සුපින්වත් බෞද්ධ බැතිමතුන්ගේ පූජනීය වන්දනීය ස්ථාන අතුරින් මිහින්තලයට ද හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. අනුරාධපුර නගරයට කිලෝමීටර් 15 ක් පමණ නැගෙනහිරින් මිහින්තලා පුදබිම පිහිටා ඇත.
මෙහි මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි 1000 ක් පමණ උස ශේෂ කඳු ගැට හතරක් දක්නට ලැබේ. මිහින්තලා කන්දේ දේවානම් පියතිස්ස රජතුමා විසින් විහාර ගෙයක් හා භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ලෙන් කුටි 68 ක් පමණ කරවා ඇත. මිහින්තලය නැගීමට පියගැටපෙළක් ද තනවා ඇත. තව ද ජය ශ්‍රී මහා බෝධියේ අංකුර ශාඛාවක් ද මෙහි රෝපණය කරවා ඇත.
වෙදහල්, දන්හල්, ආරාම, චෛත්‍ය ආදී සුවිශේෂී වාස්තුවිද්‍යාත්මක ස්මාරක රැසක නටබුන් මිහින්තලේ ඇත. මේ ප්‍රදේශයෙන් සොයාගන්නා ලද වටිනා පුරාවස්තු රාශියක් මිහින්තලේ පිහිටුවා ඇති කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
දෙපස වූ අරලිය ගස්වලින් සෙවන වී ඇති පියගැට පෙළ මිහින්තලේ අනන්‍යතා ලක්ෂණයකි. අද්විතීය නිර්මාණයකි. මේ පියගැට පෙළ කොටස් කීපයකින් යුක්තය. ඒ කන්ද පාමුල සිට මැද මලුව තෙක්, එතැන් සිට කණ්ටක චේතිය දක්වා, මැද මලුවේ සිට අම්භස්තලය දක්වා, උඩ මළුවේ සිට මහා සෑය දක්වා ආදී වශයෙනි. මිහින්තලේ මුළු පියගැට පෙළ ගණන 1840 ක් පමණවේ. මේවා අතර ස්වාභාවික ගලේ නෙලන ලද පියගැට පෙළ 150 ක් පමණද ඇත.
කෞතුකාගාරය ඉදිරිපස කාමර ගණනාවකින් යුත් පැරණි රෝහලක නටබුන් දැකිය හැකිය. බෙහෙත් ඔරුවක්, උණුවතුර ස්නානය කිරීම සඳහා පිළියෙළ කළ ස්ථානයක් අදද මෙහිදක්නට ලැබේ. මෙහි කැනීම් වලදී ශල්‍ය උපකරණ, පර්සියානු තඹ භාජන ආදිය හමුවී ඇත. 10 වන සියවසේ දෙවන සේන රජතුමාගේ කාලයේ ඉදිකරන ලද බවට සැලකෙන මෙය ලෝකයේ පැරණිතම සංවිධිත රෝහල් සංකීර්ණය බව පුරාවිද්‍යඥයන්ගේ අදහසයි.
මිහින්තලා කන්ද මඳ දුරක් නගින විට කුඩා කඳු ගැටයක් මත බෞද්ධ සිද්ධස්ථාන අතර ඉතා සැලකිය යුතු පුරාවිද්‍යා ස්මාරකයක් වන කණ්ටක චේතිය හමුවේ. පාදමේ වට ප්‍රමාණය අඩි 425 ක් පමණ හා දැනට ශේෂව ඇති උස අඩි 40 ක් පමණ වන, ගඩොල් හා හුණුගල් වලින් නිමවා ඇති මේ චෛත්‍යය කුමන රජකෙනෙකුන් විසින් ඉදිකරන ලද්දේදැයි අවිනිශ්චිත වන අතර එය කි.පු. පළමුවන සියවසට පෙර සූරතිස්ස රජු විසින් ඉදිකරන ලද්දක් බව අනුමාණ කෙරේ. ලජ්ජතිස්ස රජු මෙම සෑයට ගල් කඤ්චුකයක් තැනවූ බව මහාවංශයේ සඳහන්ව ඇත. මේ ස්ථූපය විශේශිතකොට සලකා ඇති අතර ඒ සඳහා ගිරිහන්ඩ පුජාව නමින් විශේෂ පූජා පැවැත්වූ බව සඳහන්වේ. මේ දාගැබේ සිව් දිසාවට වූ වාහල්කඩ හතරෙන් දෙකක් හොඳින් ආරක්ෂා වී ඇත. ලංකාවේ වාහල් කඩක ඉහල කොටස ආරක්ෂා වී ඇති වාහල් කඩක් පිහිටියේ මෙහිය. මිහින්තලේ අනෙක් කුඩා ස්තුපවල වාහල්කඩක් ඉදිකොට තිබු බවක් නොපෙනේ.
