බෞද්ධයන්ගේ පූජා නගරය ලෙස අනුරාධපුරය
හදුන්වා දෙන්නට හැක. මෙරට දහස් ගණන් බෞද්ධ ජනයාගේ පාදස්පර්ශයට පාත්‍ර වන අනුරාධපුර
පින් බිම කාල සීමාවකින් තොරව වන්දනාමාන කර ගත හැකිය. ලංකාවේ උතුරුමැද පළාතේ අගනගරය
වන අනුරාධපුරයේ ආරම්භය ඉතා ඈත අතීතයට විහිදෙයි. විජය රජුගේ අනුරාධ නම් ඇමති ස්වකීය නාමය මුල් කොටගෙන අනුරාධගාම
නමින් ඉදි කළ ග්‍රාමය පසුව අනුරාධපුර බවට පත් විය. සොළී ආක්‍රමණය නොවන්ට මෙරට සෑම රජකුගේ
ම වාසස්ථානය වූයේ අනුරාධපුර නගරය යි. එදා
ශ්‍රී ලංකාවේ අගනුවර වූයේ ද මේ පුණ්‍ය
භූමිය යි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිද්ධස්ථාන "සොළොස්මස්ථාන" එනම් ස්ථාන 16 බව
"මහියංගනං නාගදීපං" යන පාලි ගාථාව තුළින් පෙන්වා දී ඇත. මෙම සිද්ධස්ථාන
දහසය අතුරෙන් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය, ථූපාරාමය,
අභයගිරිය, ජේතවනාරාමය හා සේල චෛත්‍යය යන ස්ථාන 07 ම පිහිටා තිබෙන්නේ ඵෙතිහාසික
අනුරාධපුර ශුද්ධ භූමියේ ය. අටමස්ථානය නමින්
හදුන්වන්නේ ඒවාය.
අටමස්ථානය නමින් හැඳින් වූ සිද්ධස්ථාන
කලින් කළ වෙනස් වී ඇත. මුල් වරට අටමස්ථානය යන වචනය සඳහන් ව ඇත්තේ දඹදෙණි සමයේ රචිත
පූජාවලියෙහි ය. අනුරාධපුර රාජධානියේ පරිහානියත් සමග එය
ජනශූන්‍ය ප්‍රදේශයක් විය. එහි වෙහෙර විහාර
ද ක්‍රමයෙන් ගරා වැටෙන්නට විය.
නමුත් අටමස්ථානයට අයත් ස්ථාන ලෙස,
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
රුවන්වැලි මහා සෑය
ජේතවනාරාමය
අභයගිරිය
මිරිසවැටිය
ලංකාරාමය
ථූපාරාමය
ලෝවාමහාපාය
යන ස්ථාන වන්දනාමානයට පාත්‍ර වේ. දැනට අනුරාධපුර අටමස්ථානය වශයෙන් ද
සලකනුයේ ද මෙම සිද්ධස්ථාන අටයි. ශ්‍රී ලංකාවේ නොයෙකුත් පළාත්වලින් සංචාරක
බැතිමතුන් අනුරාධපුරයට වන්දනාවේ පැමිණෙයි. මෙම බෞද්ධ සිද්ධස්ථාන පාලනය වන්නේ අනුරාධපුර අටමස්ථානාධිපති නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාරක සභාවක් මඟිනි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
අනුරාධපුරයේ පූජනීය ස්ථාන අතර මුල්
වන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. අනුරාධපුර මහමෙවුනා උයනේ ලෝවාමහාපාය අසල
උඩමලුවේ එය පිහිටා තිබේ. අනුරාධපුරයේ පූජනීය වස්තූන් අතර ඵෙතිහාසික උරුමයක් ඇති පූජනීය වස්තුව ජය ශ්‍රී මහා බෝධීන්
වහන්සේ ය. ජය ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩමවන ලද්දේ
දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීම මත දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ විශේෂ අනුග්‍රහය මත ය.
සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් වැඩම වන ලද
ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි භූමියේ
තවත් පරිවාර බෝධීන් වහන්සේ රැසක් රෝපණය කර තිබේ. ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ
ආරක්ෂාව සඳහා ය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට
අධිගෘහිතව සිටින්නේ කළුදේවතා බණ්ඩාර නොහොත් විෂ්ණු දෙවියන් බව සාම්ප්‍රදායික
පිළිගැනීම යි. ශ්‍රී මහා බෝධිය උදෙසා ආගමික පූජා රැසක් පැවැත් වේ. එහි අලුත් සහල්
මංගල්‍යයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. අලුත් අවුරුදු මංගල්‍යය ද, පැරැණි අවුරුදු
මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන උත්සව ද ශ්‍රී මහා බෝධින් වහන්සේ හා බැඳුණු ආගමික
උත්සව පවතී.
