Friday, January 27, 2023

කල්පිටියේ බත්තලංගුණ්ඩුවට රවුමක්

මෑතකාලීනව කතාබහට ලක් වූ සංචාරක ආකර්ෂණය දිනාගත් පාරාදීසයන් අතර කල්පිටිය අර්ධද්වීපය අවට පිහිටා ඇති දූපත් වළල්ලේ කේන්ද්‍රිය ස්ථානයක් ලෙස බත්තලංගුණ්ඩුව දූපතට සුවිශේෂිත්වයක් හිමි වේ.

වයඹ පළාතේ  පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශය එක් පසක් සුන්දර වූ කලපු තීරයකින් ද අනෙක් පස නිල්වන්  මුහුදු තීරයෙන් ද වට වී ඇත. බත්තලංගුණ්ඩුව  දූපත ඈත අතීතයට නෑගම් කියන පාරම්පරික දූපතක් වේ. මෙහි ජනාවාස පිහිටා තිබීම එහි අපූර්වත්වය දෙගුණ තෙගුණ කරවන කරුණකි. ඈත ක්ෂිතිජයේ සිට නරඹන්නෙකුට මේ දූපත පෙනෙන්නේ මීදුමෙන් වැසී ගිය ලෝකාන්තයක් ලෙසිනි. මෙහි ජීවත් වන බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය  ධීවර කර්මාන්තයයි.

කල්පිටිය නගරයේ සිට මුහුදු සැතපුම් 30-40ක් පමණ දුරක් ගෙවා මුහුද මතින් ගමන් කර මේ දූපත වෙත යෑමට හැකිය. ඒ අත්දැකීම හේතුවෙන් දූපතට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙයි. කල්පිටිය නගරයට පැමිණෙන්නා වූ දෙස් විදෙස් සංචාරකයන් බත්තලංගුණ්ඩුව දූපතට සංචාරකයක් යෑම අනිවාර්යයෙන් සිදු කරන්නකි.

සංචාරකයන්ගේ ආකර්ෂණය වගේ ම සංචාරක පාරාදීසයේ සොඳුරු තෝතැන්නක් බවට මේ දූපත පත්ව තිබේ.  විශේෂිත වූ ජෛව පරිසර පද්ධතියකට හිමිකම් කියන මේ දූපත තුළ මසුන් විශේෂ රැසක් දැක බලා ගැනීමේ හැකියාවක් තිබේ.

ඩොල්ෆින් මත්ස්‍යයන්  සහ අනෙකුත් මසුන් නැරඹීම සඳහා සංචාරකයන් බහුතරයක් මේ දූපතට පැමිණෙති.  රටාවකට  පාවෙන බෝට්ටු වලින් වෙරළ බඩ මුහුද අලංකෘත වේ.  දැල් එළා අල්ලා ගන්නා මත්ස්‍ය අස්වැන්න දැක බලා ගැනීමට බොහෝ සංචාරකයින් අමතක නොකරයි. අමුතුම අලුත් අත්දැකීම් රැසක් එක් කර ගැනීමට මෙහි පැමිණෙන සංචාරකයන් හට හැකිය.

දේශගුණික මෙන්ම කාලගුණික විපර්යාසයන්  මෙහි ජීවත් වන නිතර මුහුණ දීමට සිදු වන ස්වාභාවික ආපදාවකි.  මෙහි ජීවත් වන පිරිස උග්‍ර පානීය ජල ගැටලුවකින් පෙළෙති. මොවුන් සිය පානීය ජල අවශ්‍යතාවය සපුරා ගනු ලබන්නේ සාගරයට ඔබ්බෙන් පිහිටා ඇති වෙරළ තීරයේ අතින් හාරා කුඩාවට සැකසූ වළවල් තුළ තැන්පත් ජලයෙනි. මෙකී වළවල් ඔවුන් හඳුන්වනු ලබන්නේ ඌත්තු ලෙසිනි.  වැලි මිරිකා වතුර බොන ඇත්තෝ ලෙස මොවුන්ව හදුන්වයි.

