පොසොන් පුර පසලොස්වක පොහෝ දිනට මෙරට දේශීය බෞද්ධ ජනයා වැල නොකැඩී ඇදී යන්නේ අනුරාධපුර මිහින්තලය වෙතයි. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රථමයෙන් වැඩම කළ ස්ථානය ලෙස මිහින්තලය ප්‍රසිද්ධ වේ. දේශීය සංචාරකයන් මිහින්තලයට පැමිණිමේ ඉහළ ප්‍රතිශතයක් දැකගත හැකි වන්නේ පොසොන් සමයට ය. මෙහි පවතින ඓතිතිහාසික විශ්වීය අගය නිසා අන්තර්ජාතික තලයේ සංචාරකයන් අතර ද මිහින්තලය ප්‍රචලිත වී ඇත.
මිහින්තලය පුද බිම වරක් හෝ වැඳපුදා ගන්න ආගමික අතින් පමණක් නෙමෙයි පුරාවිද්‍යාත්මක වටිනාකම අතිනුත් වැඩිහිටියන් ට වගේ ම දරුවන් ටත් එම නටඹුන් දැක බලා ගන්නට අවස්ථාව තිබේ.
කොළඹ සිට එන විට මිහින්තලයට ළගා වීමට පහසුම මාර්ගය තමයි කුරුණෑගල, දඹුල්ල,කැකිරාව,මරදන්කඩල, තිරප්පනේ පහු කරල එන මග. බසයේ ගමන් කරනවනම් කොළඹ-වව්නියා, කොළඹ-යාපනය, කොළඹ-හොරොව්පොතාන වගේ බස් වල පැමිණිය හැක. නමුත් බොහෝ අය අනුරාධපුරය වැඳපුදාගෙන පසුව මිහින්තලේ වන්දනා කරන්නට පැමිණෙයි. එවිට අනුරාධපුර සිට ත්‍රිකුණාමල පාරේ 12km පමණ ඒමෙන් මිහින්තලේට ලගා විය හැක.
ලොව ඕනෑම පුරාවිද්‍යා භූමියක්, ස්මාරකයක් හෝ සංස්කෘතික වස්තුවක් තුළ පවතින කැපීපෙනෙන විශ්වීය අගයන් පදනම් කරගනිමින් යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ස්ථාන නම් කිරීම සිදු කරනු ලැබේ. මිහින්තලය පුරාවිද්‍යා භූමියේ ඇති සුවිශේෂත්වය වන්නේ එම පුදබිම තුළ ඇති ස්මාරකවල ගැබ් වී පවතින අගයයි.
මිහින්තලයේ මැද මළුව දක්වා පිවිසීමට ඇති ශෛලමය පියගැටපෙළ පඩි 1840කින් සමන්විත වන අතර විහාරස්ථානයක් ආශ්‍රිතව කන්දක් තරණය කිරීමට ඇති ප්‍රමාණාත්මක අතින් වැඩිම පියගැටවලින් සමන්විත වීම ද සංචාරකයන්ගේ ආකර්ෂණය ට හේතු වන්නකි. මිහිඳු හිමියන් දඹදිව සිට ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන ආ උතුම් ස්ථානය ලෙස මිහින්තලේ පවතින අනන්‍යතාව ලොව සුපතළ වී ඇත. බුදුදහමේ චිරස්ථිය ඇති වූ ස්ථානය නිසා චිරස්ථිය, නෛමිතික අගය ද මෙහි දැකගත හැකිය. එසේම ස්තූප රාශියක් පැවතීම නිසා නිතැතින් ම ආධ්‍යාත්මික අගය ද නොඅඩුව පවතී. සංස්කෘතික හා සෞන්දර්යාත්මක අගය ද මෙහි ඉහළ වේ.
