දකුණේ පිහිටි රූමස්සල කන්ද තවත් එක් සුන්දර ස්ථානයකි. උණවටුන ප්‍රදේශයේ පිහිටි මෙම කන්ද ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇත. වනාන්තරයත් සමඟ කදු මුදුනේ පිහිටි කුඩා විහාරස්ථානයෙන් එය දුරට අලංකාර ස්වභාව සෞන්දර්යයෙන් හඳුනාගත හැකිය.
තෙත් කලාපයට ආවේණික ශාක වර්ග මෙන්ම වියළි කලාපයට ආවේණික කටු පඳුරු ශාක වර්ග ද, ශුෂ්ක රූපී ලක්ෂණ සහිත ශාක, කඩොලාන විශේෂ, වැලි තලා, මුහුදු වෙරළ ආශ්රිත ශාක වර්ග රූමස්සල කන්දේ හා ඒ අවට පරිසර පද්ධතියේ බහුලව දැකිය හැක. රූමස්සල යනු මුහුදු මට්ටමේ සිට මීටර් 110 පමණ උසින් පිහිටි රමණීය කඳු වැටියකි. මෙහි මුහුද දෙසට නෙරා ගිය තුඩු දෙකක් දැකිය හැකි අතර ඉන් එකක් ගාලු වරාය සඳහා යොදාගෙන ඇත. අනෙක් තුඩුවෙහි සුප්‍රකට වැල්ලේ දේවාලය පිහිටා ඇත. රූමස්සල උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණයන්ගෙන් සැකසී ඇත.
ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය වන්නේද රූමස්සල කඳුවැටියයි. ලොව ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා, මීට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයකින් රූමස්සල කඳුවැටිය නිර්මාණය වී ඇති බව සඳහන් කර තිබේ. ඇතැම් විද්‍යාඥයින් මෙය සූර්යයාගෙන් කඩා වැටුණු උල්කාපාතයක් ලෙසද හඳුන්වයි. ඇල්ෆඩ් වෙග්නර්ගේ මහද්වීප ප්ලාවිත සංකල්පයට අනුව මෙය ඉන්දියාව දෙසින් පාවී ආ හිමාලයේ කොටසකි.
මෙරටට පැමිණි ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා උණවටුන වෙරළ ආසන්නයේ වූ නිවසක (1970 සිට 1983 දක්වා) දීර්ඝ කාලයක් දිවි ගෙවමින් උණවටුන වෙරළේ සුන්දරත්වය විඳිමින් ඒ පිළිබඳව විදේශීය සඟරාවලට ලිපි ද සම්පාදනය කරනු ලැබ ඇත. උණවටුන මුහුදු වෙරළ ලොව ඇති සුන්දරම සහ මනස්කාන්ත වෙරළ 13 අතුරින් ප්රමුඛ ස්ථානය ගන්නා බවද ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා සඳහන් කර තිබේ.
රූමස්සල බිහිවීම සම්බන්ධයෙන් ජනප්රවාදයේ එන්නේ රස මුසු කතා පුවතකි. ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණ රජු ඇයව රූමස්සල කන්දේ වූ ගල් ලෙනක සිර කර තබා ඇත. සීතා කුමරිය සොයා මෙරටට පැමිණි රාම රජු රාවණ රජු සමඟ සටන් කොට ඇය මුදා ගෙන ඇත්තේ රූමස්සල කන්දේ ඇය සිරකර තබා තිබූ ගල්ලෙන් දොරටුව අහුරා තිබූ දැවැන්ත ගල් කුළ ඔසවා විසි කර දමමිනි. ඒ අනුව රාම ඉස්සූ ගල යන අරුතින් ‘‘රාමස්සුගල’’ රූමස්සගල වී පසුව එය රූමස්සල යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බවට මතයකි.