මේ දූපත තුළ පාසලක්, පල්ලියක්, පොලිස් මුරපළක් ඇතුලු ව  ලෑලි වලින් ඉදි කළ හා පොල් අතු වලින් තැනූ මඩු තැනින් තැන දක්නට ලැබේ.  ගලින් ඉදි කළ එක නිවෙසක් දෙකක්  කලාතුරකින් දැකිය හැක. ජල විදුලි පහසුකම් නොමැතිව ජීවත් වන මොවුන් දුෂ්කර දිවියක් ගෙවා දමයි.

ඔවුන් අල්ලා ගන්නා මසුන් වෙළෙඳපොළට අලෙවි කර ඉතිරි මසුන් කරවල ලෙස වියළීම සිදු කරනු ලබයි. එම  කරවල ලංකාව පුරා සෑම පළාතකම අස්සක් මුල්ලක් නෑර මහත් ප්‍රසිද්ධියක් උසුලයි. බත්තලංගුණ්ඩු කරවල සඳහා වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවති. මේ කරවල අතරට කීරමීන් සාලයා, හුරුල්ලා,  වැනි කුඩා වර්ගයේ මත්සයන් අයත් වේ.

මෙහි සිටින ඕනෑම අයකුට මුහුද තරණය කිරීමට සහජ හැකියාවක් පවතී. ඕනෑම අයෙකුට බෝට්ටු යාත්‍රා  කිරීමේ හැකියාව ද පවතී. හදිසි අවස්ථාවකදී රෝහලක් සොයා මුහුදු සැතපුම් 30-40ක් මුහුද තරණය කිරීමට සිදුවේ. එය පැය 3-4 ගත වන්නකි.  කිසිදු වාහනයක් දූපතට ඇතුළු කිරීමට නොහැකි ලංකාවේ පිහිටා ඇති එකම සහ විශාලතම දූපත ලෙස මෙය වේ.

මෙහි පවුල් විශාල ප්‍රමාණයක් ජිවත් වෙති. සමහරු පොල් ගස් සිටුවා ගෙන ඇත. ඒවා  වසර 80ක් පමණ ඉපැරණි බව පෙනේ. කරවල මිල දී ගැනීම සඳහා තොග සහ සිල්ලර වෙළෙඳුන් දිනපතා මෙම දූපත වෙත මුහුද තරණය කරමින් ද පැමිණෙයි.

මෙහි පැමිණෙන සංචාරකයින්ට මෙහිදී නැරඹිය හැකි ස්ථාන අතර ඩොල්ෆින් වැනි විශාල මසුන් ද, විසිතුරු කුඩා මසුන් වර්ග සහ තැනින් තැන ඇති කොරල් පර ද තිබේ.  ලංකාවට අවේණික වූ මුහුද ආශ්‍රිතව වෙසෙන ඒකදේශීය පක්ෂීන් මහ සයුර මත බලා ගැනීමේ හැකියාව පවතී. විශේෂිත වූ පක්ෂීන්ගේ ජීවන රටාව සහ ඔවුන්ගේ ආහාර රටාව පිළිබඳව සාර්ථක  අධ්‍යයනයක් කිරීමේ හැකියාව ද මෙහි තිබේ.

මුහුදු ශාක විශේෂ පද්ධතියකින් සැදුම්ලත් මේ දූපතේ විවිධාකාරයේ විසිතුරු කුඩා බෙල්ලන් වෙරළ පුරා දක්නට ලැබේ. එහි මුතු බෙල්ලන්, කිරි බෙල්ලන් ඇතුළු බෙල්ලන් වර්ග රැසකි.

මේ දුපත රටේ ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයට ද සුවිශේෂි වූ අත්වැලක් සපයයි.  මෙම දූපත නිසාම කල්පිටියේ සංචාරක වටිනාකම ඉහළ නැංවී ඇත.

මූලාශ්‍ර 

www.divaina.lk

www.travelerspage.lk

www.youtube.com



Saturday, January 21, 2023

මිහින්තලා පුදබිම


සුපින්වත් බෞද්ධ බැතිමතුන්ගේ පූජනීය වන්දනීය ස්ථාන අතුරින් මිහින්තලයට ද හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. අනුරාධපුර නගරයට කිලෝමීටර් 15 ක් පමණ නැගෙනහිරින් මිහින්තලා පුදබිම පිහිටා ඇත. 