මේ වාහල්කඩ වාමන, හංස, ඇත් ආදී ඉතා කලාත්මක කැටයම් වලින් අලංකාරවී තිබේ. වාහල්කඩේ ගල් කණුවලද ලියකම්, සත්ව රූප, මිනිස් රූප ආදිය කැටයම් කොට ඇත. මේ අතර දක්නට ඇති ගනේශ රූපය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම ගනේශ රූපය ලෙස සැලකේ. මේ කැටයම් හුනුගල්වල නෙලා ඇති බැවින් මේ වන විට කැටයම් ගෙවී ගොස් ඇති බව පෙනේ. සිව් දිසාවේ ගල් කණු මත ඇත්, සිංහ, අශ්ව හා ගොන් මුර්ති පිහිටුවා ඇත. මේ වාහල්කඩවල බදාම පිරියම් කොට නොයෙක් වර්ණවත් රූප චිත්‍රණය කොට තිබී ඇත. මේ සිතුවම් ලංකාවේ ඇති ඉතාම පැරණි සිතුවම් වේ. ලංකාවේ චිත්‍ර කලා හා බෞද්ධ වාස්තු විද්‍යා නිර්මාණ හදාරන්නන්ට මේ වාහල්කඩ ඉතා හොඳ නිදර්ශනයකි.
මිහින්තලේ ඇති පැරණිතම ස්මාරක වන්නේ කණ්ටක චේතිය වටා කඳු බැවුමේ ඇති අට සැට ලෙන්ය. භික්ෂුන් වහන්සේලාගේ වාසය පිණිස දේවානම් පිය තිස්ස රජතුමාගේ නියමයෙන් රජ පවුලේ සාමාජිකයන්ගේද අනුග්‍රහයෙන් මේවා කටාරම් කොටා නිමකොට ඇත.
දාන ශාලාවට මඳක් ඊසාන දෙසට වන්නට ගිරිහන්ඩ සෑය නමින් හඳුන්වන චෛත්‍යයක නටබුන් ඇත. වට ප්‍රමාණය අඩි 88 ක් පමණ වේ. කවුරුන් විසින් ඉදි කරන ලද්දේදැයි අවිශ්චිතය. 8 වන සියවසේ පමණ ඉදිකරන්නට ඇතැයි සැලකේ. මේ දාගැබ කැණීමේදී ධාතු ගර්භ තුනක් හමුවී ඇත. මේවායේ තිබී රන් මලක්, මහා මේරු ගලක්, හක් ගෙඩියක් සතර මහාද්වීප දැක්වෙන සංකේත ආදිය තිබී ඇත. මෙහි දිව්‍ය ලෝකයේ දෙවියන් වලාකුල් අතර ගැවසෙන අයුරු නිරුපනය කරන ඉතා විසිතුරු සිතුවම් වලින් සපිරි ධාතු ගර්භය කොටස මිහින්තලේ පුරා විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
අම්භස්තල දාගැබ නැතහොත් සේල චෛත්‍යය ලෙස හැඳින්වෙන වටදාගෙය මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මුලින්ම මුණගැසුන ස්ථානයේ හා බුදුරජානන් වහන්සේ තුන්වැනි වර මෙහි වැඩම කල අවස්ථාවේ පන්සියයක් මහා රහතන් වහන්සේලා සමග ටික වෙලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයේ ඉදිකර ඇති බවට බවට විශ්වාස කෙරේ. මහා දාඨික මහා නාග රජු විසින් පළමුවන සියවසේ මෙය කරවන ලදැයි සැලකේ. දෙවන සියවසේදී කනිට්ඨතිස්ස රජතුමා වටදා ගෙය කරවූ බවටත් පසු කාලයන්හිදී තවත් රජවරුන් එය ප්‍රති සංස්කරණය කළ බවත් සඳහන්වේ. මෙහි සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටුවා තිබේ.