රූමස්සල යන මග සාගරය දෙපසේ දසුන් සහ වෘක්ෂලතා හරහා ඇවිදීමට සැකසී ඇත. කඳු පාමුලට පිවිසෙන මාර්ගය පටු සහ ගල් සහිත වන අතර පයින් ගමන් කිරීම එහි සුන්දරත්වය විදින්නට හොඳම මාර්ගයයි. රූමස්සල නරඹන්නට පැමිණෙන්නට වැලි සහිත වූ වෙරළ තීරයේ විනෝදාස්වාදය ලැබීමට හැක. වනාන්තරයෙන් වැසී පවතින කන්දට යාබදව පිහිටි කුඩා බොක්ක ප්රදේශයකි. එය බොහෝ ප්‍රසිද්ධ ව ඇත්තේ 'ජංගල් බීච්' ලෙස ය. විදේශිකයන් සහ ස්වදේශිකයන් බොහෝ ප්‍රමාණයක් මේ ආශ්රිත මුහුදේ පිහිනන ආකාරයන් දැක ගත හැක. වෙරළට පසු කන්දට ඝන වනාන්තර වෘක්ෂලතා මැදින් ගමන් කළ යුතු අතර එහි උච්චතම ස්ථානයේ ගාලු වරායේ විශිෂ්ට ලෙස දර්ශනය වේ. "පෘතුගීසීන් එයට බුවනෝස් විස්ටා යන නම තැබුවේය. එහි තේරුම හොඳ දර්ශනය යන්නයි "
ඖෂධීය ශාක විශාල ප්‍රමාණයක් මෙන් ම මෙහි සත්ත්ව විශේෂ රැසකගෙන් ද පොහොසත් ය. කුරුල්ලන් විශේෂ අසූවක් සහ සමනලුන් විශේෂ හැත්තෑ පහකට වඩා මේ ආශ්‍රිතව සොයාගෙන ඇත. කඳුකරය ආසන්නයේ ඇති කෝවයේ ජලය සාගර ජීවීන් සහ කොරල්පර වලින් පොහොසත් ය.
වාල්මිකී විසින් රචිත රාමායණයේ සඳහන් වන පරිදි රාම රාවණ යුද්ධයේදී රාමගේ සොහොයුරු ලක්ෂ්මණයන් රාවණගේ හී සර පහරකින් විපතට පත්විය. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සුපේෂණ ගේ ඉල්ලීම පරිදි හිමාල අඩවියෙන් ඖෂධ පැළෑටි කීපයක් ගෙන එන්නට හනුමන්තාට නියම කෙරිණි. මිනිසුන් දෙදෙනෙකු ගැහැනියක වෙනුවෙන් කරන ලද අනුවන සටන ගැන සිතමින් හිමාලය බලා ගිය හනුමන්තාට ගෙන ඒමට නියම කළ ඖෂධ පැළෑටිවල නම් අමතක විය. මේ නිසා හිමාලයේ වූ ඖෂධ පැළෑටි සහිත කන්දක්ම ඔහු විසින් රැගෙන එනු ලැබීය. එහි වූ ජාතවිශල්‍ය, සාවර්ණපකරණි, යංජීවකරණි, සත්වාන යන ඖෂධ වර්ගවලින් ඖෂධයක් සකසා නැහැයට ළං කොට හුස්ම ගැන්වූ කෙණෙහිම ලක්ෂ්මනයන් සුවය ලබා සිටි බව සඳහන් වේ.
අවශ්‍ය ඖෂධ ලබා ගැනීමෙන් පසු හනුමන් රැගෙන ආ ඖෂධ පැළෑටි සහිත කඳු ශිඛරය දැමූ ස්ථානය රූමස්සල වූ බවටද මතයකි. හිමාල වනයේ පමණක් දක්නට ලැබෙන ඖෂධ පැලෑටි බොහොමයක් අදටත් රූමස්සල කඳුවැටියේ දක්නට ලැබීමද විශේෂත්වයෙකි.
අතීතයේ රූමස්සල සෘෂිවරුන් වාසය කළ බව ද ජනප්රවාදයෙන් තොරතුරු ලැබේ. ඔවුන් වාසය කළ බව කියන එහි වූ ගල් ලෙන් බොහොමයක් මේ වන විට ගල් බෝරකරුවන් විසින් ගල් බෝර ගසා විනාශ කර කළුගල් ලබා ගෙන ඇත. හිමාලයේ නොමැති ඖෂධ පැළෑටි පවා එවකට මෙහි තිබී ඇත. ඇතැමුන් ඉන්දියාවේ සිට ද දුර්ලභ ඖෂධ පැළෑටි සොයා මෙහි පැමිණ තිබේ. ඔවුන් ඖෂධ පැළෑටි වලට දැක්වූ ඉමහත් ගෞරවය නිසා ඒවා පෑගීමට අකමැත්තෙන් බිම දිගේ ඇදී ගොස් අවශ්‍ය කරන ඖෂධ පැළෑටි උදුරා ගත් බව පැරැන්නෝ කියති. අදටත් මෙම කඳුවැටියේ ඇති පැළෑටි වලින් බොහොමයක්ම ඖෂධ පැළෑටිය.
