සුන්දර හපුතලේ නගරයේ සිට 4km පමණ ගමන් ගත් විට ශාන්ත බෙනඩික්ට් නිකායට අයත් පූජකරුවන් විසින් පවත්වා ගෙන යනු ලබන පැරණි පන්නයේ මෙම තාපසාරාමය හමු වේ. හරිත වර්ණ කඳුවැටි අතර නිසලව වැජඹෙන ඇඩිෂම් බංගලාව සංචාරක නෙත් සිත් ආකර්ෂණය කර ගන්නා සොඳුරු ස්ථානයකි.
ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් විසින් මෙය ගොඩනගා ඇත. 1869 දී ඔහු උපත ලද්දේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයට අයත් ඇඩිෂම් නම් සොඳුරු ගම්මානයේ යි.
එංගලන්ත පල්ලියේ පූජකයෙකු ලෙස කටයුතු කළ හෙන්රි මොන්ටේගු විලියර්ස් තෝමස්ගේ පියා ය. ප්‍රභූ පෙළපතකින් පැවතෙන ඔහුගේ මව වික්ටෝරියා රසල් ආර්යාව දෙවරක් ම බ්‍රිතාන්‍යයේ අගමැති තනතුර දැරූ ජෝන් රසල්ගේ දියණිය යි.
එංගලන්තයේ පොදු පාසලකින් අධ්‍යාපනය හදාරන ලද ඔහු පවුලේ අනෙක් අය මෙන් ව්‍යාපාරික හෝ දේශපාලන වෘත්තියන් හි නිරත නොවී එවකට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ ලංකාවට පැමිණෙයි. වගාකරුවෙකු ලෙස කටයුතු කිරීමට ඔහු පැමිණ ඇත.
බොගවන්තලාවේ එල්බැද්ද වතුයායේ පුහුණු වගාකරුවෙකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීමට ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් කටයුතු කරන ලදි.
1896 දී තේ වැවිලිකරුවෙකුගේ දියණිය වූ එවලින් හෝප් වෝකර් හා විවාහ විය. ඔවුහු බ්‍රසීලය බලා සංචාරය කර වසර 04 කට පසු නැවතත් ලංකාවට පැමිණෙයි. දික්ඔය සමූහයේ ඔහුගේ ම තේ වත්තක් ආරම්භ කිරීමට ඔහුට හැකියාව ලැබුණි.
1905 දී කොළඹ නගරය කේන්ද්‍ර කර ගෙන වෙළඳාමේ යෙදෙමින් ජෝර්ජ් ස්ටුවර්ට් සමූහය සමග එක් වූ තෝමස් 1928 දී එහි සභාපති ලෙස පත් ව 1949 දී විශ්‍රාම යන තෙක් එම ධූරයේ කටයුතු කළ බව සදහන් වේ.
එංගලන්තයට සමාන ප්‍රදේශයක බංගලාවක් ඉදිකිරීමේ ආශාවක් ඔහුට පැවතිනි. කඳුකර ප්‍රදේශයක එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිවසක් තැනීමට තෝමස්ට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු මෙරට උස් ම කඳු මුදුන් අතර දර්ශනීය වනාන්තරයක් මධ්‍යයේ පිහිටි හපුතලේ තෝරා ගන්නා ලදි.
කෙන්ට් ප්‍රාන්තයේ ලීඩ්ස් මාළිගයට තරමක් සමාන වන ඇඩිෂම් බංගලාව එංගලන්තයේ තියඩෝර් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කර ඇති අතර එය ශක්තිමත් කළුගල් බිත්ති හා උසින් වැඩි පටු කවුළු පියන්පත් සහිත ඉංග්‍රීසි පන්නයේ දුම් කවුළුවලින් සමන්විත වූවකි.
ආර්. බූත් සහ එෆ්. වෙබ්ස්ටර් නම් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මග පෙන්වීම යටතේ 1929 වර්ෂයේ දී ගොඩ නගන්නට ආරම්භ කළ ඇඩිෂම් බංගලාවේ වැඩ කටයුතු වසර දෙකක දී පසු ව නිම වන විට එය සෑම අතින් ම ඉංග්‍රීසි නිවසකට සමාන විය. ඇඩිෂම් බංගලාවේ වහළ සඳහා යොදගෙන ඇත්තේ බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක දැවයෙන් සැකසූ පැතලි උළු කැට යි.
නිවසේ සෑම දොරක් ම කවුළුවක් ම පියගැට පෙළක් ම මෙන් ම පොළව ද බුරුම තේක්ක යොදා ගනිමින් නිමවා තිබේ. ඇඩිෂම් බංගලාවේ පැවති ගෘහ භාණ්ඩ රිදීමය පිඟන් භාණ්ඩ සහ බුමුතුරුණු සියල්ල එංගලන්තයෙන් ආනයනය කර ඇත.
විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ඇඩිෂම් වතුයාය අක්කර 10 ක් පමණ වන අතර එය බංගලාව මෙන් ම සුන්දරත්වයෙන් අනූනය. හොදින් නඩත්තු කරන ලද ගෙවත්ත මල් වලින් පිරි අතර එංගලන්තයෙන් ගෙන්වන ලද රෝස පැළ එහි අලංකාරය වැඩි කරයි.
හපුතලේ පවතින සෞම්‍ය කාලගුණය නිසා එංගලන්තයෙන් ගෙනා ස්ට්‍රෝබෙරි සහ ඇපල් ඇඩිෂම් වතුයායේ සරුව වැඩුණු බවට ද සදහන් වේ.
සුන්දරත්වයේ නවාතැනක් වූ ඇඩිෂම් බංගලාව යටත් විජිත කාලයේ ලංකාවේ ප්‍රභූන් නිතර පැමිණි ස්ථානයකි.
විලියර්ස් ආර්යාව ආගන්තුක සත්කාරය සඳහා ඉතා ළැදි කාරුණික කාන්තාවක් වූ අතර ඇය සිතුවම් ඇඳීමට ද ආශාවක් දක්වා තිබේ. ඇය විසින් අඳින තෙල් සිතුවම් සහ දිය සායම් සිතුවම් බොහෝමයක් අදටත් ඇඩිෂම් බංගලාවේ බිත්ති වල දක්නට හැකිය.
විලියර්ස්ට පුතුන් දෙදෙනෙකු සිටිය ද ඔවුන් දෙදෙනා ම ඔහුට පෙර මිය ගොස් ය. මේ හේතුවෙන් 1949 දී ඔහු ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ සභාපති ධූරයෙන් විශ්‍රාම ගෙන යළිත් එංගලන්තය බලා නැව් නැගීමට පෙර ඇඩිෂම් බංගලාව එහි ගෘහ භාණ්ඩ ද සමග ම සේදවත්ත කම්හලට අලෙවි කර ඇත.
ඉන් වසර 10 කට පසු ව 1959 දෙසැම්බර් 21 වැනි දින ඔහු මිය ගියේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ දී ය.
පසු ව 1961 වර්ෂයේ දී රෝමානු කතෝලික පල්ලිය ඇඩිෂම් බංගලාව සහ වතුයාය මිලට ගෙන එය තාපසාරාමයක් බවට පත් කරන ලදි. එහි පරිපාලන කටයුතු සිදු වුයේ ශාන්ත සිල්වෙස්ටර් නිකායට අයත් පූජකවරුන් විසිනි.
ඇඩිෂම් බංගලාව තාපසාරාමයක් බවට පරිවර්තනය කළ ද පැවති සුන්දරත්වය ඒ ලෙසින් ම රැක ගැනීමට පූජකවරුන් කටයුතු කර තිබේ. වර්තමානයේ දී ඇඩිෂම් බංගලාව ක්‍රියාත්මක වන්නේ ශාන්ත බෙනඩික්ට් නිකායට අයත් පූජකවරුන්ගේ තාපසාරාමයක් ලෙස යි.
නිවාඩුවකට අපූරු තැනක් ලෙස මෙය හදුන්වයි.
එය සංචාරකයන් සඳහා ද විවෘත ව පවතී. ඇඩිෂම් වතු යායේ වැවෙන පලතුරුවලින් සකසන ලද ස්ට්‍රෝබෙරි ජෑම්, දොඩම් මාමලේඩ්, පේරවලින් සැකසූ ජෙලි සහ නැවුම් පලතුරු කෝඩියල් මිල දී ගැනීමේ හැකියාව ද එහි ගමන් කරන සංචාරකයන්ට ලැබේ.
ඕනෑම අයෙකුට ඇඩිෂම් බංගලාවේ නවාතැන් ගැනීමට ද හැකියාව පවතී.
ඇඩිෂම් බංගලාවේ නවාතැන් ගැනීමට කැමති නම් අවම වශයෙන් සති තුනකට පෙර ඉඩ වෙන් කරවා ගත යුතු ය. ඇඩිෂම් බංගලාව සාමාන්‍ය නවාතැන්පොළක් නොවන නිසා එහි වරකට නවාතැන් ගත හැක්කේ 12 දෙනෙකුට පමණි.
පාසල් නිවාඩු කාලයේ සතියේ දිනවල ද ඇඩිෂම් බංගලාව මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වුවත් අනෙකුත් කාලයන් හි එය නැරඹිය හැක්කේ සති අන්තයේ සහ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල උදෑසන 9 සිට සවස 4.30 දක්වා පමණි.
සුන්දර හපුතලේ සංචාරය කරන්නන්ට තම සංචාරයට එකතු කර ගත හැකි තවත් අපූරු තෝතැන්නක් ලෙස මෙය හදුන්වා දිය හැක.
මූලාශ්‍ර
https://roar.media
www.facebook.com
www.yamu.lk