දවස පුරා ම මීදුමෙන් වැසී පවතින නිසා දුම්බර මිටියාවත ලෙස නම් වී ඇත. හැඩි දැඩි පුද්ගලයකු තම අතමිට මොලවා ගත් සේ දිස්වන කදු පන්තියට නකල්ස් යන නාමය පටබැඳී ඇත.
මීමුරේ ගම්මානයට පිවිසිමට මාතලේ නාරංගමුව ලග්ගල හරහාත් හසලක දන්දෙණිකුඹුර හරහා ද වනගත මාර්ග දෙකක් හදුනාගත හැක. එම මාර්ග මෑතකාලීනව ගම්වැසියන්ගේ අඩිපාරක් පමණක් ලෙස පවතියි. එය තරමක් දුෂ්කර මාර්ගයක් වන අතර පා ගමනින් යා යුතු ය.
මීමුරේ ගම්මානය ට ගමන් කිරීමට පොදු බස් රථ සේවාවක් නොමැත. ගම්වැසියන්ට ඇති එකම පහසුකම හුන්නස්ගිරිය නගරයට යාමට සහ ඒමට දවසට දෙවරක් පමණක් ධාවනය වන වෑන් රථයක් පමණි.
මීමුරේ ගම්මනායට යන අය අතරමගදී නවනගල, කොබෝනීල, ලූල්වත්ත, අට්ටලවෙට්ටුව, කුඹුක්ගොල්ල, කරඹකැටිය, කයිකාවල යන ගම් පසු කරයි. නවනගල සහ කොබෝනීල යන කුඩා ගම්මාන වල දමිළ ප්‍රජාව ජීවත් වේ.
අට්ටලවෙට්ටුව මීමුරේ මාර්ගයේ ඇති සුළං කපොල්ලක් වේ. අට්ටලවෙට්ටුවෙන් තංගප්පුව, උඩිස්පත්තුව, තෙල්දෙණිය ගම්මාන වලට යෑමට භාවිතා කරන අතුරු මාර්ගයකි. මීමුරේ සංචාරයේ යෙදෙන අයෙකුට කුඹුක්ගොල්ල ගම්මානයෙන් පුරාණ වෙඩිලුණු ගුහාවට මාර්ගය දැකගත හැකි අතර කරඹකැටිය නම් ගම්මාන්යෙන් අළුගල්ලෙනට මාරගය වැටී ඇත.
මීමුරේ ගම්මානයට පිවිසි විගස මුලින්ම නෙත ගැටෙන්නේ මීමුරේ පුරාණ මී ගසයි. ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය දැකගත හැකිය. මීමුරේ ගම්මනයේ සංකේතය බවට ප්‍රකට ලකේගල ඈත අතීතයේ පටන් මීමුරේ ගම ආරක්ෂා කරනා ද්වියෙකු ලෙස ගම් වැසියන් විස්වාස කරයි. බටහිර හා වයඹ දිශානුගතව විහිදෙන්නේ තවත් සුප්‍රකට කඳු වැටියක් වන තුන්හිස්‌ගල කඳුවැටියයි.
නිරිතදිග සිට දකුණට බරව මීමුරේට දිස්‌වන්නේ අළුගල් ලෙන කඳුවැටියයි. කඳු හෙල් මත පතිත වන හිරු රැස් විවිධාකාර හැඩතල මවන අතර රාත්‍රී කාලය එළැඹෙත්ම මේ කඳු මුදුන් මතින් මීදුම ගලා එයි. කිරිගල් පොත්ත, ගොම්බානිය, නකල්ස්, කොබෝනිල්ලගල, දොතළු ගල, කළු පහන, වමාරපු ගල, ලකේ ගල, ලබු පැලැස්ස පතන, දුම්බොන ගල, ගල් කුල, ඇදිරි ගල , යහන් ගල ආදි වශයෙන් මී මුරේ වටා නැඟී හිඳින කඳු වැටි ගණනාවකි.
මීමුරේ ගම්මනයේ වනයට වන්නට පහලට රූටා වැටෙන දිය ඇලි ගනනාවකි. ඔයබොක්ක දියකැරැල්ල, දලුක්ගොල්ල, ගලමුදුන අහස්ගව්ව ඇල්ල, කලුපහන පිණිසිළු ඇල්ල, ඔයබොක්ක සේදමල් ඇල්ල, කළුකැලේ ගල්තුඩු ඇල්ල ඉන් කිහිපයකි. යුරෝපීය ආක්‍රමණයන් හමුවේ රාජසිංහ රජුට සැඟව සිටීමට මීමුරේ වරිච්චියෙන් සැකසූ මැද මිදුලක් සහිත ඉපැරණි නිවෙසක් තව ම ඇත.