මෙහි මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි 1000 ක් පමණ උස ශේෂ  කඳු ගැට හතරක් දක්නට ලැබේ. මිහින්තලා කන්දේ දේවානම් පියතිස්ස රජතුමා විසින් විහාර ගෙයක් හා භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ලෙන් කුටි 68 ක් පමණ කරවා ඇත. මිහින්තලය නැගීමට පියගැටපෙළක් ද තනවා ඇත. තව ද ජය ශ්‍රී මහා බෝධියේ අංකුර ශාඛාවක් ද මෙහි රෝපණය කරවා ඇත.

වෙදහල්, දන්හල්, ආරාම,  චෛත්‍ය ආදී  සුවිශේෂී වාස්තුවිද්‍යාත්මක ස්මාරක  රැසක නටබුන් මිහින්තලේ ඇත. මේ ප්‍රදේශයෙන් සොයාගන්නා ලද වටිනා පුරාවස්තු රාශියක් මිහින්තලේ පිහිටුවා ඇති කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.


දෙපස වූ අරලිය ගස්වලින් සෙවන වී ඇති පියගැට පෙළ  මිහින්තලේ අනන්‍යතා ලක්ෂණයකි. අද්විතීය නිර්මාණයකි. මේ පියගැට පෙළ කොටස් කීපයකින් යුක්තය. ඒ කන්ද පාමුල සිට මැද මලුව තෙක්, එතැන් සිට කණ්ටක චේතිය දක්වා, මැද මලුවේ සිට අම්භස්තලය දක්වා, උඩ මළුවේ සිට මහා සෑය දක්වා ආදී වශයෙනි. මිහින්තලේ මුළු පියගැට පෙළ ගණන 1840 ක් පමණවේ. මේවා  අතර ස්වාභාවික ගලේ නෙලන ලද පියගැට පෙළ 150 ක් පමණද ඇත.

කෞතුකාගාරය ඉදිරිපස කාමර ගණනාවකින් යුත්  පැරණි රෝහලක නටබුන් දැකිය හැකිය. බෙහෙත් ඔරුවක්, උණුවතුර ස්නානය කිරීම සඳහා පිළියෙළ කළ ස්ථානයක් අදද මෙහිදක්නට ලැබේ. මෙහි කැනීම් වලදී ශල්‍ය උපකරණ, පර්සියානු තඹ භාජන ආදිය හමුවී ඇත. 10 වන සියවසේ දෙවන සේන රජතුමාගේ කාලයේ ඉදිකරන ලද බවට සැලකෙන මෙය ලෝකයේ පැරණිතම සංවිධිත රෝහල් සංකීර්ණය බව පුරාවිද්‍යඥයන්ගේ අදහසයි.

මිහින්තලා කන්ද මඳ දුරක් නගින විට කුඩා කඳු ගැටයක් මත බෞද්ධ සිද්ධස්ථාන අතර ඉතා සැලකිය යුතු පුරාවිද්‍යා ස්මාරකයක් වන  කණ්ටක චේතිය හමුවේ. පාදමේ වට ප්‍රමාණය අඩි 425 ක් පමණ හා දැනට ශේෂව ඇති උස අඩි 40 ක් පමණ වන, ගඩොල් හා හුණුගල් වලින් නිමවා ඇති මේ චෛත්‍යය කුමන රජකෙනෙකුන් විසින් ඉදිකරන ලද්දේදැයි අවිනිශ්චිත වන අතර එය කි.පු. පළමුවන සියවසට පෙර සූරතිස්ස රජු විසින්  ඉදිකරන ලද්දක් බව අනුමාණ කෙරේ. ලජ්ජතිස්ස රජු මෙම සෑයට ගල් කඤ්චුකයක් තැනවූ බව මහාවංශයේ සඳහන්ව ඇත. මේ ස්ථූපය විශේශිතකොට සලකා ඇති අතර ඒ  සඳහා ගිරිහන්ඩ පුජාව නමින් විශේෂ පූජා පැවැත්වූ බව සඳහන්වේ. මේ දාගැබේ සිව් දිසාවට වූ වාහල්කඩ හතරෙන් දෙකක් හොඳින් ආරක්ෂා වී ඇත. ලංකාවේ වාහල් කඩක ඉහල කොටස ආරක්ෂා වී ඇති වාහල් කඩක් පිහිටියේ මෙහිය. මිහින්තලේ අනෙක් කුඩා ස්තුපවල වාහල්කඩක් ඉදිකොට තිබු බවක් නොපෙනේ.

