Monday, May 2, 2022

ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල හා හලාවත මුන්නේශ්වරම් කෝවිල

 ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල 

මෙරට හින්දු ජනයාගේ සුප්‍රසිද්ධ පුද බිමක් ලෙස මෙම කෝනේෂ්වරම් කෝවිල හැදින්විය හැක. නැගෙනහිර පළාතේ පිහිටි මෙය  සම්භාව්‍ය මධ්‍යකාලීන හින්දු කෝවිලක්  ලෙස නම් දරා ඇත.  ශ්‍රී ලංකාවේ පංච ඊශ්වරම් කෝවිල් අතුරින් වඩාත් පූජනීය කෝවිල ලෙස සැලකෙන මෙය චෝලයන් හා පුරාණ පාණ්ඩ්‍ය රාජධානියේ පංච ද්‍රවිඩයන්ගේ පාලන සමයේ දී ඉදිකරන ලද බව පැවසේ. පල්ලව, චෝළ, පාණ්ඩ්‍ය සහ යාපනයේ ද්‍රවිඩ සම්භාව්‍ය ලක්ෂණ මෙම කෝවිලේ දැකිය හැකිය. 


ක්‍රි.පූ. 205 දී සංවර්ධනය කරන ලද මුල් කෝවිල් සැලැස්මට පසුව ප්‍රධාන කුලුනු දහසක් සහිත "අයිරාම් කාල් මන්ඩපම්"  ශාලාව සහ  සහ එලාර මනුනීදි චෝලන් රජු විසින් එක් කරන ලද "ජගති" වැනි ප්‍රධාන අංගයන් එක් විය. ගෘහ නිර්මාණ ශිල්පය අතින් ඉතාම පැරණි ශ්‍රේෂ්ඨ ගොඩනැගිල්ලක් ලෙස සැලකෙන කෝනේෂ්වරම් කෝවිල කළුගලින් ඉදිකර ඇති අතර මධ්‍යකාලින යුගයේ දී  රන් ආලේපිත ගෝපුරම් කුලුනු (කෝවිලට ප්‍රවිශ්ට වීමේ දොරටුව සහිත කුලුණු ) ඉදිකර තිබේ. දැවැන්ත ගෝපුරම් කුලුනක් සහිත ප්‍රධාන හින්දු සිද්ධස්ථාන තුනෙන් එකක් වන මෙය ලොව පුරා හින්දු බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ පුදබිමකි.

ක්‍රි. ව. 1622 සිට 1624 අතර කාලයේ  පෘතුගීසින් විසින් මෙය විනාශ කරන ලද අතර ඔවුන්ගේ බලකොටුව ඉදිකිරීම සඳහා යොදා ගත්තේ කෝවිල ඉදිකර තිබූ කළුගල්ය.

මහා භාරතය, රාමායණය සහ යල්පාන වෛපවමාලෙයි වැනි පුරාණ ග්‍රන්ථවල මෙම කෝවිල පිළිබඳ තොරතුරු සඳහන්වේ.  රාමායණය අනුව රාවණා රජු හා ඔහුගේ මව මෙම කොවිලේ ඇති ශිව ලිංගය වන්දනාමාන කර ඇතැයි සඳහන් ය. ස්වාමි කන්දේ ඇති විශාල පැල්ම රාවණාගේ ශක්තිය පෙන්නුම්කරන්නක් බවද එහි සඳහන් ය. කෝනේෂ්වරම් කෝවිලේ ඇති ශිව ලිංගය රාවණා විසින් කයිලාස කන්දේ සිට ගෙන එන ලද "ස්වයම්බු ලිංගම්" 69න් එකක් ලෙස  විශ්වාසයක් පවතී.

 හලාවත මුන්නේශ්වරම් කෝවිල


හලාවත ප්‍රදේශයේ පිහිටි මුන්නේශ්වරම් කෝවිල ශිව දෙවියන් වෙනුවෙන් කැප කර ඇති පංච ඊෂ්වරම් කෝවිල් පහෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති කෝවිලයි. 

