ, සිංහපාද උද්‍යාන, පොකුණු දිය අගල ආදිය දෙස බැලීමේ දී එය බලකොටුවක් මෙන්ම විශිෂ්ට කලාගාරයක් ලෙස ද හදුන්වා දිය හැක.
මුහුදු මට්ටමේ සිට අඩි 1214 උසින් වන ලැහැබක් තුළ පිහිටි කඳු ගැටයක් මත පිහිටි ගල් පර්වතය මුදුනේ පැරණි රජ මාලිගාව හා වෙනත් ගොඩනැගිලි වල ශේෂ වූ නටබුන් තවමත් දක්නට ලැබේ. ගල මුදුනේ පවතින නටබුන් සහිත ප්‍රදේශය අක්කර තුනක් පමණ වේ.
ගලමුදුන දක්වා ගමන් කිරීමට අතීතයේ ඉදිකර තිබූ මාර්ගය පඩිපේලි, පාලම්, ප්‍රාකාර ආදියෙන් සමන්විත වූවකි. පර්වතයේ දුෂ්කර පෙදෙසට නැගීමට තිබෙන මාර්ගය සිංහ මුඛයකින් ආරම්භ වේ. ප්රතාපවත් සිංහ රූපය නිසා මෙම ස්ථානයට සීගිරි යන නාමය යෙදී ඇත.
සිංහ රූපය සහිත ප්‍රදේශයට පැමිණීමට පෙර ගමන් මාර්ගයේ ආරක්ෂාව සඳහා තනවා තිබූ පවුරේ ඇතුළු පැත්ත බොහෝ ඔපමට්ටම් කොට තනවා ඇත. එය කැටපත් පවුර ලෙස ප්‍රකට වේ. එම පවුරේ ලියා ඇති ගී සීගිරි කුරුටු ගී ලෙස හඳුන්වයි. සීගිරියේ පියගැට පෙළ ඉහළට නැගීමෙන් පසුව ලෙන් තුළ ඇති සීගිරි සිතුවම් දැකිය හැකිය.
පර්වතය පාමුල ඇති ලෙන්වල ද සිතුවම් කොටස් දැකිය හැකි නමුත් සීගිරි සිතුවම් ලෙස වඩාත් ප්‍රචලිත පර්වත කෙවෙනි වල ඇති ස්ත්‍රී රූප වේ. වලාකුළුවලින් මතු වූ උඩුකය පෙනෙන ස්ත්‍රී රූප ලෙස මෙම සිතුවම් නිර්මාණය කර තිබේ.
සීගිරියේ ජලමල් තාක්ෂණය අති විශිෂ්ට නිර්මාණයකි. සීගිරිය ගෘහ නිර්මාණ ශිල්පියා ජලමල් සැකසීමේදී වේගවත්ව ගලන ජල පහරකට බාධාවක් යෙදීමෙන් ජලය ඉහලට ගත හැකිය යන සංකල්පය විද්‍යාත්මකව කල්පනා කර ඇත.
මේ අනුව ඉහල පොකුණුවල සිට වේගයෙන් පහළට ගලන ජල ධාරාවකට සිදුරු කළ ගල් පතුරු යෙදීමෙන් අලංකාරව ජල මල් නිර්මාණය කර ඇත. මෙම ජල මල් වර්තමානයේ දී වර්ෂාව ඇති කාලයේ දී ක්‍රියාත්මක වේ. සැබැවින්ම සීගිරිය අති විශිෂ්ඨ නිර්මාණයක් බව පැහැදිලි ය.මූලාශ්‍ර
www.slncu.lk
www.lifie.lk
www.thaksalawa.lk
No comments:
Post a Comment