රූමස්සල කළුනික පවතින බවට ද ජනප්‍රවාද ගත ෙතාරතුරු ලැබේ. ඖෂධ පැළෑටි සොයා පැමිණි බ්‍රාහ්මණයකු තමන්ට අවශ්‍ය කරන කෑම බීම සකස් කර ගැනීම සඳහා නුදුරු ගමක විසූ ඉතාමත් වයෝවෘද්ධ අයෙකු කැඳවා ගෙන පැමිණ තිබේ. දිනක් බ්‍රාහ්මණයා ඖෂධ පැළෑටි සොයමින් සිටිය දී මහල්ලා දිවා ආහාරය සකස් කරමින් සිට ඇත. බත උයමින් සිට ඇති ඔහු එය පැසීගෙන එද්දී අසල වූ ගසකින් කෝටුවක් කඩාගෙන ඉන් බත කූරු ගා බත් ටිකක් අතට ගෙන ඒවා අනුභව කර ඇත. සුළු මොහොතකින් එම මහල්ලාගේ අබල දුබලකම් සියල්ල නැති වී ගොස් ඔහුට නව ජීවයක් ලැබුණු බව සඳහන් වේ. ඖෂධ පැළෑටි සොයා ගෙන පැමිණි බ්‍රාහ්මණයා බත කූරු ගෑ කෝටුව පරීක්ෂා කර එය කළුනික ලෙස හඳුනාගත් බවද කියති.
රූමස්සල ඈත අතීතයේ සිටම ‘‘රුහුණු ඔසු උයන’’ ලෙසින් හැඳින්විණි. 1991 දී කරන ලද අධ්‍යයනයකට අනුව ඖෂධ පැළෑටි 150ක් පමණ රූමස්සලින් සොයාගෙන තිබුණි. ඉන් ඖෂධ පැළෑටි වර්ග 141ක්ම රූමස්සලට ආවේණික වූ ඖෂධ පැළෑටි වර්ග වෙති. ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ කෙඩාලාන විශේෂයක් වන කෝන්තාලං ශාක කීපයක් ද වැල්ලේ දේවාල භූමියේ දැක ගත හැක. ලෙඩ රෝග 108කට ප්රත්යක්ෂ ගුණ දෙන ආයුර්වේදයේ එන ‘‘ගොපලු ගුළිය’’ නම් ඖෂධයේ ප්‍රධාන සංඝටකය ලෙස මෙම ගසේ ගෙඩි යොදා ගැනේ.
රූමස්සල විශාල පාෂාණ නිධියකින් සමන්විත වන අතර තෙත්, ශුෂ්ක හා වියළි යන කලාප තුනටම අයත් ශාක එහි දැක ගත හැක. කුලුනු කන්ද නමැති ප්‍රදේශයේ වියළි හා ශුෂ්ක කලාපීය ශාක හා වැල් වර්ග දැක ගත හැක. අක්කපාන, පතොක්, දළුක්, නවහන්දි, පලු, ඊතන සහ ඉලුක් ඉන් සමහරකි. උණවටුන රජයේ රෝහල පිහිටා ඇති ප්‍රදේශයේ හෙල්දොඹ, කොට්ටම්බා, දන්කෙන්ද, වල් දෙල්, ගොඩපර, වැනි වැසි වනාන්තරවල වැවෙන ශාක දැකගත හැක.
බටහිර වෙරළ තීරයේ මාවේවැල්, කිතුල්, ගොඩපර, කැරන් ආදී වැසි වනාන්තරවල වැවෙන ඖෂධීය ශාක දැකගත හැක. නිරිත හා දකුණු දිග පෙදෙසේ කඳු මුදුන් හි රත් මල්, මාදං, හිඹුටු වැනි ශුෂ්ක කලාපයේ වැවෙන පඳුරු දැක ගත හැක. රූමස්සල ආශ්‍රිතව දර්ශණීය සමනල විශේෂ 84ක් ද, නිරීක්ෂණය කළ හැකිය. පක්ෂි විශේෂ 72ක් නිරීක්ෂණය කළ හැකි අතර ඉන් මුහුදු රාජාලීන්ට සහ මුහුදු ලිහිණියන්ට විශේෂ තැනක් හිමි වේ. දඬු ලේනුන්, මුවන්, මීමින්නන්, පඳුරු කොටියන්, ඉත්තෑවුන් වැනි ක්ෂීරපායී සතුන්ද, නයා, පිඹුරා, පොළඟා, ඇහැටුල්ලා, පොළොන් තෙලිස්සා, මාපිලා වැනි සර්ප විශේෂයන්ද රූමස්සල දී දැකගත හැක.
