Wednesday, December 21, 2022

කැළණිය රජමහා විහාරය

කැළණිය පුරවරයේ සුපහන් පුණ්‍ය භූමිය වන කැලණිය රජමහා විහාරය අනන්ත බෞද්ධ ශ්‍රාවකයන්ගේ වන්දනාමානයට පාත්‍ර වන්නකි. බුදු රජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද කැලණිය  පින් බිම වසර දහස් ගණනක පැරණි ඉතිහාසයකට උරුමකම් කියයි. එකල බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක් වුණු කැළණි පුදබිම අදටත් ලක් වාසී බෞද්ධ  ජනතාව නිරන්තරයෙන් වන්දනාමාන කරන ස්ථානයකි. 

බුදුන් වහන්සේගේ තෙවරක් ලංකාවට වැඩම කළ බවත් ඉන් තුන්වන වර ලංකා ගමනයකැළණි විහාරයට බව ඓතිහාසික මූලාශ්‍ර වල සදහන් වේ. ගෞතම බුදුන්වහන්සේ කැළණියට වැඩම කිරීම  බුද්ධත්වයට පත්වීමෙන්  වසර 8 කට පසුව සිදු ව ඇත. බුදුන් වහන්සේ කැළණියට වැඩම කළේ මණිඅක්ඛිත නා රජතුමා කළ ඉල්ලීමක් සලකා බව පැවසේ. එදා බුදුන්වහන්සේට ධර්මය දේශනා කිරිම සඳහා මණිඅක්ඛිත රජතුමා විසින් මැණික් පුටුවක් සාදවා තිබූ අතර බුදුන්වහන්සේ  ධර්මය දේශනා කර අවසන් වීමෙන් පසුව එම මැණික් පුටුව තැන්පත් කර කැළණි ස්ථූපය තැනූ බව ශාසන ඉතිහාසය තුළ සඳහන් වේ.

ධාන්‍යාකාර හැඩයට නිර්මාණය කර ඇති කැළණි ස්ථූපය මණිඅක්ඛිත නා රජතුමාගේ නිර්මාණයක් වූවත් එය විශාල කර සාදවා ඇත්තේ යඨාලතිස්ස රජතුමා විසිනි. වර්තමානය වන විට අඩි 90 ක් පමණ උසකින් යුත් ස්ථූපයේ වට ප්‍රමාණය අඩි 180 ක් පමණ වේ. ලංකාවේ මුල් යුගයේ ඉදි වූ   කැළණි ස්ථූපය 13 වන සියවසේ දී  පමණ කාලිංග මාඝ විසින් සිදුකළ ආක්‍රමණය නිසා විනාශයට පත් වී ඇත. විනාශයට ලක් වූ මෙම ඓතිහාසික ස්ථූපය යළි ප්‍රතිසංස්කරණ කරනු ලැබුවේ තෙවන විජයබාහු රජතුමා බව ද මූලාශ්‍ර හෙළි කරයි.

කැළණිතිස්ස නම් රජතුමා කැළණි රාජධානියේ පාලකයා වශයෙන් කටයුතු කළ අවධියේ දී සිදුවුණු මුහුද ගොඩගැලීමක් පිළිබඳව ඉතිහාසයේ සඳහන් වේ. එයට හේතු ව රජතුමා රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක ගිල්වා අපවත් කරවීමයි. රජතුමාගේ බිසව සමග රජුගේ සොයුරු උත්තිය කුමරු ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් බව කැළණිතිස්ස රජතුමාට ආරංචි වීමෙන් උත්තිය කැළණියෙන් පළා ගොස් රජ බිසවට රහසේ ම ලියුමක් යැවීමට කල්පනා කර ඇත. ඒ සඳහා ඔහු මහණ වෙස්ගත් පුද්ගලයෙකු යොදා ගෙන ඇත. මහණ වෙස්ගත් පුද්ගලයා මාලිගාවට ඇතුළුවන ක්‍රමයක් ගැන කල්පනා කරන විට හැමදාමත් රහතන් වහන්සේ නමක් මාලිගාවට වඩින බව දැක පසු දිනයේ දී රහතන් වහන්සේ සමග මාලිගාවට ඇතුළු වී ශ්‍රමණ වෙස්ගත් පුද්ගලයා හොර රහසේ ම ලියුම බිම දැමුවේ බිසවට එය ගැනීමටයි. නමුත් අවාසනාවන්ත ලෙස ලිපිය රජතුමාගේ අතට පත් විය. රහතන් වහන්සේ විසින් එම ලියුම ලියූ බවට රජතුමා සැක කර උන් වහන්සේ ව තෙල් කටාරමක ගිල්වා මරණයට පත් කළා. එම සිදුවීම හේතුවෙන් කම්පා වී මුහුද ගොඩගැලූ බව සදහන් වේ. මුහුද ගොඩගැලීම නිසා සිදුවෙමින් පැවති විනාශය නැවැත්වීම සඳහා රජුගේ දියණිය වුණු දේවි කුමරිය මුහුදට බිලි දුන් බව ද ඉතිහාසය තුළ පැවසේ.  කුමරිය රැගත් ඔරුව මාගම රාජධානියට අයත් වෙරළ සීමාවට ගොඩබැස ඇත. කුමරිය මුහුදු මහා විහාරය අසල ගොඩබට නිසා විහාර මහා දේවිය ලෙසින් ප්‍රකට විය. එකල මාගම රාජධානියේ පාලකයා වුණු කාවන්තිස්ස රජතුමාගේ අග බිසව වුණු විහාර මහා දේවිය දුටුගැමුණු රජතුමාගේ මෑණියන් වේ.