මේ වාහල්කඩ වාමන, හංස, ඇත් ආදී  ඉතා කලාත්මක කැටයම් වලින් අලංකාරවී තිබේ. වාහල්කඩේ ගල් කණුවලද ලියකම්, සත්ව රූප, මිනිස් රූප  ආදිය කැටයම් කොට ඇත. මේ අතර දක්නට ඇති ගනේශ රූපය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම ගනේශ රූපය ලෙස සැලකේ. මේ කැටයම් හුනුගල්වල නෙලා ඇති බැවින් මේ වන විට කැටයම් ගෙවී ගොස් ඇති බව පෙනේ.  සිව් දිසාවේ ගල් කණු මත ඇත්, සිංහ, අශ්ව හා ගොන් මුර්ති පිහිටුවා  ඇත. මේ වාහල්කඩවල බදාම පිරියම් කොට නොයෙක් වර්ණවත් රූප චිත්‍රණය කොට තිබී ඇත. මේ සිතුවම් ලංකාවේ ඇති ඉතාම පැරණි සිතුවම් වේ.  ලංකාවේ චිත්‍ර කලා හා බෞද්ධ වාස්තු විද්‍යා නිර්මාණ හදාරන්නන්ට මේ වාහල්කඩ ඉතා හොඳ නිදර්ශනයකි.

මිහින්තලේ ඇති පැරණිතම ස්මාරක වන්නේ කණ්ටක චේතිය වටා කඳු බැවුමේ ඇති  අට සැට ලෙන්ය. භික්ෂුන් වහන්සේලාගේ වාසය පිණිස දේවානම් පිය තිස්ස රජතුමාගේ නියමයෙන් රජ පවුලේ සාමාජිකයන්ගේද අනුග්‍රහයෙන් මේවා කටාරම් කොටා  නිමකොට ඇත.

දාන ශාලාවට මඳක් ඊසාන දෙසට වන්නට ගිරිහන්ඩ සෑය නමින් හඳුන්වන චෛත්‍යයක නටබුන් ඇත. වට ප්‍රමාණය අඩි 88 ක් පමණ වේ. කවුරුන් විසින් ඉදි කරන ලද්දේදැයි අවිශ්චිතය. 8 වන සියවසේ පමණ ඉදිකරන්නට ඇතැයි සැලකේ. මේ දාගැබ කැණීමේදී ධාතු ගර්භ තුනක් හමුවී ඇත. මේවායේ තිබී රන් මලක්, මහා මේරු ගලක්, හක් ගෙඩියක් සතර මහාද්වීප දැක්වෙන සංකේත ආදිය තිබී ඇත. මෙහි දිව්‍ය ලෝකයේ දෙවියන් වලාකුල් අතර ගැවසෙන අයුරු නිරුපනය කරන ඉතා විසිතුරු සිතුවම් වලින් සපිරි ධාතු ගර්භය කොටස මිහින්තලේ පුරා විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

අම්භස්තල දාගැබ නැතහොත් සේල චෛත්‍යය ලෙස හැඳින්වෙන වටදාගෙය මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මුලින්ම මුණගැසුන ස්ථානයේ හා බුදුරජානන් වහන්සේ තුන්වැනි වර මෙහි වැඩම කල අවස්ථාවේ පන්සියයක් මහා රහතන් වහන්සේලා සමග ටික වෙලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයේ  ඉදිකර ඇති බවට බවට විශ්වාස කෙරේ. මහා දාඨික මහා නාග රජු විසින් පළමුවන සියවසේ මෙය කරවන ලදැයි සැලකේ.  දෙවන සියවසේදී කනිට්ඨතිස්ස රජතුමා වටදා ගෙය කරවූ බවටත් පසු කාලයන්හිදී තවත් රජවරුන් එය ප්‍රති සංස්කරණය කළ බවත් සඳහන්වේ.  මෙහි සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටුවා  තිබේ.