රුවන්වැලි මහා සෑය
සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම වෛත්‍යය
වශයෙන් සැලකෙන්නේ රුවන්වැලි මහා සෑයයි. මෙය දුටුගැමුණු රජු කරවන ලදුවත් සද්ධාතිස්ස
රජු විසින් වැඩ නිමවන ලදි. ස්තූපය එකල අඩි 120ක් පමණ උසින් යුතු
වේ. කාලයාගේ ඇවෑමෙන් රුවන්වැලි මහා සෑය ගරා වැටෙන්නට විය. එය ප්‍රතිසංස්කරණයට
නාරංවිට සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ දායකත්වය හිමි විය. ප්‍රතිසංස්කරණයෙන්
පසු ස්තූපයේ උස අඩි 338 කි. විෂ්කම්භය අඩි 294 කි. පරිමාව අඩි 942 කි. රන් ආලේප කළ
කොත සහ චූඩා මාණික්‍යයේ උස අඩි 25 කි. රුවන්වැලි මහා සෑය අක්කර පහක හතරැස් මලුවක්
මත පිහිටා තිබේ. මලුවේ එක් පැත්තක දිග අඩි 465 කි. ඒ වටා තිබූ පුරාණ ඇත් පවුර
වෙනුවට අලුත් ඇත් පවුරක් ද තනවා ඇත.
ජේතවනාරාමය
අනුරාධපුර දාගැබ් අතර වඩා විශාල වන්නේ ජේතවනාරාම දාගැබයි. මහසෙන් රජු විසින් කරවන ලද එය මහා පරිමාණ
ස්තූපයකි. වත්මන වන විට එය නටබුන්
ස්මාරකයක් ලෙස දක්නට ලැබේ. ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කර ඇති
ජේතවනාරාම ස්තූපයේ විෂ්කම්භය අඩි 370 කි. දැනට අඩි 231 ක පමණ උසින් යුක්ත වන අතර
අතීතයේ දී අඩි 400ක් උස් වූ බව කියැවෙයි. දාගැබ් මලුව අක්කර 7ක බිමක් වසා සිටියි.
ස්තූපය වටා වාහල්කඩ සතුරකුත්, දාගැබ් මලුව වටා ඇත් පවුරකුත් තනවා තිබේ.
බුදුරදුන්ගේ පටී ධාතුවෙහි කොටසක් මෙහි තැන්පත් කොට ඇති බව මූලාශ්‍ර වල සඳහන් වෙයි.
අභයගිරිය
අභයගිරි විහාරයේ ප්‍රධාන ස්මාරකය ,
පූජනීය ගොඩනැඟිල්ල අභයගිරි ස්තූපය යි.
අනුරාධපුර නගරයට උතුරු දෙසින් පිහිටා ඇත. යුද්ධයෙන් පරාද වූ වළගම්බා රජු ගිරි
නිගණ්ඨයා විසූ ආරාමය අසලින් යන විට එහි
වාසය කළ උන් මහා කලු සිංහලයා පැන යනවා යැයි කියා රජුට විහිළු කළ බව
මහාවංසයෙහි දැක්වෙයි. පසු කලෙක සතුරන් පළවා හැර රාජ්‍යත්වය
හිමි කර ගත් එතුමා තම නමේ අග කොටස හා ගිරි නිගණ්ඨයා ගේ නම ද යෙදෙන පරිදි අභයගිරිය
යැයි විහාරයක් කරවීය. එය පූජා කළේ රජුට බොහෝ උපකාර කළ මහාතිස්ස හිමියන්ට ය.
මුල් කාලයේ අභයගිරි ස්තූපය අඩි 400 ක්
උස වූ අතර එය ඉන්දියාවේ කණිෂ්ක රජුගේ අඩි 638ක් උස ස්තූපයට පමණක් දෙවැනි විය. දැනට
අභයගිරි විහාරයේ දක්නට ලැබෙන්නේ 12 වැනි ශත වර්ෂයේ දී මහා පරාක්‍රමබාහු රජු විසින්
අඩි 350ක් උසට ප්‍රතිසංස්කරණය කරන ලද ස්තූපය යි. මෑත යුගයේ මෙය ප්‍රතිසංස්කරණය කරවීය. දැනට මෙහි උස අඩි
245 කි. විෂ්කම්භය අඩි 587 කි. සුප්‍රකට සමාධි පිළිමය පිහිටා ඇත්තේ ද අභයගිරි භූමි
ප්‍රදේශයේ ය.