මේ වන විට පවුල් 100 ක් පමණ මීමුරේ ජීවත් වන අතර මෙය ශ්‍රී ලංකාවේ පැරැණිතම ගම්මානයකි. මීමුරේ ගම්මානය උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වේ. ගමට පිවිසෙන ඕනෑම කෙනෙකුට හෙල්මළු ක‍්‍රමයට වගා කළ රමණීය වෙල්යාය ත් කඳු මුදුනින් ගලා එන ගම්මානයේ සාරයේ මූලය වන මී ඔය නොහොත් දිමිගල් ඔය ද් දැකිය හැක. මහවැලි නදියට ජලය සපයන ප්‍රධාන අතු ගංගාවක් ලෙසට අවසානයේ එක් වෙයි. මී ගස අසලම ඇති මීමුරේ කනිෂ්ඨ පාසලත් ඉහළ කුඹුරේ කෙළවරට වන්නට තිබෙන කුඩා දේවාලයත් කුඩා වෙලදසැල් හා කුඩා පන්සල මීමුරේදී දක්නට ලබෙන ස්ථාන කිහිපයක් වේ.
සිනාවෙන් මුව සරසාගෙන සිටින මිමුරේ ගම් වැසියන් ස්වයංපෝෂිත ආර්ථිකයක් හිමි පිරිසක් වේ. කුඹුරු ගොවිතැන අවුරුද්දට එක කන්නයක් සිදුකර අනෙක් කන්නයේ බෝංචි අතුරු බෝග ලෙස කුරහන්, තල, මෙනේරි, මිරිස්, බඩඉරිගු ආදිය ද කිතුල්පැණි හා හකුරු නිෂ්පාදන බොහෝවිට දැකගත හැකිය.
සාමාන්‍ය පෙළට පමණක් ඉගෙනීම සිදු කරන මීමුරේ දරුවන් ඉන් පසු තම දෙමව්පියන්ගේ කුඹුරු ගොවිතැන් වලට හවුල් වී වැඩ කරයි. දේශීය කුඹුරු ගොවිතැනේ සුන්දරත්වයේ අත්දැකීම මීමුරේ සංචාරයේ දී නිතැතින්ම විද ගත හැකිය. එමෙන් ම මනා ජෛව විවිධත්වයකින් හෙබි වනාන්තරය තුළ නිදහසේ ඇවිද යාමටත්, කඳවුරු තනා දින කිහිපයක් රැඳී සිටීමටත්, කඳු තරණය කිරීමටත්, මී ඔයේ ත‍්‍රාසජනක ජල කී‍්‍රඩාවල නිරත වීමටත්, අලූ කෑදැත්තා ඇතුලු ලංකාවට ආවේනික සත්ව විශේෂ නැරඹීමටත් සංචාරකයන්ට අවස්ථාව හිමි වේ.
ගම්මානයට ආවේණික වූ මඩු පිට්ටු , මඩු වැලිතලප වැනි ආහාර රස විදීමට හා පිරිසිදු කිතුල් රා වලින් පදම් වීමටත් මීමුරේ ගම්මානය කදිම තෝතැන්නකි. සෑම වසරකම දෙසැම්බර් මාසයේ ඉහළ ම වර්ෂාපතනය ලැබෙන මීමුරේ ගම්ම්මානයට සුන්දරම කාලය ලෙස ජනවාරි සිට මැයි මස දක්වා හැදින්විය හැක. ජුනි මාසය වියළි කාලගුණයක් පෙන්නූවත් ගොයම් කපන කාලය වන නිසා මෙය නැරඹීමට එන සංචාරකයන් නිසා මීමුරේ අවුරුද්ද පුරාම සංචාරක පරාදීසයක් වේ. මීමුරේ සංචාරය කරන්නන්ට නවාතැන් පහසුකම් ද ගැමි ස්වරූපයෙන් ම ඉදි ව ඇත. මීමුරේ සංචාරය කරන විට නිසි මග පෙන්වීමක් ලබා ගන්නේ නම් මේ සුන්දර ගම්මානයේ සුන්දරත්වය මග නොහැරෙනු ඇත. වර්තමානයේ ඉහළ සංචාරක ආකර්ෂණය සමග පැමිණෙන්නන් මේ සුන්දර ගම කැළිකසළ කලාපයක් බවට පත් කර ඇත. එය එසේ නොවී මතු පරපුරට ද දායාද කිරීම අප සතු වගකීමයි. සංචාරකයන් වන ඔබේ යුතුකම මෙයින් පිටව යන විට මතක සටහන් පමණක් රැගෙන පා සටහන් පමණක් ඉතුරි කර යාමයි.
මූලාශ්‍ර
www.youtube.lk
www.facefook.lk
www.silumina.lk
www.saaravita.lk
www.lady.lk
No comments:
Post a Comment