මිහින්තලා පුදබිම් සංකීර්ණයේ ඇති විශාලතම දාගැබ මහාථූපය, මහාචේතිය නම් වලින්ද හඳුන්වනු ලබන විෂ්කම්භය අඩි 136ක් පමණ හා  උස අඩි 153 ක් පමණ වන මහදාඨික මහානාග රජතුමා විසින් කරවා ඇති  මේ මහා සෑයයි. පුජාවලියේ හා හතරවන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ අම්බුළු දාගැබ ලෙස හඳුන්වා ඇති මේ දා ගැබේ බුදුරජානන් වහන්සේගේ ඌර්න රෝම ධාතුව නිධන් කොට ඇති බව කියවේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උත්තිය රජු විසින් ක්‍රිස්තු පුර්ව දෙවන සියවසේ ඉදිකරන ලද්දකි මිහිඳු සෑය.


මේ කුඩා කඳු ගැටයේද ගල් ලෙන් කීපයක් හා පොකුණක් ඇත. මේ ලෙන් වාසස්ථානය කොට ගෙන සිටින්නට ඇත්තේ තවුස් දිවියක් ගතකල භික්ෂුන් වහන්සේලායි. මේ ලෙන් වලද බ්‍රාහ්මි අක්ෂර වලින් ලියා ඇති ලිපි හමුවී ඇත. ඊට අමතරව 9 වන සියවසට අයත් නාගරි අක්ෂර වලින් ලියු ටැම් ලිපියක්ද හමුවී ඇත.

සිංහලයාගේ බෞද්ධ සංස්කෘතියේ නිජබිම වූ මිහින්තලේ තවම සම්පුර්ණයෙන් නිරීක්ෂණය කොට අවසන් කර නැත. 3 වන සියවසේ අග භාගය පමණ වනතුරු මේ විහාරය මහා විහාරයට අයත්ව තිබුනද, මහසෙන් රජු විසින් එය අභයගිරි විහාරයට පවරා දී ඇති බව පෙනේ. ෆාහියන් හිමියන් 5 වන සියවසේදී මිහින්තලේ 2000 ක් පමණ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බව සඳහන්කර ඇත. වැඩිම ස්තුප ගණනක් තිබුණු ආරාමය වී ඇත්තේ මිහින්තලේය.12 වන සියවසේදී මහා පරාක්‍රමබාහු රජතුමා ස්තුප 64 ක් ප්‍රතිසංස්කරණය කළ බව කියති.

පොසොන් පොහෝ දිනක මිස්සක පව්ව මත සිට දේවානම්පියතිස්ස රජු ඇමතූ මිහිදු මා හිමියන් දෙසූ සුමිහිරි ධර්මය අදටත් මෙරට ධර්මද්වීපයක් ව පැවතීමට ඉවහල් වූ බව සත්‍යකි. එවන් පින් ඇති අප මිහින්තලය ඇතුලු බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා පින් වඩා ගෙන ඒවා මතු පරපුර උදෙසා සංරක්ෂණය කර ගෙන පවත්වා ගත යුතුය. එය අපගේ පරම යුතුකම වේ.

මූලාශ්‍ර

www.budusarana.lk

www.divaina.lk

www.facebook.lk

Tuesday, January 3, 2023

මීදුමින් සැගව යන රිවස්ටන් කඳුවැටිය


ලෝක උරුම අතරට අයත් නකල්ස් රක්ෂිතයේ  රිවස්ටන් කදු මුදුන ඝන  මීදුමෙන් වැසී පවතින මනස්කාන්ත දර්ශනයකි.  සීත කාලගුණික තත්ත්වය නිසා රිවස්ටන් කදු මුදුනේ සිට පහලට ගලා හැලෙන මීදුම්  රිවස්ටන් ප්‍රදේශයේ සැරි සරන බොහෝ පිරිසකගේ නෙත් සිත් පැහර ගනු ලබන දසුනකි.

