ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර ස්ථානයකි හික්කඩුව. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට මෙය අයත් වේ. ගාලු නගරයේ සිට වයඹ දිශාවට කිලෝ මීටර 20ක් පමණ දුරින් කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගය ආසන්නව ගාල්ලට සමීපව පිහිටා ඇත. හික්කඩුව මෙරට මූලික සංචාරක පුරවරයන් අතර දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත.
එහි සංචාරකයන් ට විනෝදාස්වාදය, ත්‍රාස ජනක අත්දැකීම් , ස්වභාව සෞන්දර්ය ආදී බොහෝමයක් අත්දැකීම් ආශ්වාද ලබා ගත හැක. දියමත ලිස්සා යෑමට, කිමිදීමට, කැස්බෑවන් නැරඹීමට , කොරල් පර නැරඹීමට , සුව පහසුව නවාතැන් ගෙන නිස්කලංක ව ගත කිරීමට මෙන්ම හිරු රැස් විඳීමට ද පහසුකම් සපයා දී ඇත.
මුහුදු පතුල නැරඹිය හැකි ආකාරයට බෝට්ටු පතුළ වීදුරු ආවරණය සහිතව සකස් කර ඇති යාත්‍රාවකින් ගමන් කිරීමෙන් හික්කඩුව ජාතික උද්‍යානයේ සුන්දරත්වය පියවි ඇසින් නැරඹිමේ අපූර්ව වූ අවස්ථාව සංචාරකයන්ට උදා වේ. කොරල් ව්‍යාප්තිය ගත් කල හික්කඩුව, පරෙවි දූපත වැනි සමුද්‍රීය වනජීවීරක්ෂිතවලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි.
හික්කඩුව ප්‍රදේශය ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට හේතු වන සාධක අතර ,හික්කඩුව සමුද්‍රීය උද්‍යානය
කැස්බෑ සංරක්ෂණය
නොගැඹුරු වෙරළ
සුව පහසු හෝටල් පහසුකම් වෙරළ රළ ආශ්‍රිත ක්‍රීඩා
ආදිය දැක්විය හැක.
හික්කඩුව සමුද්‍රීය උද්‍යානය , මෙම කොරල් උද්‍යානය නිසාම හික්කඩුව දකුණු පළාතේ දෙවනි සංචාරක පුරවරය බවට පත්ව ඇත. අලංකාර කොරල් සම්පතකින් යුත් නොගැඹුරු වෙරළ තීරය සංචාරක පාරාදීසයකි. මෙහි සංචාරක හෝටල් ඇතුලු සංචාරක පහසුකම් ඉතා හොදින් දියුණුව පවත්වා ඇත.
කොරල් යනු ආරක්ෂිත ජීවීන් කොටසකි. මෙ පිළිබඳ වගකීම වනජීවී සංරක්ෂණ දේපාර්තමේන්තුවට පැවරී ඇත. ඔවුන් පළමුව මෙය 1979 සමුද්‍රීය අභය භූමියක් බවට පත්කර ඇත. හික්කඩුව ගල් මල් උයනේ ආරක්ෂාව පිණිස 1998 දී මෙය ස්වභාව රක්ෂිතයක් දක්වා නීතියෙන් උසස් කරන ලදි. පසුව 2002 දී හික්කඩුව, ශ්‍රී ලංකාවේ 16 වෙනි ජාතික උද්‍යානය බවට පත්කළේ අක්කර 254ක භූමි ප්‍රදේශයක් මීට එක් කරමිනි. වෙරළේ කි.මී.1.5ක් පමණ උද්‍යානයට අයත්ව පවතී. ශ්‍රී ලංකාවේ පූර්ණ සමුද්‍රීය උද්‍යානය ද හික්කඩුව වේ.
මුහුදු තෘණ, ඇල්ගී වර්ග, මෙහි බහුල ව දක්නට ලැබෙන අතර, හික්ඩුවේ දී හමුවන ගැටිපර ආකාරයේ කොරල්පරයේ ගණ 31කට අයත් කොරල් විශේෂ 60 ක් වාර්තා වී තිබේ. ගෝන අං, මුව අං, ගෝවා හැඩැති, මොළ හැඩැති, මේඝ ආකාර, තාරකා ආකාර යනාදී වශයෙන් මෙහි විවිධ හැඩැති කොරල් ආකාර රැසක් පවතී.
