Wednesday, May 11, 2022

දඹුල්ල රජමහා විහාරය


දඹුල්ල රජමහා විහාරය  ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ  මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. දෙස් විදෙස් සංචාරකයන් නිතර පිරී පවතින මෙම අඩවිය කොළඹට කි.මී 148 ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, පිහිටා ඇත. 

ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය මෙය වේ. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය 160m ක් ඉහළට  විහිදෙයි. මෙහි අවට ලෙන් 80 කට වැඩි ගණනක් විහිදී ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් පහක් වඩාත්  ආකර්ෂණ වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවාය.  බුදු පිළිම වහන්සේ 153 ක් , ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිම  හා දේවතා  දේවිතාවන්ගේ පිළිම 4ක්  මෙහි හමුවෙති. ඒ අතර විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. 


දඹුල්ල ලෙන් සංකීර්ණය අසබඩ ඉබ්බන්කටුව ප්‍රදේශයෙහි වසර 2700 කට වඩා පැරැණි (ක්‍රි.පූ 700) මානව ඇටසැකිලි සහිත සුසාන භූමි සොයාගෙන ඇති බැවින්, බුදු දහම ලංකාවට අවතීර්ණ වීමට පෙර මෙම ලෙන් සංකීර්ණ තුළ  ප්‍රාග්-ඓතිහාසික ශ්‍රී ලාංකිකයන් දිවි ගෙවූ බවට අනුමාන කළ හැක.

ඈත අතීතයකට හිමි කම් කියන මෙම විහාරය ශ්‍රී ලංකාවේ අතිශයින් චමත්කාරජනක ලෙන් විහාරයකි. සුවිසල් පර්වත තලයකින් ආවරණයවූ ලෙන් පහ ඇතුළත වියළි ව තබා ගැනීමට  ගලෙහි පිටත ඉහළ  මායිමෙහි කටාරම් කොටා ඇත. 1938 දී මෙම ගෘහ නිර්මාණය ආරුක්කුමය කුළුණු පෙලකින් හා දෙපලු වහලින් සැදි ඇතුළුවීම් දොරටු වලින් සකස් කරන ලදි. ලෙන අභ්‍යන්තරයෙහි සිවිලිම් සංකීර්ණ ආගමික රටාවන් උපයෝගී කොට ගනිමින් සිත්තම් කර ඇත්තේ පර්වත ශිඛරයෙහි හැඩය හා සමෝච්චය අනුව යමිනි.

දඹුල්ල ලෙන් සංඝාවාසය අදටත් කෘත්‍යාත්මකව පවතී. ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳින් සංරක්ෂිත පුරාතන ප්‍රාසාදය මෙයයි. මෙම සංකීර්ණය ක්‍රි.පූ 3 වන හා 2 වන සියවස් පමණ ඈත අතීතයෙහි දී අති දැවැන්ත හා ඉතා වැදගත් සංඝාවාසයක් ලෙස ස්ථාපනය කරන ලදි. වළගම්බා රජු විසින් ක්‍රි.පූ 1 වන සියවසෙහි දී ලෙන් සමූහය විහාරයක් බවට පරිවර්තනය කළ බව සාම්ප්‍රදායික විශ්වාසයයි. 



නිශ්ශංක මල්ල රජ වසර 1190 දී ලෙන් හි රන් ආලේපිත කොට බුදු පිළිම වහන්සේලා 70 නමක් පමණ එකතු කර ඇත. 18 වන සියවසෙහි දී, උඩරට රජවරුන් විසින් මෙම ලෙන් අළුත්වැඩියා කොට පින්තාරු කරවා ඇත.

පිළිම ගෙවල් බවට පරිවර්තනය කරන ලද ලෙන් පහකින්  විහාරය සමන්විත වේ. අනුරාධපුරය සහ පොළොන්නරුව යුග වල 150m  උසැති පර්වතයෙහි පාදමෙහි තනවා ඇති ලෙන්, ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙන බොහෝ ලෙන් විහාර අතුරින් අතිශය චමත්කාර ජනක ය. 

19km ක් ඔබ්බෙහි පිහිටි සීගිරිය පර්වත බලකොටුවෙහි හා අවට තැනිතලා භූමින් හී ද සිරි නරඹමින් දඹුල්ල පර්වතයෙහි මඳ බෑවුම තරණය කිරීමෙන් එහි ප්‍රවිෂ්ඨ විය හැක. සවස් කල වැහි ලිහිණි රෑන්  ලෙන් පිවිසුම් දොරටුව වෙත පියඹා එනු දැකිය හැක. විශාලතම ලෙන නැගෙනහිර සිට බටහිරට 52m ක් ද පිවිසුමෙහි සිට පසුපසට 23m ක්ද ලෙස විශාලත්වයක් දක්වන අතර මෙම මනස්කාන්ත ලෙන එහි මුදුන් තැනෙහි දී 7m ක පමණ උසක් දරයි.

 වළගම්බා රජු සහ නිශ්ශංක මල්ල  රජු සහ බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද තෙරණුවන්ට අමතරව හින්දු දෙවිවරුන් ද මෙහි පෙන්නුම් කර ඇත. රංගිරි දඹුල්ල රජමහ විහාරයේ ලෙන් විහාර කොටස 1991 වසරේ මෙය ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශට පත්කෙරිනි.

මූලාශ්‍ර 

www.slncu.lk

www.bosathhetak.lk

www.bbc.com

No comments:

Post a Comment

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...