මෙම ස්ථානය ආශ්‍රිත ව දැකගත හැකි සංස්කෘතික අගයන්ගේ ප්‍රමාණය ද අප්‍රමාණ වේ. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ එනම් බුද්ධ පරිනිර්වාණයෙන් පසු පොසොන් පුන් පොහෝ දිනක මහින්දාගමනය සිදු වී ඇති අතර දීපවංසය, සමන්තපාසාදිකාව, මහාවංසය, පූජාවලිය ආදී සාහිත්‍ය කෘති හා රජගලින් හා මිහින්තලයෙන් සොයාගත් සෙල්ලිපි ද ඒ බව තහවුරු කරයි. වාස්තුවිද්‍යා නිර්මාණ අතර දානශාලාවේ ඇති බත් හා කැඳ ඔරු, ජල සැපයුම් ක්‍රම ආදියත් හා ඒ ආශ්‍රීත ක්‍රියාකාරකම් මත ඓතිහාසික අගය කැපීපෙනෙන ඉහළ තලයක මිහින්තලය පවතී. මිහින්තලය, වෙස්සගිරිය, සිතුල්පව්ව, රිටිගල, රජගල ආදි ස්ථානවල පිහිටි ස්වභාවික ලෙන් මුලින් ම බෞද්ධ භික්‍ෂූන්ට ආවාස විය.
කදු ගැටයක් ඇසුරු කරගනිමින් සැකසී ඇති මිහින්තලා පුදබිමට අනුරාධපුර ඈත පිහිටි බොහෝ ස්ථාන දර්ශනය වීම දැකගත හැකිය. එමෙන් ම ස්වාභාවික ගිරිදුර්ග වාසස්ථාන කරගත් භික්ෂූන් වහන්සේ බවුන් වැඩීම සඳහා තෝරාගෙන ඇති හැට අටක් වූ ගුහා පද්ධතිය, ස්වභාව සෞන්දර්ය නරඹමින් සංචරණය කරන සංචාරකයන්ට විනෝදාස්වාදයක් ද සපයන ආරාධනා ගල, අම්බස්තල දාගැබේ මළුවට නැඟීමෙන් දැකගත හැකි මනරම් ස්වභාවික දර්ශනය සංචාරක ආකර්ෂණය වැඩි කරවයි.
කළුදිය පොකුණ වැනි පරිශ්‍ර තුළ නිස්කලංක සුන්දරත්වයක් විඳගැනීමට හැකිය. පුරාණ රජදරුවන් ඉදි කර ඇති බොහෝ ස්මාරකයන්ගෙන් පෙර පැවති වාස්තුවිද්‍යා සැලැස්ම පිළිබඳ වටහාගැනීමට හැකිය. මෙහි විහාර වර්ග හතරක සාධක පෙනේ. මුල් කාලීනව ස්වාභාවික ලෙන් පද්ධතිය හා සබැඳි ගිරිදුර්ගවලින් සමන්විත ලෙන් විහාරයක් ලෙස ආරම්භ වී ඇති මිහින්තලය විහාරයේ රාජගිරිලෙන මහනුවර යුගය දක්වාම සංවර්ධන කාර්යන්ට භාජනය වී ඇති බවට සාධක හමුවේ. මිහිඳුසෑය, මහා සෑය, කණ්ටක චේතිය, අම්බස්තල දාගැබ, ගිරිභණ්ඩ ස්තූපය, ඉදිකටු සෑය, ඇත්වෙහෙර මෙහි ස්තූප අතර සුවිශේෂි වේ.
පූජනීය නොවන ස්මාරක අතර සන්නිපාත ශාලාව, දානශාලාව, රෝහල, පොත්ගුල, මනිනාග මන්දිරය, ඉදිකටුසෑ පංචාවාස සංකීර්ණය, ප්‍රධානඝරය පෙන්වාදිය හැකිය ඉදිකටුසෑය සංකීර්ණයේ සමචතුරශ්‍රාකාර සිංහ පොකුණ හා කළුදිය පොකුණ, නාග පොකුණ වැනි වාස්තුවිද්‍යා නිර්මාණයන්ගෙන් මිහින්තලා පුදබිමේ පවතින වාස්තුවිද්‍යා අගය තවදුරටත් වැඩි වේ. පාහියන් හිමිගේ වාර්තාවේ සඳහන් වී ඇති ආකාරයට එම ආරාමයේ 3000ක් පමණ වූ භික්‍ෂූ පිරිසක් වැඩවාසය කළ සඳහන් වී ඇත.
