ලෝක උරුම අතරට අයත් නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් කදු මුදුන ඝන මීදුමෙන් වැසී පවතින මනස්කාන්ත දර්ශනයකි. සීත කාලගුණික තත්ත්වය නිසා රිවස්ටන් කදු මුදුනේ සිට පහලට ගලා හැලෙන මීදුම් රිවස්ටන් ප්‍රදේශයේ සැරි සරන බොහෝ පිරිසකගේ නෙත් සිත් පැහර ගනු ලබන දසුනකි.
මෙරට ට ආවේනික සත්ත්වයන් හා වෘක්ෂයන්ගෙන් අනූන නකලස් කදු පංතිය මිට මෙල වු අතක ස්වභාවකින් පිහිටීම නිසා ම සුදු ජාතිකයින් මෙය "නකලස්" ලෙස නම් කර ඇත. වියළි කාලගුණය සමග දැඩි වියළි ස්වභාවයක් ගන්නා නකලස් කදු පංති අපුර්වත්වයකින් පිරි ඇත්තේ වැසි හා මීදුම් තත්ත්වයත් සමගිනි.
බොහෝ සංචාරකයින් මෙහි පැමිණෙන්නේ ගත සිත පුබුදුවාලන මේ සීත පවන විදින්නට ය. මීදුම් තත්ත්වය නකලස් කදු කොමලිය තව තවත් වර්ණවත් කරන අතරම පරිසරය ඉතා නිහැඩියාවකින් යුතු සුන්දරත්වය අතින් ද ඉහළ ය.
රිවස්ටන් සංචාරයේ දී නැරඹීමට ඇති ස්ථාන කිහිපයකි. ඒ අතර
පිටවල පතන
පිටවල පතන වල අලංකාර භූමි දර්ශනයක් තිබේ. මේ පිටවල පතනේ ගමන් මාර්ගය සළකුණු කර තිබේ. ඒ අතර තැන තැන ඇවිදින විට ඒ කඳුකර පතන පරිසරයට ආවේණික කුඩා ජීවීන් විනාශ විය හැකි නිසා ඒ මාර්ගයේ ම ගමන් කිරීම වැදගත්. මේ පිටවල පතන කෙළවර තිබෙන පුංචි ලෝකාන්තය ද සුන්දර තැනකි. එතැනින් පහළ බැලුවාම කුඩාවට පහළ තිබෙන ගෙවල් සහ වනාන්තර කොටස් දැකිය හැකිය. මෙය නරඹන්නට මත් වෙන දෑ භාවිතා කර නොයා යුතුය. එහි තද සුළං පහරට වැටිලා මැරෙන්න පවා ඉඩ පවතී. චායාරූප ගැනීමේ දී ද ප්‍රවේශමෙන් අවධානය තබා සිදු කළ යුතුය.
කඳුකර ගම්මාන
මෙම පළාතේ අනෙක් කෙළවර ලංකාවේ ජනප්‍රියම මීමුරේ ගම පිහිටා ඇත. මෙම නක්ල්ස් දුම්බර වනාන්තරයට මායිම් ව තිබුණ රඹුක්ඔළුව වැනි ගම්මාන කළුගඟ මොරගහකන්ද ව්‍යාපෘති නිසා අතුරුදන් ව ඇත. විදෙස් සංචාරකයින් ඇටන්වල ගමට තාමත් ආකර්ෂණය වී ඉන්නවා. ඒ ගම්මාන වල වෙල් එළියේ ඇවිද ඒ සුන්දර පරිසරය විඳගන්නට ද හැකිය. ඇටන්වල ගමේ දී හොඳට නාගෙන ගමේ ගෙදරකින් කෑම වේලක් එහෙම ලබා ගෙන එන්නට ද හැකිය.
කෑම්පින්
කෑම්පින් වලට අපූරු ස්ථාන ගොඩක් මේ රිවස්ටන් පිටවල පතන සහ ඉළුක්කුඹුර ප්‍රදේශයේ දැකිය හැක. කඳු මුදුනෙ වගේ ම ගම්මානයක වතුර පාරක් අද්දර වුණත් ලේසියෙන් ම ටෙන්ට් ගහගෙන රැයක් පහන් කරන්නට කූඩාරම් සකසා ගත හැක. පාන්දර අවදි වන විට සුන්දර වතුර පාරත් සුන්දර කඳු යායක දර්ශනය විදගන්නට හැක.