මිහින්තලා පුදබිම් සංකීර්ණයේ ඇති විශාලතම දාගැබ මහාථූපය, මහාචේතිය නම් වලින්ද හඳුන්වනු ලබන විෂ්කම්භය අඩි 136ක් පමණ හා උස අඩි 153 ක් පමණ වන මහදාඨික මහානාග රජතුමා විසින් කරවා ඇති මේ මහා සෑයයි. පුජාවලියේ හා හතරවන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ අම්බුළු දාගැබ ලෙස හඳුන්වා ඇති මේ දා ගැබේ බුදුරජානන් වහන්සේගේ ඌර්න රෝම ධාතුව නිධන් කොට ඇති බව කියවේ.
මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උත්තිය රජු විසින් ක්‍රිස්තු පුර්ව දෙවන සියවසේ ඉදිකරන ලද්දකි මිහිඳු සෑය.
මේ කුඩා කඳු ගැටයේද ගල් ලෙන් කීපයක් හා පොකුණක් ඇත. මේ ලෙන් වාසස්ථානය කොට ගෙන සිටින්නට ඇත්තේ තවුස් දිවියක් ගතකල භික්ෂුන් වහන්සේලායි. මේ ලෙන් වලද බ්‍රාහ්මි අක්ෂර වලින් ලියා ඇති ලිපි හමුවී ඇත. ඊට අමතරව 9 වන සියවසට අයත් නාගරි අක්ෂර වලින් ලියු ටැම් ලිපියක්ද හමුවී ඇත.
සිංහලයාගේ බෞද්ධ සංස්කෘතියේ නිජබිම වූ මිහින්තලේ තවම සම්පුර්ණයෙන් නිරීක්ෂණය කොට අවසන් කර නැත. 3 වන සියවසේ අග භාගය පමණ වනතුරු මේ විහාරය මහා විහාරයට අයත්ව තිබුනද, මහසෙන් රජු විසින් එය අභයගිරි විහාරයට පවරා දී ඇති බව පෙනේ. ෆාහියන් හිමියන් 5 වන සියවසේදී මිහින්තලේ 2000 ක් පමණ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බව සඳහන්කර ඇත. වැඩිම ස්තුප ගණනක් තිබුණු ආරාමය වී ඇත්තේ මිහින්තලේය.12 වන සියවසේදී මහා පරාක්‍රමබාහු රජතුමා ස්තුප 64 ක් ප්‍රතිසංස්කරණය කළ බව කියති.
පොසොන් පොහෝ දිනක මිස්සක පව්ව මත සිට දේවානම්පියතිස්ස රජු ඇමතූ මිහිදු මා හිමියන් දෙසූ සුමිහිරි ධර්මය අදටත් මෙරට ධර්මද්වීපයක් ව පැවතීමට ඉවහල් වූ බව සත්‍යකි. එවන් පින් ඇති අප මිහින්තලය ඇතුලු බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා පින් වඩා ගෙන ඒවා මතු පරපුර උදෙසා සංරක්ෂණය කර ගෙන පවත්වා ගත යුතුය. එය අපගේ පරම යුතුකම වේ.
මූලාශ්‍ර
www.budusarana.lk
www.divaina.lk
www.facebook.lk
No comments:
Post a Comment