Tuesday, November 16, 2021

කන්නෙලිය රක්ෂිත වනාන්තරය

                  


         දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළ ම වටිනාකමකින් යුක්ත වනාන්තරයක් ලෙස කන්නෙලිය රක්ෂිතය හදුන්වා දිය හැක. ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති කන්නෙලිය දෙදියගල නාකියාදෙණිය (KDN) සංකීර්ණයට අයත් ප්‍රධාන ම වනාන්තරය යි.  

           ඒකාකාරී ජීවන රටාවෙන් මිදී  සුන්දර නිස්කලංක පරිසරයක නිදහසේ සිසිලස, ස්වභාව සෞන්දර්ය අත් විදින්නට දෙස් විදෙස් සංචාරකයන් කන්නෙලිය තෝතැන්නක් බවට පත් කරගෙන ඇත.    

            පහතරට නිවර්තන වර්ෂා වනාන්තර ගණයට අයත් කන්නෙලියේ වාර්ෂික වර්ෂාපතනය  මි.මී 4445 ක් ද  මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය 27 C ක් ද , විශාලත්වයෙන් හෙක්ටයාර් 6144 පමණ වන බව දැක්විය හැක.

           ජෛව විවිධත්වය පිළිබඳ විශේෂ උනන්දුවක් අවධානයක් දක්වන බොහෝ පිරිසක් කන්නෙලිය වෙත් ආකර්ෂණය වී සිටී. කන්නෙලිය පිළිබඳ අතීත විත්ති දෙස බලන විට එය විජයබාහු රජ සමය දක්වා දිව යයි. විජයබාහු රජු සොළීන් සමග සටන් කළ ස්ථානයක් ලෙස කන්නෙලිය ප්‍රදේශය ජනප්‍රවාද ගත් ව ඇත. "කන්‍ය එළිය" යන්නෙන් බිදී කන්නෙලිය යන නාමය උපන් බව ද ජන මතයකි. තව ද වළගම්බා රජු මෙම ප්‍රදේශයේ සැගව සිටි බවත් එකල කුසගින්නේ සිටි කාන්තාවකට තම ආහාර වේල ලබා දී "කන්න ලිය" බව ප්‍රකාශ කළ හෙයින් කන්නෙලිය යන නාමය පටබැදුනු බවත් සදහන් ය.

            1934 ජූලි 06 වන දින අංක 8262 දරන ගැසට් පත්‍රය මගින් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශිත වූ කන්නෙලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ. 1990 මුල් භාගයේ මෙය සංරක්ෂිත වනාන්තරයක් බවට ද පත් විය. 2004 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානයේ "මිනිසා සහ ජෛව ගෝල"  වැඩසටහන යටතේ අන්‍තර්ජාතික මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් බවට පත් විය.


            කදු හා නිම්න වලින් හෙබි කන්නෙලිය මීටර් 60-425 උච්චත්වයකින් යුතු අතර ම ඉහළ ජෛව විවිධත්වයක් ද දැක ගත හැක.

            කුඩා ප්‍රදේශයක හමුවන වැඩි ම ජෛව විවිධත්වය හා    එනිසා ම ජෛව විද්‍යාත්මක උණුසුම් කලාප හෙවත්  Bio Diversity Hot Spot ලෙස ද කන්නෙලිය ප්‍රකට වේ. මෙහි ප්‍රාථමික වනාන්තරය සුලු වශයෙන් පවතින අතර අලුතින් වැඩුණු ශාක වලින් යුත් ද්වීයිතික වනාන්තරය බහුල ව දැක ගත හැක. 

           මෙයට හේතු සාධක වී ඇත්තේ  1960-1970 අග වන තුරු තුනී ලෑලී සංස්ථාවේ ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලී නිෂ්පාදනය සදහා දැව ලබා ගැනීමට දැඩි ලෙස මේ තුළ පැවති ශාඛ කපා විනාශ කිරීමයි.


           ඒ සදහා සකස් කරන ලද තාර දැමූ මාර්ග , ඉදිකර ඇති ගොඩනැගිලි වනාන්තරය තුළ අදටත් දැක ගත් හැක. වන විනාශය නැවතීමෙන් පසු වනය ඝනව වැඩී ඇති අතර වන විනාශයක් සිදු වූ බවට  අද වන විට කිසිදු සලකුණක් නොමැත.

          සිංහරාජ වනාන්තරයෙන් පසු විශාල ම ජෛව විවිධත්වයක්  හිමි වන්නේ කන්නෙලිය වන රක්ෂිතයටයි. එමෙන් ම කන්නෙලිය සිංහරාජයෙන් ම බිහි වූ එහි ම කොටසක් බවටද මතිමතාන්තර පවතී.