මෙරට ට ආවේනික සත්ත්වයන් හා වෘක්ෂයන්ගෙන් අනූන නකලස් කදු පංතිය මිට මෙල වු අතක ස්වභාවකින් පිහිටීම  නිසා ම සුදු ජාතිකයින් මෙය "නකලස්" ලෙස නම් කර ඇත. වියළි කාලගුණය සමග දැඩි වියළි ස්වභාවයක් ගන්නා නකලස් කදු පංති  අපුර්වත්වයකින් පිරි ඇත්තේ වැසි හා මීදුම් තත්ත්වයත් සමගිනි. 

බොහෝ සංචාරකයින් මෙහි පැමිණෙන්නේ ගත සිත පුබුදුවාලන  මේ සීත පවන විදින්නට ය.  මීදුම් තත්ත්වය නකලස් කදු කොමලිය තව තවත් වර්ණවත් කරන අතරම පරිසරය ඉතා නිහැඩියාවකින් යුතු සුන්දරත්වය අතින් ද ඉහළ ය.

රිවස්ටන් සංචාරයේ දී නැරඹීමට ඇති ස්ථාන කිහිපයකි. ඒ අතර

පිටවල පතන 

පිටවල පතන වල අලංකාර භූමි දර්ශනයක් තිබේ.  මේ පිටවල පතනේ ගමන් මාර්ගය  සළකුණු කර තිබේ.  ඒ අතර තැන තැන ඇවිදින විට ඒ කඳුකර පතන පරිසරයට ආවේණික කුඩා ජීවීන් විනාශ විය හැකි නිසා ඒ මාර්ගයේ ම ගමන් කිරීම වැදගත්. මේ පිටවල පතන කෙළවර තිබෙන පුංචි ලෝකාන්තය ද සුන්දර තැනකි. එතැනින් පහළ බැලුවාම කුඩාවට පහළ තිබෙන ගෙවල් සහ වනාන්තර කොටස් දැකිය හැකිය. මෙය නරඹන්නට  මත් වෙන දෑ භාවිතා කර නොයා යුතුය. එහි තද සුළං පහරට  වැටිලා මැරෙන්න පවා ඉඩ පවතී. චායාරූප ගැනීමේ දී ද ප්‍රවේශමෙන් අවධානය තබා සිදු කළ යුතුය.

කඳුකර ගම්මාන 

මෙම පළාතේ අනෙක් කෙළවර  ලංකාවේ ජනප්‍රියම මීමුරේ ගම පිහිටා ඇත.  මෙම නක්ල්ස් දුම්බර වනාන්තරයට මායිම් ව තිබුණ රඹුක්ඔළුව වැනි ගම්මාන  කළුගඟ මොරගහකන්ද ව්‍යාපෘති නිසා අතුරුදන් ව ඇත. විදෙස් සංචාරකයින්  ඇටන්වල ගමට  තාමත් ආකර්ෂණය වී ඉන්නවා. ඒ ගම්මාන වල  වෙල් එළියේ ඇවිද ඒ සුන්දර පරිසරය විඳගන්නට ද හැකිය. ඇටන්වල ගමේ දී හොඳට නාගෙන ගමේ ගෙදරකින් කෑම වේලක් එහෙම ලබා ගෙන එන්නට ද හැකිය.

කෑම්පින් 

කෑම්පින් වලට අපූරු ස්ථාන ගොඩක් මේ රිවස්ටන් පිටවල පතන සහ ඉළුක්කුඹුර ප්‍රදේශයේ  දැකිය හැක.  කඳු මුදුනෙ වගේ ම ගම්මානයක වතුර පාරක් අද්දර වුණත් ලේසියෙන් ම ටෙන්ට්  ගහගෙන රැයක් පහන් කරන්නට කූඩාරම් සකසා ගත හැක.  පාන්දර අවදි වන විට සුන්දර වතුර පාරත් සුන්දර කඳු යායක දර්ශනය විදගන්නට හැක.


