Saturday, November 27, 2021

හික්කඩුව සංචාරක පුරවරය



ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර ස්ථානයකි  හික්කඩුව. දකුණු පළාතේ   ගාල්ල දිස්ත්‍රික්කයට  මෙය අයත් වේ. ගාලු නගරයේ සිට වයඹ දිශාවට කිලෝ මීටර 20ක් පමණ දුරින් කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගය ආසන්නව ගාල්ලට  සමීපව පිහිටා ඇත. හික්කඩුව මෙරට මූලික සංචාරක පුරවරයන් අතර දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත.


 එහි සංචාරකයන් ට විනෝදාස්වාදය, ත්‍රාස ජනක අත්දැකීම් , ස්වභාව සෞන්දර්ය  ආදී බොහෝමයක් අත්දැකීම් ආශ්වාද ලබා ගත හැක. දියමත ලිස්සා යෑමට, කිමිදීමට,  කැස්බෑවන් නැරඹීමට , කොරල් පර නැරඹීමට , සුව පහසුව නවාතැන් ගෙන නිස්කලංක ව ගත කිරීමට  මෙන්ම හිරු රැස් විඳීමට ද පහසුකම් සපයා දී  ඇත.

 


 මුහුදු පතුල නැරඹිය හැකි ආකාරයට බෝට්ටු පතුළ වීදුරු ආවරණය සහිතව සකස් කර ඇති යාත්‍රාවකින් ගමන් කිරීමෙන් හික්කඩුව ජාතික උද්‍යානයේ සුන්දරත්වය පියවි ඇසින් නැරඹිමේ අපූර්ව වූ අවස්ථාව සංචාරකයන්ට උදා වේ. කොරල් ව්‍යාප්තිය ගත් කල හික්කඩුව, පරෙවි දූපත වැනි සමුද්‍රීය වනජීවීරක්ෂිතවලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි.

හික්කඩුව ප්‍රදේශය ඉහළ   සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට හේතු වන සාධක අතර ,

හික්කඩුව සමුද්‍රීය උද්‍යානය 

කැස්බෑ සංරක්ෂණය 

නොගැඹුරු වෙරළ 

සුව පහසු හෝටල් පහසුකම් වෙරළ රළ ආශ්‍රිත ක්‍රීඩා 

 ආදිය දැක්විය හැක. 


හික්කඩුව සමුද්‍රීය උද්‍යානය , මෙම කොරල් උද්‍යානය නිසාම හික්කඩුව දකුණු පළාතේ දෙවනි සංචාරක පුරවරය බවට පත්ව ඇත. අලංකාර කොරල් සම්පතකින් යුත්  නොගැඹුරු වෙරළ තීරය සංචාරක පාරාදීසයකි.  මෙහි සංචාරක හෝටල් ඇතුලු සංචාරක පහසුකම් ඉතා හොදින් දියුණුව පවත්වා ඇත.


කොරල් යනු ආරක්ෂිත ජීවීන් කොටසකි. මෙ පිළිබඳ වගකීම  වනජීවී සංරක්ෂණ දේපාර්තමේන්තුවට පැවරී ඇත. ඔවුන් පළමුව මෙය 1979  සමුද්‍රීය අභය භූමියක් බවට පත්කර ඇත.  හික්කඩුව ගල් මල් උයනේ ආරක්ෂාව පිණිස 1998 දී මෙය ස්වභාව රක්ෂිතයක් දක්වා නීතියෙන් උසස් කරන ලදි. පසුව 2002 දී හික්කඩුව, ශ්‍රී ලංකාවේ 16 වෙනි ජාතික උද්‍යානය බවට පත්කළේ අක්කර 254ක භූමි ප්‍රදේශයක් මීට එක් කරමිනි. වෙරළේ කි.මී.1.5ක් පමණ  උද්‍යානයට අයත්ව පවතී. ශ්‍රී ලංකාවේ පූර්ණ සමුද්‍රීය උද්‍යානය ද හික්කඩුව වේ.


