අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට බොහෝ බැතිමතුන් පිරිපීඨයේ වාර්ෂිකව පැමිණෙයි. නමුත් බොහෝ දෙනෙක් මගහැර ගන්නා එහෙත් නැරඹිය යුතු ම ස්ථානයක් ලෙස මැදිරිගිරිය වටදාගෙය හදුන්වා දිය හැක.
හිගුරක්ගොඩ සිට කිලෝමීටර විසිපහක් පමණ මැදිරිගිරිය නගරය දෙසට ගිය විට මෙම වටදාගෙය හමු වේ. මැදිරිගිරියට බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් හිමිවෙයි. මැදිරිගිරිය අතීතයේ දී මණ්ඩලගිරි, මැඩිලිගිරි ආදී නම් වලින් හඳුන්වා ඇත. මෙම සිද්ධස්ථානය කවුරුන් විසින් ගොඩ නගන ලද දැයි නොදනී.
දෙවන සියවසේ අග භාගයේ දී කනිට්ඨ තිස්ස රජු ද හත්වන සියවසේ මුල් කාලයේ දී දෙවන අග්බෝ රජු ද නවවන සියවසේ මැද භාගයේ දී දෙවන සේන රජු ද මෙහි ඉදිකිරීම් සිදු කළ බව මහා වංශයේ සදහන් වේ. එකොලොස්වන සියවසේ දී පළමු වන විජයබාහු රජු මේ විහාරය ප්‍රති සංස්කරණය කළ බව ද සඳහන් වේ.
මෙහි තිබූ සෙල් ලිපියක සදහන් වූයේ මෙය ඉතා දියුණු සිද්ධස්ථානයක් හා දියුණු රෝහලක් ව තිබුණු බවයි. කාලිංග මාඝ ආක්‍රමණ නිසා රජරට අතහැර සිංහලයන් දකුණට පලා යාම නිසා මේ සිද්ධස්ථානය වල්බිහි වී විනාශයට ලක් විය.
1897 දී පමණ H.C.P. බෙල් මහතා විසින් සොයා ගන්නා විට මෙය මහා වනයක සැග ව තිබී ඇත. 1939 දී මෙය පුරාවිද්‍යා සංරක්‍ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා හා සැලසුම් කරුවෙකු වූ W. E. ප්‍රනාන්දු මහතා ඇතුළු පුරාවිද්‍යා කාර්ය මණ්ඩලයේ කැපවීම නිසා මේ අලංකාර පින්බිම සුරැකී තිබේ.
මැදිරිගිරිය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි ඇති අලංකාර වටදාගෙය නිසාය. මැදිරිගිරිය වටදාගෙය පැරණි වාස්තු විද්‍යාවේ හා ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගන්‍ය නිර්මාණයකි. මෙය භුමි මට්ටමට වඩා ඉහලින් ගල් කුලක් මත ඉදිකර ඇත. ඒ නිසා එහි ප්‍රෞඩත්වයක් විද්‍යමාන වේ.
මැදිරිගිරිය වටදාගෙය ඉදිකර ඇත්තේ අඩි 91 ක් පමණ විෂ්කම්භය හා අඩි 14 -17 පමණ උස පනා බැම්මකින් ආරක්ෂා කර ඇති වටකුරු වේදිකාවක් මත ය. එයට ඇතුල් වීම සඳහා උතුරු දෙසින් අඩි 10 ක් පමණ උස අඩි 5 ක් පමණ පළල ගල් උළුවස්සකින් ඇතුළු වී පියගැට පෙළක් නැගිය යුතුය. වටදාගේ බාහිර මළුවට ගොඩ වූ විට දෙපස කැටයම් සහිත ගල් පීඨ දෙකක් මත පුන්කලස් දෙකක් වේ. ඉන් අනතුරුව වටදාගෙයට පිවිසීමට පිය ගැට හතරකි. වටදාගෙය මධ්‍යයේ අඩි 26ක් පමණ විශ්කම්භයෙන් යුත් ස්තුපයකි. එය වටදාගෙයට වඩා අවුරුදු 800 ක් පමණ පැරණි බව කියවේ. ස්තුපය ඉදිරිපස සිව්දෙසට මුහුණලා සමාධි පිළිම හතරකි. මෙය වජ්‍රසත්‍ව මණ්ඩලයක් බව ද සදහන් වේ. පිටතින් මනරම් කැටයමින් යුත් අට පට්ටම් හැඩයෙන් යුත් ගල් කණු පේලි තුනක් වේ.ඇතුලත වටය අඩි 9 ක් උස කණු 16 කින් ද, දෙවැනි වටය අඩි 16 ක් උස කණු 20 කින් ද, පිටත වටය අඩි 17 ක් උස කණු 32 කින් ද සමන්විත විය. මේ සෑම කණුවක් ම එකිනෙකට වෙනස් විසිතුරු කැටයමකින් යුතු වේ. පිටත වටයේ කණු පෙළ අඩි 3 අඟල් 6 ක් පමණ උස ආවරණ වැටකින් බැඳී ඇත. පිටත කණු පෙළ හා මැද අතර ගඩොල් වලින් කළ බිත්තියක් තිබී ඇත. මේ බිත්තියේ නටබුන් දක්නට ලැබේ. මේ බිත්තිය හා කුළුණු මේ වටදාගෙයට ලි වලින් කළ කුටාගාර වහලක් තිබුණු බවට සාක්ෂි සපයයි.
මුල් යුගයේ දී මෙහි තිබී ඇත්තේ දා ගැබකි. වටදාගෙය තනා ඇත්තේ හත්වන සියවසේ දී ය. 4 වන අග්බෝ රජුගේ පුත්‍රයා වටදාගේ තැනු බව ව කියවේ. වටදා ගෙවල් තැනීම මහායාන අදහස් පිළිගත් අභයගිරි විහාරිකයන්ගේ උපදෙස් අනුව කළ බව ද එක් අදහසකි. එක වටදාගෙයට වයඹ දෙසින් බුදු මැදුරු කීපයකි. එහි පද්මාසන මත වැඩ හිඳින බුදු පිළිම කීපයක්ම දක්නට ඇත. පද්මාසන මත වැඩ හිඳින බුදු පිළිම වටදාගෙයට උතුරින් වන කඳු ගැටය මත තවත් ස්ථුපයක් ද දැකිය හැකිය.
පොළොන්නරුවේ සංචාරය සදහා යන ඔබ මග නොහැර නැරඹිය යුතු තැනක් ලෙස මැදිරිගිරිය හදුන්වා දෙන්නේ එහි ඇති ඓතිහාසික වටිනාකම නිසාවෙනි. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නිසාවෙන් මෙම ස්ථාන වල වටිනාකම තවත් තීව්‍ර වේ. එය මෙරට සංචාරක ආකර්ෂණය ලොවටම ප්‍රචාරය කරන්නට කදිම අවස්ථාවකි.
මූලාශ්‍ර
www.wijeya.lk
www.sinhala.archeology.lk
www.facebook.lk