ලෝක සංරක්ෂණ සංගමය (ICUN) 1993 ප්‍රකාශයට පත් කළ ජාතික තත්ව වාර්තාවට අනුව ලොව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි නම් කර ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36ක්ම බොනවිස්ටා කොරල් පරයේ ජීවත් වෙති. මෙම කොරල් පරයයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ 64ක්ම මෙරට වෙනත් කිසිදු ස්ථානයකින් වාර්තා වී නොමැත. කොරල් පරයක විශිෂ්ටත්වය මනිනු ලබන්නේ එහි වෙසෙන පනාවන් විශේෂ (Butterfly fish) සංඛ්‍යාව අනුවය. පනාවන් විශේෂ 36න් 25ක් මේ වන විට මෙම කොරල් පරයෙන් හමු වී තිබේ.
සියයට 71ක් සජීවී කොරල්වලින් සමන්විත මෙහි පසැඟිල්ලන්, ඉකිරියන්, ඉස්සන්, කකුළුවන්, මුහුදු පනුවන් වැනි කොඳු ඇට රහිත සත්ව විශේෂ 300 පමණ වන අතර වන සත්ව වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇති කොඳු ඇට පෙළ රහිත සත්ත්ව විශේෂ 89න් විශේෂ 39ක් මෙම කොරල් පරයේ වෙති.
මෙම කොරල් පරයේ වෙසෙන තවමත් හඳුනාගෙන නොමැති සත්ව විශේෂ සංඛ්‍යාව හඳුනාගෙන ඇති සත්ව විශේෂ සංඛ්‍යාවට වඩා හතර ගුණයක් පමණ විය හැකි බව පර්යේෂකයින්ගේ මතයයි. 20 වැනි සියවස මුල භාගයේ ගාල්ලේ ජීවත් වූ ‘‘බෙනට්’’ නමැති විද්‍යාඥයෙකු මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 15 පමණ අලුතින්ම ලෝකයට හඳුන්වා දීමට සමත්ව තිබුණි. මෙය සමුද්‍රික මත්ස්‍ය ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියක් ලෙස සැලකේ.
රූමස්සල පලතුරු උයනක් පවතින බවත් එය දැක ගත හැක්කේ මං මුළා වී කුසගින්නේ අතරමං වූවකුට පමණක් බවත් ජනප්රවාදයේ සඳහන් වේ. කුසගින්න නිවා ගැනීමට ඇති තරම් පලතුරු මෙහිදී අනුභව කළ හැකි බවත්, පලතුරු රැගෙන ඒමට කිසිවෙකුටවත් නොහැකි බව ඒ අය කියති.
රූමස්සල කඳුවැටියේ දකුණු දිග දළ බෑවුමේ කුඩා කරදිය මලක් හෙවත් හුම්මානයක් දැකිය හැක. ඉන් වාරකන් සමයේදී මීටර් කිහිපයක් උසට මුහුදු රළ විහිදෙනු දැක ගත හැකිය. රූමස්සල කඳු වැටියේ බෑවුම් දෙකක් අතර පිරිසිදු ජලය ගලා හැලෙනා ‘‘බෙහෙත් දොළ’’ ලෙසින් හැඳින්වෙන දොළ පහරක් ද දැකිය හැක. මෙයින් දිය නෑ විට ‘‘දෙයියන්ගේ ලෙඩ’’ ඇතුළු බොහෝ ලෙඩ සුව වන බවට ද ප්‍රදේශවාසීන් තුළ විශ්වාසයක් පවතී. කළු ගල් කැඩීමත්, වනාන්තරය විනාශ කිරීමත්, හේතු කොට මෙම බෙහෙත් දොළ මේ වන විට සිඳී යාමට ලක් ව ඇත.
කඳු නැගීමට සහ සොබාදහමට සමීපව සිටීමට කැමැත්තක් දක්වන්නන්ට රූමස්සල සැබවින්ම සංචාරය කිරීමට සුදුසුම ස්ථානයකි. එහි ජනප්‍රියත්වයට කඳුකරය සහ ඒ ආශ්රිත වෙරළ නිරන්තරයෙන්ම පාහේ දේශීය හා විදේශිකයන්ගෙන් පිරී පවතී. එ නිසා ම බොහෝ විට එය තරමක් ඝෝෂාකාරී සහ දූෂිත වී ඇත. රූමස්සල එක් වරක්වත් නැරඹිය යුතු ආකර්ශනීය ස්ථානයක් ලෙස පෙන්වා දිය හැක.
මූලාශ්‍ර :
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන් - C.G. ඌරගොඩ (2000) ප්රකාශනය
https://www.lankadipa.lk
https://www.womanly.lk
❤
ReplyDelete