මුහුදු තෘණ, ඇල්ගී වර්ග, මෙහි බහුල ව  දක්නට ලැබෙන අතර, හික්ඩුවේ දී හමුවන ගැටිපර ආකාරයේ කොරල්පරයේ ගණ 31කට අයත් කොරල් විශේෂ 60 ක් වාර්තා වී තිබේ. ගෝන අං, මුව අං, ගෝවා හැඩැති, මොළ හැඩැති, මේඝ ආකාර, තාරකා ආකාර යනාදී වශයෙන් මෙහි විවිධ හැඩැති  කොරල් ආකාර රැසක් පවතී. 



කොරල්පර ආශ්‍රීතව දක්නට ලැබෙන ප්‍රධානතම සත්ත්ව කාණ්ඩය මත්ස්‍යයන් ය. වර්ග 48 කට අයත් මත්ස්‍ය විශේෂ 113 ක් මෙහි වෙසෙන බවට හදුනා ගෙන ඇත. කකුළුවන්, ඉස්සන්, පොකිරිස්සන්, බෙල්ලන්, මුහුදු පණුවන්, මුහුදු කැකිරි, ඉකිරි, වැනි සතුන් ද සුලභ ව දැකිය හැක. කොළඹ කැස්බෑවා, පොතු කැසුබෑවා වැනි විශේෂ දුර්ලභ සතුන් ද හික්කඩුවේ දී හමුවේ.



සාමාන්‍ය ව්‍යවහාරයේ දී කොරල් පර , ගල්මල් ලෙස ද හදුන්වයි.  උණුසුම් සාගර ප්‍රදේශ වල , ඝර්ම කලාපීය ප්‍රදේශ වල විශාල ලෙස කොර්‍ල් විසිරී තිබේ. ශ්‍රි ලංකාවේ පවත්නා  ස්ථාන  අතර විශාල වශයෙන් කොරල් පර  දක්නට ලැබෙන්නේ සිමීත ස්ථාන කිහිපයක පමණි.   හික්කඩුව , පොල්හේන, වැලිගම, අකුරල ආදි ප්‍රදේශ මීට අයත් වේ.


 කොරල් පරයක් සෑදී ඇත්තේ නයිඩේරියා (enidaria) වංශයේ ඇන්තසෝවා (Anthozoa) වර්ගයේ බුහුබාවන්ගෙන් හෙවත් පොලිප් ජිවින්ගෙන් ය. මෙ‍ම බුහුබාවන් නිපදවන බහිස්‍රාවීය ද්‍රව්‍යයක් වන ( NH3 ) ජලයේ ඇති CO2 සමග ප්‍රතික්‍රියා කර (NH4)2CO2 සාදයි. මෙම ඇමෝනියම් කාබනේට් මුහුදු ජලයේ ඇති කැල්සියම් අණු Ca සමග ප්‍රතික්‍රියා කර කැල්සියම් කාබනේට්  CaCO3 සාදයි. මෙම CaCO3 වලින් සැදුණු කොප්පයක් වැනි සැකිල්ලක් ජිවි බුහුබාවා වටා නිර්මාණය වේ. 


මෙසේ ජිවින් දස ලක්ෂ ගණනක් එකතු වී කොරල් පරයක් සැදිම සිදු වේ. මෙම කොරල් මෘදු කොරල් හා දෘඩ කොරල් ලෙස දෙවර්ගයකි. එසේම  කොරල් පර ප්‍රධාන වශයෙන් ගැටි පර (Fringing reef) ,  බාධක පර (Barier Reef) හා අතොලු පර (Atolls Reef) ලෙස වර්ග කළ හැක. හික්කඩුවේ  ගැටි පර  31  ට අයත් කොරල් විශේෂ  60  ක් පමණ  පවතී.



 සාමාන්‍යයෙන් කොරල් පරයක් මාසයකට සෙන්ටි මීටරයක් පමණ වර්ධනය වේ. මෙරට පිහිටි සුන්දරම ගල්මල් උයන හික්කඩුවේ  වාල් දුපත හා ගොඩබිම මුහුදු තීරයේ දක්නට ලැබේ. හික්කඩු කොරලපරයේ විශාලත්ව‍ය හෙක්ටයාර 1010  කි. මෙය කිලෝම්ටර් 4ක් පමණ ප්‍රමාණයක් දුරට මුහුදු තීරය දිගේ පැතිර පවතී. 1979 මැයි මස 18 දින හික්කඩුව අශ්‍රිත කොරල් පරය ශ්‍රි ලංකාවේ ප්‍රථම සමුද්‍රිය අභය භුමීය ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. තව දුරටත් මෙම ප්‍රදේශය සංරක්ශණය කරන අරමුණින් 1998 අගොස්තු 14 වන දින වඩාත් පුළුල් ප්‍රදේශයක් ඇතුළත් ව ස්වාභවික රක්ෂිතයක් ලෙස ද වනජීවී  දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කිරිමට ද , 2002 සැප්තැමිබර් 19 වන දින ජාතික උද්‍යනායක් බවට පත් කිරිම ද සිදු විය.