රිවස්ටන් 

රිවස්ටන් මුදුනේ නිතර ම මීදුම ඝනව ඇත. ඉතා ඉක්මනින්  වෙනස් වෙන  කාලගුණයක් රිවස්ටන් වල පවතී. නිතරම වළාකුළු වලින් වැහෙන කන්දක් වන රිවස්ටන් එක උඩ තියෙන කුලුනු ඉතා පැරණිය. රේඩියෝ සම්ප්‍රේෂණ කටයුතු අඩු වුණ ද  මොබයිල් සංඥා හුවමාරුවට රිවස්ටන් ටවර්  යොදා ගන්න බව සදහන් වේ. කාලයකට කූඩැල්ලන් නිසා මේ රිවස්ටන් ගමන ටිකක් අපහසු ද වේ. රිවස්ටන් ගමනේ දී සිතල සුළං බර කාලගුණය වගේම සුන්දර කඳුකර වටපිටාවක් ද අපේ නෙත් වලට විඳගන්නට හැකියාව ලැබේ.

ට්‍රෙකින්

ට්‍රෙකින්, හයිකින් වලට මේ ප්‍රදේශය යොදා ගනී. හැමෝම දන්න ට්‍රෙකින් වගේම හැමෝම වැඩිපුර නොදන්න ගම් වල අය පමණක් දන්න යන එන සුන්දර තැන් ද මේ පළාතේ තිබේ. ඇටන්වලින් යන්නට තිබෙන වල්පොලමුල්ල මානිගල ට්‍රැක් නම් දවසින් නිමා  කරන්නට හැකි වේ. එ මෙන් ම නකල්ස් වනයේ ගැඹුරට ඇදෙන දූවිලි ඇල්ල සහ සුන්දර ස්ථාන බලාගන්න ට්‍රිප් එකද වටිනා එකකි. ඒත් දූවිලි ඇල්ලට මේ පැත්තෙන් ගිහින් එන්න නම් දවස් දෙකක් විතර සම්පූර්ණයෙන්ම වියදම් වෙන බව ද කිව යුතුමය.

දිය ඇළි 

නක්ල්ස් කැලේ තියෙන දිය ඇළි  ළඟ කෑම්පින් අත්දැකීම් ඉතා සුන්දර වේ. එහෙත් දුම්බර ඇල්ල, දුවිලි ඇල්ලට ළඟා වෙන එක අපහසුයි. දුම්බර ඇල්ලට යන්නත් සාමාන්‍ය කෙනෙක්ට පැය 6ක් විතර කඳු  පල්ලම් එක්ක පයින් ගමන් කළ යුතු ය. දූවිලි ඇල්ලට නම් පැය තුනක් විතර ගත වේ. මේ ආසන්නයේ සේර ඇල්ල නම් ලේසියෙන් ම වාහනයකින් ගමන් කර දැක බලාගන්නට හැක.

වාහන වලින් නම්  ගමන සුදුසු නොවේ.  ගැඩිලි ගොඩිලි සහිත කඳුකර පාරවල් වලට වාහන ඔරොත්තු නොදේ. බයික් වුණත් ටිකක් උස නම් වාසියි. ලග්ගල පල්ලේගම ඉඳලා පිටවල පතන රිවස්ටන් හරහා තියෙන පාර ඉතා ලස්සනයි. වනාන්තරය මැදින් වගේම කඳුකර දර්ශන තියෙන කොටස් කිහිපයක්ම මේ ගමනේදී පහුකරන්නට හැකි වේ. 

රිවස්ටන් ගමනෙ දි රිවස්ටන් කලාපයෙ තිබෙන දේශගුණයට වඩා කළුගඟ ව්‍යාපෘතිය, මොරගහකන්ද පැත්තට, ඉළුක්කුඹුර දිහාට එනවිට තිබෙන දේශගුණය වෙනස් වේ. එහි ගහකොළ, සතා සීපාවන් කුරුල්ලන් අතරත් වෙනස්කම් තිබේ. මේ නිවර්තන කඳුකර පරිසරයේ වෙනස් අත්දැකීම් ගොඩක්  නක්ල්ස් වල උතුරු බෑවුම් කලාපයට අයිති රිවස්ටන් වලදී ලබා ගත හැක. පරිසරයේ සුන්දරත්වය විදින ගමන් පරිසරය ආරක්ෂා කරගන්න වගකීමත් තබා ගන්නේ නම් මේ අත්දැකීම් ලබා ගැනීම  අති සාර්ථක වනු නොඅනුමානය.

මූලාශ්‍ර 

www.silumina.lk

www.thirikkale.lk

www.facebook.lk

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...