මිහින්තලය විහාර භූමිය තුළ පවතින්නා වූ තාක්ෂණික හා විද්‍යාත්මක අගය ප්‍රාථමික ලෙන් පද්ධතිය ආශ්‍රිතව ගුහාව තුළට වැසි ජලය ඒම වැළැක්වීමට කටාරම් කෙටීමෙන් ආරම්භ වූ ප්‍රාථමික තාක්‍ෂණ මට්ටමේ ඉදිකිරීමේ සිට දැවැන්ත ස්තූප හා ගොඩනැගිලි ඉදිකිරීම දක්වා වූ දියුණු තාක්ෂණික මට්ටමක් හඳුනාගත හැකිය.
සිංහ පොකුණේ ජල ටැංකියේ පතුල ලෙස ස්වාභාවික ගල් පර්වතය යෙදා ගෙන සිව් දිශාවේ බිත්ති සඳහා ශෛලමය පුවරු එකිනෙක වෑද්දුම් ක්‍රමවේද ඔස්සේ සම්බන්ධ කර ජලය වෑස්සීමට සලස්වා ඇත. එහි තාක්ෂණය මෙන් ම උද්‍යාන අලංකරණ ක්‍රමවේදයක් ලෙස ද සිංහ මුඛය යොදාගෙන ඇත්තේ පුරාණ තාක්ෂණික ඥානය විදහා පෙන්වමිනි. මිහින්තලය පුදබිමේ සංචාරක ප්‍රවර්ධනයට ද වර්තමාන අවදානය යොමු වී තිබේ. ශ්‍රී ලාංකික බෞද්ධයන් වශයෙන් මිහින්තලා පුද බිමෙහි ඇති ආගමික සහ ඓතිහාසික සුවිශේෂිභාවය අති මහත් ය. මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමගම ලක්දිවට බුදු දහම හඳුන්වා දෙනු ලැබූයේ ඓතිහාසික මිහින්තලා පුදබිමේ දීය.
මිහින්තලේ කඳු පාමුල තියෙන පළමු පියගැටපෙළ අවසන් වු විට දකුණු පැත්තෙන් තිබෙන පඩිපෙළ කණ්ඨක වෛත්‍යය වෙතයි. මිහින්තලේ යන බොහොමයක් දෙනාගේ අදහස මිහින්තලේ බලන්න තියෙන්නෙ අම්බස්ථල වෛත්‍යයයි, ආරාධනා ගලයි, මිහින්තලේ මහා සෑයයි, හිඳි බුද්ධ ප්‍රතිමාවයි විතරක් කියල. නමුත් මිහින්තලේ ඊට වඩා බොහොමයක් දේවල් බැලිය හැක. කණ්ඨක වෛත්‍ය ද ඉන් එකක්. කණ්ඨක චෛත්‍ය වටේ තිබෙන වාහල්කඩවල් තමයි ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති අලංකාරතම කැටයම් තියෙන වාහල්කඩවල් ලෙස සැලකෙන්නේ. ඒ වගේම තමයි මෙම කැටයම් ලංකාවේ පැරණිතම කැටයම් අතරටත් වැටෙයි. කණ්ඨක චෛත්‍ය වාහල්කඩ කැටයම් අතර තියෙනවා ලංකාවෙ පැරණිම ගණ දෙවි රෑපයක් සහ වලස් හිසක් සහිත වාමන රුවක්.
කණ්ඨක වෛත්‍ය පිටුපසින් ත අට සැට ලෙන් තිබේ. කටාරම් කොටපු මෙම සමහර ගල්ලෙන් වල කටාරම් වලට පහලින් ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බ්‍රාහ්මී අකුරුවලින් ලියපු සෙල්ලිපි දැකිය හැකිය. පිහිටි ගලේ නෙළපු හිටිගෙන සිටින ආකාරයෙන් සකස් කරපු තරමක විශාල සිංහ රුවක් මෙහි තිබ. ඉහළින් තියෙන පොකුණට එකතුවන ජලය මේ සිංහයාගේ කටෙන් එළියට එන විදිහට හදපු විශිෂ්ඨ නිර්මාණයක් එය.