             කන්නෙලිය වනාන්තරයේ ශාක විශේෂ 301 පමණ පවතින බවට දත්ත වාර්තා පවතී. මෙම ශාක විශේෂ අතරට ශාක , පදුරු හා පැළෑටි අයත් වන අතර ඉන් 25% ක් ම ශ්‍රී ලංකාව ට ආවේණික  වේ. මෙම ශාක විශේෂ අතුරින් විශේෂ 26 ක් මෙරටින් වදවී යාමේ තර්ජනයට ලක් ව තිබේ. 

           මෙරට තෙත් කලාපීය වනාන්තර අතුරින් ඉහළ ම ආවේණික කාෂ්ඨීය ශාක විශේෂ  ප්‍රතිශතයක් කන්නෙලිය වනාන්තරය තුළින් මුණ ගැසේ.

           කන්නෙලිය වනාන්තරයේ ප්‍රමුඛ ශාක කුලය "හොර" ශාක ය වන අතර තව ද නා , දුන් , ඇටඹ , කීන , කැකුණ , බදුල්ල , රං දෝතලු , දොරණ , බෙරලිය දුන් , හොඳ බෙරලිය , තිනිය , දියපර , ආරිද්ද , මඩොල් ආදී ශාක ද බහුල ව දැකිය හැකිය.


            ලෝකයේ ම එක් මැන්ඩෝරා විශේෂයක් දක්නට ලැබෙන්නේ  කන්නෙලිය රක්ෂිතයේ ම පමණි. මෙම වනාන්තරය තුළ ඖෂධ ශාක වර්ග රාශියක් ද හදුනා ගත හැක. ඒ අතර රසකිඳ , වෙනිවැල් , හාතවාරිය , එනසාල් , කුඩා හැඩයා , මහා හැඩයා , සත්සඳ , වනරාජ , ඉරුරාජ , කොකුම් , දුම්මල වැනි ශාක මුල් තැනක් උසුලයි. 

           කන්නෙලිය වැසි වනාන්තරය තුළ ඉහළ මට්ටමේ සත්ත්ව විවිධත්වයක් ද දක්නට ලැබේ. පක්ෂී විශේෂ 120 පමණ දැනට හදුනා ගෙන ඇති අතර ලංකාව ට ආවේණික පක්ෂී වර්ග  23 න්  14 ක් ම මෙම කන්නෙලිය වනාන්තර පරිශ්‍රය තුළ නිරීක්ෂණය කර ගත හැක. බට ඇටිකුකුළා , කැහිබෙල්ලා , වලි කුකුළා , දෙමළිච්චා , හබන් කුකුළා , අළුගිරවා , වත රතු මල් කොහා , ලංකා සැලලිහිණියා වැනි දුර්ලභ පක්ෂී සමූහයක් මෙම වනාන්තරය ආශිත ව දක්නට හැකි වේ.


             තව ද මෙම වනාන්තරය තුළ ක්ෂීරපායි විශේෂ 20 පමණ ජීවත් වෙයි.  කළු වදුරා , මීමින්නා , රත් උණහපුළුවා , රන් හෝතඹුවා , ගෝනා , කබල්ලෑවා , බටු ලේනා ,දම් මුහුණැති  කොළ වදුරා ඒ අතර ප්‍රමුඛ  වේ. මෙහි වාසය කරන විශාල ම ශාක භක්ෂක සත්ත්ව විශේෂය  ලෙස "ගෝනා" ද විශාල ම මාංශ භක්ෂක සත්ත්ව විශේෂය ලෙස "දිවියා" ද වාර්තා වී ඇත.