කොරල්පර ආශ්‍රීතව දක්නට ලැබෙන ප්‍රධානතම සත්ත්ව කාණ්ඩය මත්ස්‍යයන් ය. වර්ග 48 කට අයත් මත්ස්‍ය විශේෂ 113 ක් මෙහි වෙසෙන බවට හදුනා ගෙන ඇත. කකුළුවන්, ඉස්සන්, පොකිරිස්සන්, බෙල්ලන්, මුහුදු පණුවන්, මුහුදු කැකිරි, ඉකිරි, වැනි සතුන් ද සුලභ ව දැකිය හැක. කොළඹ කැස්බෑවා, පොතු කැසුබෑවා වැනි විශේෂ දුර්ලභ සතුන් ද හික්කඩුවේ දී හමුවේ.
සාමාන්‍ය ව්‍යවහාරයේ දී කොරල් පර , ගල්මල් ලෙස ද හදුන්වයි. උණුසුම් සාගර ප්‍රදේශ වල , ඝර්ම කලාපීය ප්‍රදේශ වල විශාල ලෙස කොර්‍ල් විසිරී තිබේ. ශ්‍රි ලංකාවේ පවත්නා ස්ථාන අතර විශාල වශයෙන් කොරල් පර දක්නට ලැබෙන්නේ සිමීත ස්ථාන කිහිපයක පමණි. හික්කඩුව , පොල්හේන, වැලිගම, අකුරල ආදි ප්‍රදේශ මීට අයත් වේ.
කොරල් පරයක් සෑදී ඇත්තේ නයිඩේරියා (enidaria) වංශයේ ඇන්තසෝවා (Anthozoa) වර්ගයේ බුහුබාවන්ගෙන් හෙවත් පොලිප් ජිවින්ගෙන් ය. මෙම බුහුබාවන් නිපදවන බහිස්‍රාවීය ද්‍රව්‍යයක් වන ( NH3 ) ජලයේ ඇති CO2 සමග ප්‍රතික්‍රියා කර (NH4)2CO2 සාදයි. මෙම ඇමෝනියම් කාබනේට් මුහුදු ජලයේ ඇති කැල්සියම් අණු Ca සමග ප්‍රතික්‍රියා කර කැල්සියම් කාබනේට් CaCO3 සාදයි. මෙම CaCO3 වලින් සැදුණු කොප්පයක් වැනි සැකිල්ලක් ජිවි බුහුබාවා වටා නිර්මාණය වේ.
මෙසේ ජිවින් දස ලක්ෂ ගණනක් එකතු වී කොරල් පරයක් සැදිම සිදු වේ. මෙම කොරල් මෘදු කොරල් හා දෘඩ කොරල් ලෙස දෙවර්ගයකි. එසේම කොරල් පර ප්‍රධාන වශයෙන් ගැටි පර (Fringing reef) , බාධක පර (Barier Reef) හා අතොලු පර (Atolls Reef) ලෙස වර්ග කළ හැක. හික්කඩුවේ ගැටි පර 31 ට අයත් කොරල් විශේෂ 60 ක් පමණ පවතී.
සාමාන්‍යයෙන් කොරල් පරයක් මාසයකට සෙන්ටි මීටරයක් පමණ වර්ධනය වේ. මෙරට පිහිටි සුන්දරම ගල්මල් උයන හික්කඩුවේ වාල් දුපත හා ගොඩබිම මුහුදු තීරයේ දක්නට ලැබේ. හික්කඩු කොරලපරයේ විශාලත්වය හෙක්ටයාර 1010 කි. මෙය කිලෝම්ටර් 4ක් පමණ ප්‍රමාණයක් දුරට මුහුදු තීරය දිගේ පැතිර පවතී. 1979 මැයි මස 18 දින හික්කඩුව අශ්‍රිත කොරල් පරය ශ්‍රි ලංකාවේ ප්‍රථම සමුද්‍රිය අභය භුමීය ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. තව දුරටත් මෙම ප්‍රදේශය සංරක්ශණය කරන අරමුණින් 1998 අගොස්තු 14 වන දින වඩාත් පුළුල් ප්‍රදේශයක් ඇතුළත් ව ස්වාභවික රක්ෂිතයක් ලෙස ද වනජීවී දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කිරිමට ද , 2002 සැප්තැමිබර් 19 වන දින ජාතික උද්‍යනායක් බවට පත් කිරිම ද සිදු විය.
ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන අතරින් සමුද්‍ර ජීවීන් සහිත පරිසර පද්ධතියක් නැරඹිය හැකි එකම ජාතික උද්‍යානය මෙය වේ. හික්කඩු කොරල් පරය ජෛව විවිධත්වයෙන් පිරුණු ඉතා වැදගත් පරිසර පද්ධතියකි.
මෙහි විවිධ මුහුදු ශාක වර්ග ගණනාවක් දක්නට ලැබෙන අතර ඒවා අතර විවිධ මුහුදු තෘණ වර්ග ද හැලිමෙඩා , කොලෙර්පා, උල්වා හා පැඩීනා වැනි ඇල්ගි ශාක ද දක්නට ලැබේ. මෙම පරිසර පද්ධතියේ මත්ස්‍ය විශේෂ 113 පමණ වාර්තා වන අතර එම විශේෂ අතර ඉරිරත්නා, රත්නා, පනාවා, තාරකා මාළුවා, රැවුල්කාරයා, යන මත්ස්‍යයන් විශේෂයෙන් කැපි පෙනවා මෙම මත්ස්‍යයන්ට අමතරව කකුළුවන්, කැස්බැවන්, ඉස්සන් , පොකිරිස්සන්, බෙල්ලන් හා මුහුදු පණුවන් වැනි සතුන්ද දැකිය හැක.
හික්කඩුව කොරල් පරය නිසා එම ප්‍රදේශයට විශාල දෙස් විදෙස් සංචාරක ආකර්ශනයක් ලැබි ඇත. මේ නිසා විශාල විදේශ විනිමයක් ගලා එනු ලැබේ. මෙම කොරල් පරය නිසා ඒ අවට ප්‍රදේශයේ වෙරළ ඛාදනය බොහෝ අවම වි ඇත. සාමාන්‍යයෙන් වැඩුණු කොරල් පරයක් වර්ග කිලෝමිටර එකක ප්‍රදේශයකින් වාර්ශික මත්ස්‍ය අස්වැන්න ටොන් 15 පමණ ධිවරයන්ට ලබා ගැනීමට හැකියාව තිබේ.
හික්කඩුව අවට ධීවරයන්ට තම ජිවිකාව ගෙන යාමට මෙම කොරල් පරය බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. කොරල්පර යනු ඉතා සංවේදි පරිසර පද්ධතියකි. මේ නිසා මෙවැනි පරිසර පද්ධති ආරක්ෂා කර ගත යුතු ය.
හික්කඩුව නගරයේ විශාල හෝටල් ව්‍යාප්තියක් දැකිය හැක. ශ්‍රී ලංකාව තුළ සංචාරකයන් හට නවාතැන් පහසුකම් ආදිය මනා ව සකස් කොට ඇත. ඇතැම් තරු හෝටල් යුරෝපීය තාරකා හෝටල් මට්ටමට ම සමානය.
හික්කඩුවේ කාලගුණය තුළ උණුසුම්, සීතල දවස් බහුල වේ. ඔක්තෝබර් මස මුල සිට මාර්තු මස දක්වා සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිමීටර් 25-30 අතර වෙනස් වේ. හික්කඩුවේ වෙරළ තීරයේ වෙරළට යාමට හොඳම වේලාව සූර්යයා ඉක්මවීමට පැයක් පමණ ගත වූ පසුවය. එවිට නිශ්ශබ්දතාවයක් පවතින අතර, සාගරයේ නැවුම්බවෙන් වාතය සංතෘප්ත වී ඇත.
හික්කඩුව ජාතික උද්‍යානය තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙන සංරක්ෂණ මධ්‍යස්ථානය ලංකාවේ පළමු සහ එකම ආදර්ශ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය වේ. එකම නිත්‍යානුකුල මධ්‍යස්ථානය හික්කඩුව බව තොරතුරු වලින් හෙළිවේ.
ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්වෙමින් යන සත්ව විශේෂ අතරින් රතු දත්ත ලේඛනයට ද ඇතුලත්ව සිටින කැස්බෑවන් සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳවී යෑමේ තර්ජනයට දැඩිව මුහුණ පා සිටින සත්ව විශේෂයකි.
එවැනි සාගර කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වන මධ්‍යස්ථානයක් වේ. ලොව සාගරවාසී කැස්බෑ විශේෂ 7න්, විශේෂ 5 ක් ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරය වෙත ඇදී ඒම සිදු වේ.