සිංහ පොකුණ අසලින් තියෙන පාර දිගේ ඉහලට ගිහාම මිහින්තලේ මැද මලුවට එන්න පුලුවන්. විශාල බත් ඔරුවක් සහ කැඳ ඔරුවක් තියෙන දාන ශාලාවට අමතරව මැද මලුවෙ තියෙන තවත් සුවිශේෂී පුරාවස්තු දෙකක් තමයි 4 වන මිහිඳු රජුගේ කාලයේ ලියවුණු මිහින්තලේ පුවරු ලිපි දෙක. මටසිලිටු වෙන්න මැදපු ගලක කොටල තියෙන මේ පුවරු ලිපි දෙකේ අකුරු තාමත් පැහැදිලිව කියවිය හැක.
මැද මලුවෙ ඉඳල උඩ මලුවට යන්න තවත් පියගැට පෙළක් තිබේ. අරලිය මල් ගස් වලින් හෙවන වෙලා තියෙන මේ පියගැට පෙළ අපූරුයි. මිහින්තලේ උඩ මළුවේ සුප්‍රසිද්ධ ආරාධනා ගල, අම්බස්ථල චෛත්‍යය, මිහින්තලේ මහා සෑය සහ සුවිසල් හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන්නෙ මේ ඉහළ මළුවෙ.
මහකනදරා වැවේ සුළං රැල්ල සමග මිහින්තලේ මහා සෑ මළුවට ගිහාම පූජනීය අනුරාධපුරයේ රුවන්වැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය වගේම නුවර වැවත් දැක් ගන්න පුලුවන්. මහා සෑය වටේ ගිහිල්ල වන්දනාමාන කරගන්න අතරෙම මහා සෑය එහා පැත්තෙන් තියෙන මිහිඳු හිමියන්ගෙ භෂ්මාවශේෂ තැම්පත් කරල හදපු මිහිඳු සෑයත් වන්දනාමාන කර ගන්න හැකියි. නාග පොකුණත් බලන්න උඩමලුවෙන් පහලට බැහැල පොඩි දුරක් එනකොට වම් පැත්තට හැරුණු කොට පුළුවන්. මිහින්තලේ වන්දනාමාන කරන්න යන්න තියෙන හොඳම වෙලාව තමයි සවස්වරුව. ඉර බැස යන අලංකාර දර්ශනය වගේම සුදුපැහැ විදුලි බුබුළුවලින් ආලෝක කෙරුණු මිහින්තලා මහා සෑයේ අලංකාරයත් දකින්නට පුළුවන් වෙන්නේ සවස් වරුවෙ දි.
මිහින්තලේ පැරණි රෝහල් සංකීර්ණය, කටු සෑය හා ආශ්‍රිත නටඹුන්, ඇත් වෙහෙර, ගිරි භණ්ඩ සෑය, රජගිරි ලෙන්, කලුදිය පොකුණ, මහකනදරාව වැව, කනදරාව ගල් පාලම, වසම්මලේ චිත්‍ර ලෙන වගේම මිහින්තලේ පුරාවිද්‍යා කෞතුකාගාරයත් අනිවාර්යයෙන්ම නැරඹීමට මතක තබා ගත යුතුය. ඒ නිසා මිහින්තලේ නැරඹීමට මුලු දවසක්ම ගත වේවි.මේ පුදබිම් වන්දනාමාන කරගෙන මතු පරපුරට ත් ඒවා සුරක්ෂිත ව තබන්නට ඔබේ වගකීම ද ඉටු කල යුතුය.
මූලාශ්‍ර
www.gamana.lk
www.silumina.lk
www.srilankatravelpages.com
No comments:
Post a Comment