              රක්ෂිතය තුළ  උභය ජීවී කාණ්ඩ 19 හදුනා ගෙන ඇත. ඉන් වර්ග 14 ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වූ උභය ජීවී විශේෂ වේ. මේ අතරින් රුක් මැඩියන් , මොට හොඹු මැඩියා , කුරු ගෙම්බා , ගල්පර මැඩියා , ලබුගම පදුරු මැඩියා ප්‍රධාන වශයෙන් හදුනා ගත හැක. මීට අමතරව ශ්‍රී ලංකාව ට ආවේණික උරග විශේෂ ගණනාවක් ද හමුවේ. ශ්‍රී ලංකාව තුළ හමුවන විශාලත ම සර්පයා වන ඉන්දියානු පිඹුරා , මූදු කරවලා , පලා පොළගා , මල් කරවලා , පුල්ලි දත් කැටියා , දෙපත් නයා , කබර දත් කැටියා ඇතුළු උරග විශේෂ 50 ක් පමණ හදුනා ගත හැක. තව ද රළු අං කටුස්සා , ගැටහොඹු කටුස්සා , පිනම් කටුස්සා , බෝදිලිමා වැනි කටුසු  විශේෂ රාශියක් ද මෙම වනාන්තරය වාස භූමි කරගෙන ඇත. කන්නෙලිය සමනලුන්ගේ ද සුන්දර පාරාදීසයකි. කැලෑ නිලයා , පසිරි කඩුවා , මහා සේලරුවා වැනි දුර්ලභ සමනලුන් ද ඇතුළු ව සමනල විශේෂ 53 පමක් මෙහිදී  දක්නට ලැබේ.


               කන්නෙලිය රක්ෂිත වනාන්තරය නිල්වලා ගංගාව සහ ගිං ගංගාව සදහා ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ක්‍රියා කරයි. වනාන්තරය තුළින් ආරම්භ වන දිය දහරා විශාල ප්‍රමාණයක් පවතින බැවින් ජල විද්‍යාත්මක දකුණු ලංකාවේ ප්‍රථම ස්ථානය  ද කන්නෙලියට හිමි වී ඇත. මෙම රක්ෂිතය තුළ පවත්නා ජලය ඝනත්වයෙන් බොහෝ ඉහළ බව ද එහෙයින් ම කන්නෙලිය ට ආවේණික දුර්ලභ මත්ස්‍ය විශේෂ කිහිපයක් ද කන්නෙලිය තුළ දී හමුවේ.  ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 80 අතරින් විශේෂ 38 ක් ම කන්නෙලියෙන් වාර්තා වේ.  බුලත් හපයා , ලේ තිත්තයා , තල් කොස්සා , වැලි ගොව්වා , ගල් පාඩි , හීත මස්සා  වැනි දුර්ලභ මත්ස්‍ය විශේෂ ද  මෙහිදී හදුනා ගත හැක.  මෙම මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීමේ අරමුණ නිසා ම සංචාරකයන් ට කන්නෙලිය තුළ අභ්‍යන්තර දිය ඇළි වල  ස්නානය ද තහනම් කර ඇත.


            

 කන්නෙලිය රක්ෂිතය තුළ සංචාරය කරන්නන් හට ස්වභාවික මං පෙත් කිහිපයක් ම නිර්මිත ව ඇත. 


 එනම්,

  •    ගුහාව  (වවුල් ලෙන) 
  •    අනගිමල ඇල්ල 
  •    යෝධ පුස් වැල                                            
  •    යෝධ නවද ගස 
  •    නාරං ගස් ඇල්ල 
  •    කබ්බලේ කන්ද            යන මං පෙත් හමුවේ.

            සංචාරකයන්ගේ පහසුව උදෙසා සෑම කණ්ඩායමකට ම මාර්ගෝපදේශකයෙකු ලබා දෙයි. ඔහු ගමන අතර මග බොහෝ  තොරතුරු හා  දැනුම සංචාරකයන් ට ලබා දෙයි. සංචාරක පහසුව පතා නිරීක්ෂණ අට්ටාල හා ගිමන් හරින ස්ථාන ද ලබා දී ඇත.

                  සංචාරය අතර තුර මත් ද්‍රව්‍ය දුම් වැටි භාවිතය තහනම් වන අතර කිසිදු ද්‍රව්‍යයක් වනාන්තරය තුළ බැහැර නොකළ යුතු ය. වනාන්තරය තුළ කිසිදු දිය ඇල්ලක බැසීම ස්නානාය කිරීම තහනම් වේ. චායාරූප ලබා ගැනීමට සංචාරකයන් ට අවස්ථාව පවතී. මතු පරපුර වෙනුවෙන් මෙවන් සුන්දර ස්ථාන සංරක්ෂණය උදෙසා පිය සටහන් පමණක් ඉතිරි කර ඒමට සංචාරකයන් වගබලා ගත යුතු ය.

                මූලාශ්‍ර :           සේනාරත්න පී. එම්. (2005) ශ්‍රී ලංකාවේ වනාන්තර ( පළමු සංස්කරණය ) සරසවි ප්‍රකාශකයෝ

                                         කන්නෙලිය රක්ෂිත වනාන්තරය , විද්‍යා ගවේෂණ , ටෙරන්ස් කහපොළ ආරච්චි

10 comments:

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...