මිරිසවැටිය
දුටුගැමුණු රජු විසින් ප්‍රථමයෙන් ම
ඉදි කරවන ලද දාගැබ මිරිසවැටිය යි. මෙය ඉදිකොට තිබෙන්නේ තිසා වැවත්, අභය වැවත් අතර
පිහිටි භූමි භාගයක ය. තිසා වැවේ ස්නානයට යන කල දුටුගැමුණු රජතුමාගේ ජයකුන්තය
එක්තරා ස්ථානයක සිටුවා ගියේ ය. ස්නානය අවසන් කොට පැමිණි රජතුමාට එය ආපසු ගැනීමට
නොහැකි විය. විශ්මය දනවන ලෙස එය එතැනම සවි වී තිබෙනු රජුට දැනිණ. රජු තම ජයකුන්තය
වැසෙන සේ දාගැබක් බැඳ වූයේ ය. එය මිරිසවැටිය යි. තව ද සංඝයා වහන්සේට පූජා නොකොට
තමන් අනුභව කළ මිරිස් මාළුවක් ගැන සිහිපත් කළ දුටුගැමුණු රජු එයට දඬුවමක් වශයෙන්
මෙම ස්තූපය ඉදි කළ බව මහාවංසය කියයි. මිරිසවැටි යන නම ලැබුනේ ද එහෙයිනි.
දුටුගැමුණු රජු සිහසුනට පත් වූ කල්හි ම ආරම්භ කළ
මෙම වෛත්‍යයේ වැඩ අවසන් කිරීමට වසර තුනක් ගත වූයේ ය. පළමු වැනි ගජබාහු රජු මෙම
චෛත්‍යය විශාල කොට එහි විසූ මහා සංඝයාට ගම් වරයක් ද පූජා කළේ ය. වෝහාරිකතිස්ස රජු
ඡත්‍රය ප්‍රතිසංස්කරණය කොට පවුර ද කරවීය. 5 වැනි කාශ්‍යප රජු ස්තූපය හා විහාරයේ
සියලු ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කරවීය.
බෞද්ධ පූජනීය වස්තූන් විනාශ කිරිමෙහි
යෙදුණු සතුරු ආක්‍රමණිකයන්ගේ ප්‍රහාරවලට මිරිසවැටිය ද හසු වී විනාශ වී පැවති
හෙයින් පසුව මහා පරාක්‍රමබාහු රජු එය අසූ රියනක් වන සේ විශාල කළේ ය. මිරිසවැටිය
ස්තූපයේ මුලින් තිබුණු උස ගැන මහාවංසයේ සඳහන් නොවේ. පසුව එය ප්‍රතිසංස්කරණය කොට
ඇත්තේ අඩි 160ක් උසට ය.
ලංකාරාමය
වළගම්බා රජු කරවූ සිලසොබ්භඛණ්ඩක චේතිය
වර්තමාන ලංකාරාමය ලෙස හඳුනාගෙන තිබේ. රජ බිසව වූ සෝමා දේවිය ගේ ඉල්ලීම මත කරවූ
මණිසෝමාරාමය එම ස්තූපය සහිත සංඝාරාමයේ මුල් නම විය. කණිට්ඨතිස්ස රජු එයට විශාල
පිරිවෙනක් කරවා ස්තූපයට ථූපඝරයක් ද ඉදි කරවීය. ගෝඨාභය රජු ථූපඝරය ප්‍රතිසංස්කරණය
කරවීය.
ලංකාරාම ස්තූපය හා ථූපඝරය දරා සිටින
වෘත්තාකාර පාදම වේදිකා දෙකකින් යුක්ත ය. දෙකේම මුළු උස අඩි 8 අඟල් 5කි. පහළ
වේදිකාවේ විෂ්කම්භය අඩි 44 අඟල් 2 කි. උස අඩි 03 අඟල් 08කි. යට වේදිකාව ගලින් තනවා
තිබේ. උස වේදිකාව මුළුමනින් ම ගඩොලින් තනවා තිබේ. එහි උස අඩි 4 අඟල් 1කි. එහි
විෂ්කම්භය අඩි 40 කි.
ලංකාරාම වෛත්‍යයේ විෂ්කම්භය අඩි 38ක්
වෙයි. ඉහළ වේදිකාවේ සිට ස්තූපයේ අවශේෂ කොටස් එනම් හතරැස් කොටුව මුදුනට උස අඩි 33
අඟල් 7කි. නැගෙනහිරින් දකුණින් හා උතුරින් පඩි පේළි සහිත දොරටු තුනකි.
ථූපාරාමය
ථූපාරාමය අනුරාධපුරය මහා ආවාස පහෙන්
එකකි. මහින්දාගමනයෙන් පසු ලංකාවේ ඉදි වූ මුල්ම ඵෙතිහාසික ස්තූපය ථූපාරාමය යි.
ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වූ දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරවන ලදී. රුවන්වැලි
මහා සෑයට මඳක් උතුරු දෙසින් ද, අභයගිරියට දකුණින් ද අභය වැව හෙවත් බසවක්කුලමට ඊසාන
දෙසින් ද ථූපාරාමය පිහිටියේ ය.
මෙම දාගැබෙහි නිධන් කොට ඇත්තේ
බුදුරදුන්ගේ දකුණු අකු ධාතුන් වහන්සේ බව මහාවංශයේ සඳහන් වෙයි. බුදුරදුන් තෙවැනිවර
ලක්දිවට වැඩම වූ අවස්ථාවේ දී සුළු වේලාවක් සමාධියෙන් වැඩ සිටීමෙන් පාරිශුද්ධත්වයට
පත් වූ භූමි ප්‍රදේශයක මෙම ථූපාරාම දාගැබ පිහිටා තිබේ.
පොළෝ මට්ටමෙන් අඩි 11 1/2ක් උස කවාකාර
වේදිකාවක් මත ථූපාරාමය පිහිටා තිබේ. මෙම කවාකාර වේදිකාවේ විෂ්කම්භය අඩි 164 අඟල් 6
කි. වෛත්‍යයේ විෂ්කම්භය අඩි 59ක් වන අතර උස අඩි 63 කි. සෙල්ලිපිවල ථූපාරාමය
හඳුන්වා ඇත්තේ “ තුඹරුප් වෙහෙර” යනුවෙනි. එකල ථූපාරාමය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත
වූ බව විශ්වාස කෙරේ. වර්තමානයේ දක්නට ඇත්තේ වර්ෂ 1862 ප්‍රතිසංස්කරණ අවස්ථාවේ දී
නිර්මාණය කළ ඝණ්ඨාකාර ස්වරූපය යි.
ලෝවාමහාපාය
ලෝවාමහාපාය යනුවෙන් හැඳින්වෙන්නේ මහා
විහාරයේ පොහොය ගෙය යි. ශ්‍රී මහා බෝධියත්, රුවන්වැලි මහා සෑයත්, අතර නැගෙනහිර
පැත්තට බරව ලෝවාමහාපායෙහි නටබුන් පිහිටා තිබේ. එක් පේළියකට මහා ගල් කුළුණු 40
බැගින් පේළි හතළිහක මුළු ගල්කණු සංඛ්‍යාව 1600 කි. දැනට පෙනෙන අන්දමින් එම ගල් කණු
සිටුවා ඇත්තේ මහා පරාක්‍රමබාහු රජුගේ නියමය පරිදි ය. ගල්කණු තිබෙන භූමිය හරි
හතරැස් වෙයි. යටින් ඇති අත්තිවාරම එක් පැත්තට අඩි 200 බැගින් වෙයි. මුල්
ලෝවාමහාපායේ පළල අඩි 200ක් විය.
මෙය ලෝවාමහාපාය නම් වූයේ දුටුගැමුණු
රජුගේ කාලයේ දී ය. ඒ නව මහලක් ඉදිකොට වහල තඹ උළුවලින් සෙවිලි කොට තිබූ නිසා ය. මෙම
ලෝවාමහාපාය දෙවනපෑතිස් රජු විසින් ඉදිකරවන ලද අතර පසුව එය දුටුගැමුණු රජු විසින්
නවමහල් කොට විශාල කරන ලදී. මහාවංසය සඳහන් කරන පරිදි මෙහි යට මාලයේ මාර්ගඵල නොලත්
පෘථග්ජන භික්ෂූන් වහන්සේ ද, දෙවැනි මහලේ ත්‍රිපිටකධාරි භික්ෂූන් වහන්සේ ද, තෙවැනි
සතර වැනි හා පස්වැනි මහල් හි පිළිවෙලින් සෝවාන් , සකෘදාගාමි, අනාගාමි භික්ෂූන්
වහන්සේ ද, පස්වැනි මහලේ නව වැනි මහල දක්වා රහතන් වහන්සේ ද වැඩ සිට ඇත.
අනුරාධපුර වන්දනාමාන යට යන සැදැහැවතුන්
හට මග නොහැර අටමස්ථානය වැද පුදා ගැනීමට හැකිය. නවාතැන් ලබා ගෙන නිස්කලංක ලෙස මෙහි ගමන් කළ හැකි
පහසුකම් පවතී. පොදු ප්‍රවාහන සේවයෙන් වගේ ම දුම්රිය මාර්ගයෙන් ද බැතිමතුන්ට
පැමිණිය හැක.
මූලාශ්‍ර
http://www.roar.media.lk
http://www.subasetha.lk
http://www.aruna.lk
http://www.budusarana.lk