කැළණි විහාරයට පුද සත්කාර කළ රජවරුන් අතර  යඨාලතිස්ස රජතුමා කැළණි ස්ථූපය වඩාත් විශාල කර තනවා එහි මහල් පහකින් යුත් ප්‍රාසාදයක් ද ඉදිකර ඇත. දුටුගැමුණු රාජ්‍ය සමයේ දී කැළණි විහාරය තුළ රහතන් වහන්සේලා 500ක් පමණ වැඩ විසූ බව පැරණි ඉතිහාස කතාවල සඳහන් වේ. එකල විහාරයේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලබා දී ඇත. 

අනුරාධපුරයේ රජකම් කළ කණිෂ්ඨ තිස්ස නම් රජතුමා කැලණි විහාරයට උපෝසථාගාරයක් ඉදිකර ඇත. පොළොන්නරුව රාජධානියේ රජකම් කළ විශිෂ්ටතම රජවරුන් දෙදෙනෙකු වූ මහා පරාක්‍රමබාහු සහ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල කැළණි විහාරයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් සිදු කර ඇත. පොළොන්නරුව රාජධානිය විනාශ කරමින් කාලිංග මාඝ එල්ල කළ ආක්‍රමණයත් සමග කැළණි විහාරය ද පරිහානියට පත් විය. විනාශ වී ගිය කැළණි විහාරය යළි ගොඩනගනු ලැබුණේ තෙවන විජයබාහු රාජ්‍ය සමයේ ය. ඉන් පසු දෙවන පරාක්‍රමබාහු, හයවන පරාක්‍රමබාහු යන රජවරුන් කැළණි විහාරය දියුණු කිරීම සඳහා ඇප කැප වී වැඩ කළ බව ද සදහන් වේ.

1505 වසරේ දී ලංකාවට පැමිණි පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය තුළ වාසය කළ අතර 1551 වසරේ දී හත්වන  බුවනෙකබාහු රජතුමා පෘතුගීසි සොල්දාදුවෙකුගේ වෙඩි පහරකින් මිය යාමත් සමගම ඔහුගේ මුණුබුරා වුණු ධර්මපාල කුමරු කෝට්ටේ රජු වශයෙන් අභිෂේක ලැබුවා. පෘතුගීසීන්ගේ අල්ලේ නැටවුණු රූකඩයක් බවට පත්වුණු ධර්මපාල කුමරු බෞතිස්ම කිරීමෙන් පසුව දොන් ජුවන් ධර්මපාල යන නම් දැරීය. දොන් ජුවන් ධර්මපාල රජතුමාගේ දුර්වල පාලනය නිසා පෘතුගීසින් කෝට්ටේ රාජධානිය තුළ තිබුණු පුරා වස්තු රැසක් විනාශ කර ඇත. 1575 වසරේ දී කපිතාන් දියෝගෝ ද මේලෝ ඇතුළු පිරිසක් කැළණි විහාරය කොල්ල කන ලදි. ඉන් පසුව ඔවුන් කැළණි විහාරය තුළ ආගමික වතාවත් කිරීම පවා තහනම් කර ඇත. පෘතුගීසීන් ලබාදුන් අණ නිසා කිසිදු පුද්ගලයෙකු කැළණි විහාරය වන්දනාමාන කිරීමට  නොපැමිණීම නිසා විහාරය වල් බිහි වී අභාවයට ගොස් ඇත.

මහනුවර රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ යුගයේ දී ඇති වූ මෙරට ශාසනික ප්‍රබෝධය නිසා කැලණිය යලි ගොඩ නැගී තිබේ. එකල බුදු  සසුනට ඉමහත් සේවයක් කළ වැලිවිට ශ්‍රී සරණංකර හිමියන් කැළණි විහාරය යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදි. සරණංකර හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබීම නිසා වල් බිහි වී නටබුන් ව පැවති විහාරය යළි ප්‍රතිසංස්කරණය කර ඇත.


කැළණි විහාරයේ සිතුවම්  යුග දෙකකට අයත් බවට විශ්වාස කරයි. මහනුවර යුගයේ දී නිර්මාණය කළ සිතුවම් අතර වෙස්සන්තර, මහාසීලව, ධර්මපාල ආදී ජාතක කතා රැසක් දැක් වේ. එසේම 20 වැනි සියවසේ දී සෝලියස් මැන්දිස් විසින් ඇඳි සිතුවම් ද කැළණි විහාරය තුළ දක්නට ලැබේ. එදා කැළණි විහාරයේ ප්‍රධාන විහාරගෙය විනාශ වී තිබුණු නිසා එය යළි ගොඩනැගීම සිදුකළේ හෙලේනා විජේවර්ධන නම් මහා දානපතිනිය යි. එහිදී විහාර ගෙය තුළ චිත්‍ර ඇඳීම සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියාට භාර කර ඇත. එම වගකීම භාරගත් චිත්‍ර ශිල්පියා බුදුන්වහන්සේ ලංකාවට වැඩම කිරීම, දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දළදාව වැඩම කරවීම, සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරවීම වැනි සිතුවම් රැසක් නිර්මාණය කර ඇත. එම චිත්‍ර මේ වන විටත් සංරක්ෂණය වී පවතී.

දස දහස් ගණනකගේ පාදස්පර්ශය ලබන කැලණිය පිළිබඳ සදහන් කරන විට අපූරු වැකියක් ද සිහිවේ. 

"උපන් දා සිට කරපු පවි නැත

වරක් වැන්දොත් කැලණියේ" 

මේ අසිරිමත් පින් කෙත වැදපුදා ගැනීමට විවිධ දුර බැහැර ප්‍රදේශ වල බැතිමතුන් නිතර පැමිණෙනු දැකිය හැකිය.


මූලාශ්‍ර 

www.roarmedia.lk

www.kelani.viharaya.lk

www.facebook.com

No comments:

Post a Comment

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...