 ක්‍රි. ව. 1000 වැනි කාලයේ ඉදිකර ඇතැයි සලකෙන මෙහි ප්‍රධාන ශිව කෝවිලට අමතරව ගණ දෙවි, අයියනායක සහ කාලි දෙවඟන වෙනුවෙන් කෝවිල්  හා දේවාල තුනකින් හා බෞද්ධ විහාරයකින් සමන්විතය. 19 වැනි සියවසින් පසු මෙම කෝවිල බෞද්ධ ජනතාව අතරද ප්‍රචලිත වූ අතර එහි ඇති කාලි කෝවිල බොහෝ බෞද්ධයන්ගේ ආකර්ශනය  දිනාගත් ස්ථානයක් බවට පත් ව තිබේ. අයියනායක දේවාලය හා බෞද්ධ විහාරස්ථානය හැර අනෙකුත් කෝවිල්වල පාලනය දෙමළ පවුල් කිහිපයක් මත පවතී.

ශිව දේවාලය ගෞරවනීය හා විශාලතම කෝවිල වන අතර එය හින්දු භක්තිකයන් අතර ජනප්‍රිය ය.

දෙමළ පුරාවෘත්තයකට අනුව මුන්නේෂ්වරම් කෝවිල පිහිටා ඇත්තේ අයෝධ්‍යාවේ  රාමා, ලංකාවේ රාවණා සමඟ කරන ලද යුද්ධයෙන් පසු දෙවියන්ට යාඥා කළ ස්ථානයේ යැයි පැවසේ. තවත් පුරාවෘත්තයකට අනුව කාලි දෙවඟන ඉන්දියාවේ සිට පැමිණ ලංකාවට ගොඩ බැස්ස ස්ථානය මුන්නේෂ්වරම් බව පැවසෙයි. සිංහල  පුරාවෘත්තයන්හි තවදුරටත් සඳහන් වන්නේ කාලි යක්ෂණිය මිනිසුන් අනුභව කළ බැවින් එය වැළැක්වීම සඳහා සිංහල දෙවඟනක වන පත්තිනි විසින් ඇයව මුන්නේෂ්වරමේ පදිංචි කිරීමට කටයුතු කළ බවයි. 

පුත්තලම් දිස්ත්‍රික්කයේ ඓතිහාසික දෙමළ පත්තුව නමින් හැඳින්වූ ප්‍රදේශයේ පිහිටා ඇති මිශ්‍ර සිංහල හා දෙමළ ජනගහනය සහිත ගම්මානයක් වන මුන්නේෂ්වරම්හි පිහිටි  මුන්නේෂ්වරම් කෝවිලේ ශිව දේවාලයට අවට ගම්මානවල ඉඩම් විශාල ප්‍රමාණයක් අයිති අතර එය කෝට්ටේ රාජධානියට අයත් ව තිබූ සමයේ සිට හිමි වූවකි. පෘතුගීසින් විසින් මෙම කෝවිල දෙවරක් විනාශ කරන ලදි. 

දේවාල අත්තිවාරම මත ජේසු නිකායිකයන් කතෝලික දේවස්ථානයක් ඉදි කළ ද පසුකාලීන ව එය ඉවත් කර ප්‍රදේශවාසීන් විසින් කෝවිල ප්‍රතිසංස්කරණය කරන ලදි. දෙමළ ජනයා අතර ඇති තවත් විශ්වාසයක් නම් මෙම කෝවිල ප්‍රතිසංස්කරණය කරන ලද්දේ සුප්‍රසිද්ධ චෝළ රජෙකු වන කුල්ලකෝටන් විසින් බවයි. සුව කළ නොහැකි සමේ රෝගයකින් පෙළුණු රජු නටබුන් වූ කෝවිලේ පොකුණෙන් ස්නානය කිරීමෙන් පසු සුවය ලැබීම නිසා. එය අලුත්වැඩියා කොට එය පවත්වාගෙන යෑම සඳහා කෝවිල්  භාරකරුවන් පිරිසක් පත්  කළ බවට ද සදහන් වේ. 


අදටත් දෙස් විදෙස් ජනයා මෙම කෝවිල් නැරඹීමට වන්දනාමාන කිරීමට පැමිණෙයි. ආගම් භේදයකින් තොරව සැවොම වන්දනා ගමන් , සංචාරයන් වලදී මෙම ස්ථාන වෙත පැමිණෙයි.

මෙම කෝවිල් ආශ්‍රිතව වෙළඳසැල් , කුඩා ආපනශාලා පවත්වා ගෙන යන පිරිස් බහුල ය. 

ත්‍රිකුණාමලය හලාවත ප්‍රදේශයන්හි සංචාරය කරන විට මෙම ස්ථාන මග නොහැර ගත යුතුය. 


මූලාශ්‍ර 

www.deshaya.lk

www.wiki.si-lk.nina.az

www.youtube.com

No comments:

Post a Comment

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...