හුම්මානය
දකුණු වෙරළ තීරයේ පිහිටි ස්වභාව ධර්මයාගේ තවත් අපුරු නිර්මාණයක් පිළිබඳ තතු අනාවරණය කිරීමටයි මගේ බලාපොරොත්තුව."හුම්මානය"බොහෝ සංචාරකයන් සොයා එන ස්ථානයකි. ලෝකයේ හමුවන පුදුම සහගත ස්ථාන අතර හුම්මානයට ද විශේෂත්වයක් ඇත.
මෙය දකුණේ ගැමි බස් වහරේ "කරිජ්ජමාලාව ” ලෙස ද හදුන්වනු ලබයි. මාතර – හම්බන්තොට මාර්ගයේ නාකුළුගමුව , කුඩා වැල්ල , ( වැලි කැලේ) වෙරළ තීරයේ කදු ගැටයක් මත මෙම අපුරු ස්ථානය පිහිටා ඇත.
ගැමි අදහස නම් මුහුදු රැල්ලේ වේගය, පීඩනය මත ජල පහර ගල් බිත්තියේ හැපී ඉහළ එසවෙන බවයි. එය එක දිගට වදින ශබ්දය “ හුම්” ලෙස පිට වේ. හුම්-ගාන යන අර්ථයෙන් "හුම්මානය" නම පට බැදී ඇති බව කිය වේ. ලෝකයේ රටවල හුම්මාන හයක් පවතින බවට හදුනා ගෙන ඇත. ඒ අතරින් විශාලත්වයෙන් දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ මෙම හුම්මානය බවට වාර්තා වේ.
වසරේ ප්‍රධාන සෘතු රටාවක් දෙකක් දැකිය හැක. හුම්මානයේ ජලය ඉහළ නගින අවස්ථාව ක්‍රියාකාරී සෘතුවයි. හුම්මානය ක්‍රියාකාරී නොවන විට එය හුම්මානයේ නිහඩ සෘතුවයි. මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම් සමයේ මුහුදු රළ වේගවත් වීමත් සමග හුම්මානයේ ක්‍රියාකාරීත්වය ඉහල යයි.
වසරේ මෙම ක්‍රියාකාරී ව පවතින කාල සීමාව තුළ ඉතා ඉහළ ට ජල මලක් ලෙස විහිදී යන ආකාරය දක්නට ලැබේ. මෙය පුර පසළොස්වක පොහෝ දින වල අලංකාර දර්ශනයක් වන බව සදහන් වේ. හුම්මානයේ නිහඩ කාල සීමාව ඔක්තෝම්බර් සිට මාර්තු දක්වා වේ. එම කාලය තුළ ඊසාන දිග මෝසම් හා අන්තර් මෝසම් ක්‍රියාත්මක වූවද ඉන් පැහැදිලි බලපෑමක් ඇති නොවේ. එම කාලය තුළ පැයකට වාර 10 පමණ මදක් ඉහළට ජල ධාරාව පැන නගී.
හුම්මානය අසල කෑ ගැසීම, හූ කීම, හුම් හඩට සමාන ශබ්ද නැගීම, අත්පුඩි ගැසීම මගින් හුම්මානයේ ජල දහරේ ක්‍රියාකාරීත්වය තව තවත් ඉහළ නගින බවට ගැමි මතයක් පවතී.
ශ්‍රී ලංකාවේ හුම්මාන 02 ක් පිහිටා තිබේ. ඒ අතරින් එකක් ගාල්ලේ උණවටුන වෙරළ තීරයේ ත්, අනෙක හම්බන්තොට කුඩාවැල්ල වෙරළ තීරයේ ත් පිහිටා තිබේ.මේ අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ ද තංගල්ල කුඩාවැල්ල මුහුදු තීරයට යාබ ව පිහිටි මෙම හුම්මානයටයි.
සුන්දරත්වය මෙන් ම මෙහි එක්තරා භයානකත්වයක් ද පවතී. හුම්මානය නැරඹීමට පැමිණෙන තරුණ වයස් වල පුද්ගලයන් හුම්මානය මුහුණතේ සිට තරමක් පහළට බැස එය නරඹන්නට යාමේ දී ඉන් පතුලට ඇද වැටීම සිදු වේ. හුම්මානය අසල දී සිදු වූ බොහොමයක් ජීවිත හානි සිදුවී ඇත්තේ මෙලෙස නොසැලකිලිමත් ලෙස ගල්තලාවෙන් පහළට බැස නැරඹීමට යෑම හරහා ය. මෙම තත්ත්වය මග හරවා පාලනය කර සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂිත අත් වැටක් ද වර්තමානයේ ස්ථාපිත ව ඇත.
"ගොඩබිම දෙසින් පිහිටි විශාල පාෂාණ දෙකකට මැදිව පිහිටි කපොල්ලක් තුළින් ඉහළ පීඩනයත් සමඟ අඩි 100-150 ක් තරම් ඉහළට වතුර මලක් ආකාරයෙන් විහිදී යන අවස්ථාවන් ද දැකිය හැක."
"මෙය පිහිටා ඇත්තේ තද පාෂාණ ස්‌ථරයේ මුහුදු මට්‌ටමේ ඇති කවාකාර ගුහාව තුළට දෙපැත්තකින් පැමිණෙන මුහුදු ජල තරංග එකට එකතුවී ඒ තුළට වේගයෙන් ගලායැම නිසා ඇතුළත හටගන්නා පීඩනය මගින් ජලය ඉහළට එසවී නිසාය." හුම්මානයේ මෙම ක්‍රියාවලිය වර්තමානයේ ස්වභාවික පාෂාණ ඛාදනයත් සමග අතීතයට වඩා තරමක් ක්‍රියාකාරී බවින් අඩු වී ඇත.
හුම්මානයේ මෙම කරදිය වතුර මල සැම විටම දැකිය නොහැකිය. එක් වරක් වතුර මලක් ලෙස විහිදී ගිය පසු එය නැවත ක්‍රියාත්මක වීමට විනාඩි කිහිපයක් ගත වෙයි. එලෙස ඉහළ නගින ජල බිදිති වලට හිරු එළිය පතිත වීම නිසා දේදුනු පැහැයෙන් යුත් පෙණ කැටි ලෙස දිස් වේ.
හුම්මානය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් නිරන්තරයෙන් පිරී පවතින ස්ථානයක් වේ. මෙවන් හුම්මාන විද්‍යාත්මක පිහිටීමක් සහිත ඉතා විරළ ගනයේ භූ රූපයන් වේ. මෙම හුම්මානයට පිවිසීමට ඇත්තේ කුඩා වැල්ල ධීවර ගම්මානය මධ්‍යයෙනි. සංචාරකයන් සදහා වාහන නැවතුම් පහසුකම් මෙන් ම මග දෙපස කුඩා ධීවර නිෂ්පාදන වෙළඳසැල් ද ස්ථාපිත ව ඇත.
මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන සංචාරකයන් ලෙස ස්වභාවික පර්සර පද්ධතියේ සුන්දරත්වයට හානි නොකරමින් පරිසරය පවිත්‍ර ව තබා ගනිමින් ජීවිත ද සුරක්ෂිත කර ගෙන පිටව යන්නට වග බලා ගන්නේ නම් රටේ මානව සම්පතේ අගය මනා ව පිළිබිඹු වේ.
මූලාශ්‍ර:
southernbest.blogpost.com
https://www.gamana.lk
https://www.e-thaksalawa.mov.gov.lk
https://m.facebook.com
No comments:
Post a Comment