එසේ ලංකාව තුල දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් වන,
බටු කැස්බෑවා (Olive ridley turtle)
ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead)
ගල් කැස්බෑවා (Green turtle)
පොතු කැස්බෑවා (Hawksbill turtle)
දාර කැස්බෑවා (Leatherback turtle)
යන කැස්බෑවන් දකුණු වෙරළ තිරයේ දී දක්නට ලැබේ .
එසේ කැස්බෑවන් දකුණු වෙරළ තිරයේ දී නිරන්තරයෙන් දක්නට ඇති ප්‍රදේශ අතර හික්කඩුව , මිරිස්ස, වැලිගම , හබරාදුව , හම්බන්තොට , අංගොඩ , රැකව ,බුන්දල යන ප්‍රදේශයන් පෙන්වා දිය හැකි ය. එම ප්‍රදේශ පදනම් කරගනිමින් මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයන් ද පවත්වාගෙන යනු ලබයි.
නිවාඩු දිනවල හික්කඩුවේ රසවත් දේවල් දැක ගත හැකි ය. දේශීය ආකර්ෂණ ලැයිස්තුවට එක්වූ දැවැන්ත කැස්බෑවන් බොහෝ හීලෑ වී ඇත. කැස්බෑවන් මිනිසුන් අතින් ආහාර ගන්නට පුරුදු වී සිටියි. විශේෂයෙන් ම සංචාරකයින්ට ජලය හිඳ සාර්ථකව පිහිනීමට හික්කඩුව නොගැඹුරු මුහුදු තීරය වැදගත් වේ. නමුත් එය කෙටි කාලීන ය.
සංචාරය සදහා පැමිණෙන පුද්ගලයන් මෙම ස්ථානයේ සුන්දරත්වය අලංකාරය රසවිඳ මෙම පරිසරයට කසළ ආදිය බැහැර කරමින් පරිසර විනාශයට ද හේතු සකස් කිරීම කනගාටුවට කරුණකි. වෙරළ තීරය ආශ්‍රිතව බිත්තර දැමීමට පැමිණෙන කැස්බෑවන් එම කසළ ආහාරයට ගෙන මිය යයි. මුහුදු ට බැහැර කරන කසළ ආහාරයට ගෙන කැස්බෑවන් පමණක් නොව මත්ස්‍යයන් අනෙක් සාගර ජීවින් ද විනාශ වීම සිදු වේ.
සංචාරකයන් ගමන් ගන්නා බෝට්ටු වල ඉන්ධන ආදිය මිශ්‍ර වීමෙන් , බෝට්ටු පතුල වැදීමෙන් ආදිය මගින් කොරල් පර අජීවී තත්ත්වයට පත් වීම සිදු වේ. සංචාරක කර්මාන්තය තුළින් රටට විදේශ විනිමය ගලා එන්නා සේ ම රටේ පවත්නා සම්පත් වලට මෙරට සංස්කෘතික වටිනාකම් වලට ඉන් සිදු වන හානි ද සුළු පටු නොවෙන බව ද පසක් කළ යුතුම ය.
නරඹන්නන් සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය අංගයකි හික්කඩුවේ ආයුර්වේද සම්බාහනය. මේ අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ හික්කඩුව සංචාරක කලාපය දේශීය මෙන් ම විදේශීය වශයෙන් බොහෝ ජනප්‍රිය ආකර්ෂණීය සුන්දර ස්ථානයක් වන බවත් ස්වභාව සෞන්දර්ය අතින් ඉහළ වටිනාකමකින් යුත් අනාගතය උදෙසා ආරක්ෂා කර ගත යුතු මනරම් භූමියක් බව සිහි කොට කටයුතු කළ යුතු ය.
දේශීය සංචාරකයන් ලෙස සැරිසරන විට නරඹන රසවිඳින ස්ථාන අනෙකුත් පුද්ගලයන් ට ද දැක බලා ගැනීමට මතු පරපුර උදෙසා සංරක්ෂණ කර ගැනීමට ආත්මීය ව සිතා ගන්නේ නම් සුන්දර ස්ථාන මතුවටත් ආරක්ෂිත ව පවතිනු ඇත. විදේශීය සංචාරකයන් ට මග පෙන්වන්නන් ලෙස කටයුතු කරන පුද්ගලයන් හා නවාතැන් හෝටල් හරහා ද පරිසරය සුරැකීම පිළිබඳ ඔවුන්ට උපදේශනය කළ යුතු ය.
❤️❤️
ReplyDelete