රිවස්ටන්
රිවස්ටන් මුදුනේ නිතර ම මීදුම ඝනව ඇත. ඉතා ඉක්මනින් වෙනස් වෙන කාලගුණයක් රිවස්ටන් වල පවතී. නිතරම වළාකුළු වලින් වැහෙන කන්දක් වන රිවස්ටන් එක උඩ තියෙන කුලුනු ඉතා පැරණිය. රේඩියෝ සම්ප්‍රේෂණ කටයුතු අඩු වුණ ද මොබයිල් සංඥා හුවමාරුවට රිවස්ටන් ටවර් යොදා ගන්න බව සදහන් වේ. කාලයකට කූඩැල්ලන් නිසා මේ රිවස්ටන් ගමන ටිකක් අපහසු ද වේ. රිවස්ටන් ගමනේ දී සිතල සුළං බර කාලගුණය වගේම සුන්දර කඳුකර වටපිටාවක් ද අපේ නෙත් වලට විඳගන්නට හැකියාව ලැබේ.
ට්‍රෙකින්
ට්‍රෙකින්, හයිකින් වලට මේ ප්‍රදේශය යොදා ගනී. හැමෝම දන්න ට්‍රෙකින් වගේම හැමෝම වැඩිපුර නොදන්න ගම් වල අය පමණක් දන්න යන එන සුන්දර තැන් ද මේ පළාතේ තිබේ. ඇටන්වලින් යන්නට තිබෙන වල්පොලමුල්ල මානිගල ට්‍රැක් නම් දවසින් නිමා කරන්නට හැකි වේ. එ මෙන් ම නකල්ස් වනයේ ගැඹුරට ඇදෙන දූවිලි ඇල්ල සහ සුන්දර ස්ථාන බලාගන්න ට්‍රිප් එකද වටිනා එකකි. ඒත් දූවිලි ඇල්ලට මේ පැත්තෙන් ගිහින් එන්න නම් දවස් දෙකක් විතර සම්පූර්ණයෙන්ම වියදම් වෙන බව ද කිව යුතුමය.
දිය ඇළි
නක්ල්ස් කැලේ තියෙන දිය ඇළි ළඟ කෑම්පින් අත්දැකීම් ඉතා සුන්දර වේ. එහෙත් දුම්බර ඇල්ල, දුවිලි ඇල්ලට ළඟා වෙන එක අපහසුයි. දුම්බර ඇල්ලට යන්නත් සාමාන්‍ය කෙනෙක්ට පැය 6ක් විතර කඳු පල්ලම් එක්ක පයින් ගමන් කළ යුතු ය. දූවිලි ඇල්ලට නම් පැය තුනක් විතර ගත වේ. මේ ආසන්නයේ සේර ඇල්ල නම් ලේසියෙන් ම වාහනයකින් ගමන් කර දැක බලාගන්නට හැක.
වාහන වලින් නම් ගමන සුදුසු නොවේ. ගැඩිලි ගොඩිලි සහිත කඳුකර පාරවල් වලට වාහන ඔරොත්තු නොදේ. බයික් වුණත් ටිකක් උස නම් වාසියි. ලග්ගල පල්ලේගම ඉඳලා පිටවල පතන රිවස්ටන් හරහා තියෙන පාර ඉතා ලස්සනයි. වනාන්තරය මැදින් වගේම කඳුකර දර්ශන තියෙන කොටස් කිහිපයක්ම මේ ගමනේදී පහුකරන්නට හැකි වේ.
රිවස්ටන් ගමනෙ දි රිවස්ටන් කලාපයෙ තිබෙන දේශගුණයට වඩා කළුගඟ ව්‍යාපෘතිය, මොරගහකන්ද පැත්තට, ඉළුක්කුඹුර දිහාට එනවිට තිබෙන දේශගුණය වෙනස් වේ. එහි ගහකොළ, සතා සීපාවන් කුරුල්ලන් අතරත් වෙනස්කම් තිබේ. මේ නිවර්තන කඳුකර පරිසරයේ වෙනස් අත්දැකීම් ගොඩක් නක්ල්ස් වල උතුරු බෑවුම් කලාපයට අයිති රිවස්ටන් වලදී ලබා ගත හැක. පරිසරයේ සුන්දරත්වය විදින ගමන් පරිසරය ආරක්ෂා කරගන්න වගකීමත් තබා ගන්නේ නම් මේ අත්දැකීම් ලබා ගැනීම අති සාර්ථක වනු නොඅනුමානය.
මූලාශ්‍රwww.silumina.lk
www.thirikkale.lk
www.facebook.lk
No comments:
Post a Comment