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන අතරින් සමුද්‍ර ජීවීන් සහිත පරිසර පද්ධතියක් නැරඹිය හැකි එකම ජාතික උද්‍යානය මෙය වේ.  හික්කඩු ‍කොරල් පරය ජෛව විවිධත්වයෙන් පිරුණු ඉතා වැදගත් පරිසර පද්ධතියකි.


මෙහි විවිධ මුහුදු ශාක වර්ග ගණනාවක් දක්නට ලැබෙන අතර ඒවා අතර විවිධ මුහුදු තෘණ වර්ග ද හැලිමෙඩා , කොලෙර්පා, උල්වා හා පැඩීනා වැනි ඇල්ගි ශාක ද දක්නට ලැබේ.  මෙම පරිසර පද්ධතියේ මත්ස්‍ය විශේෂ 113 පමණ වාර්තා  වන අතර එම විශේෂ අතර ඉරිරත්නා, රත්නා, පනාවා, තාරකා මාළුවා,  රැවුල්කාරයා,  යන මත්ස්‍යයන් විශේෂයෙන් කැපි පෙනවා මෙම මත්ස්‍යයන්ට අමතරව කකුළුවන්, කැස්බැවන්, ඉස්සන් , පොකිරිස්සන්, බෙල්ලන් හා මුහුදු පණුවන් වැනි සතුන්ද දැකිය හැක.

 හික්කඩුව කොරල් පරය නිසා එම ප්‍රදේශයට විශාල දෙස් විදෙස් සංචාරක ආකර්ශනයක් ලැබි ඇත. මේ නිසා විශාල විදේශ විනිමයක් ගලා එනු ලැබේ. මෙම කොරල් පරය නිසා ඒ අවට ප්‍රදේශයේ වෙරළ ඛාදනය බොහෝ අවම වි ඇත. සාමාන්‍යයෙන් වැඩුණු කොරල් පරයක් වර්ග කිලෝමිටර එකක ප්‍රදේශයකින් වාර්ශික මත්ස්‍ය අස්වැන්න ටොන් 15 පමණ ධිවරයන්ට ලබා ගැනීමට  හැකියාව ති‍බේ.


හික්කඩුව අවට ධීවරයන්ට තම ජිවිකාව ගෙන යාමට මෙම කොරල් පරය බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. කොරල්පර යනු ඉතා සංවේදි පරිසර පද්ධතියකි. මේ නිසා මෙවැනි පරිසර පද්ධති ආරක්ෂා කර ගත යුතු ය.



හික්කඩුව නගරයේ විශාල  හෝටල් ව්‍යාප්තියක් දැකිය හැක.  ශ්‍රී  ලංකාව තුළ සංචාරකයන් හට නවාතැන් පහසුකම් ආදිය  මනා ව සකස් කොට ඇත.  ඇතැම් තරු හෝටල් යුරෝපීය තාරකා හෝටල් මට්ටමට  ම සමානය. 

හික්කඩුවේ කාලගුණය තුළ  උණුසුම්, සීතල දවස් බහුල  වේ.  ඔක්තෝබර් මස මුල සිට මාර්තු මස දක්වා සාමාන්‍ය  උෂ්ණත්වය සෙන්ටිමීටර් 25-30 අතර වෙනස් වේ.  හික්කඩුවේ වෙරළ තීරයේ වෙරළට යාමට හොඳම වේලාව සූර්යයා ඉක්මවීමට පැයක් පමණ ගත වූ පසුවය.  එවිට නිශ්ශබ්දතාවයක් පවතින අතර, සාගරයේ නැවුම්බවෙන් වාතය සංතෘප්ත වී ඇත. 


හික්කඩුව ජාතික උද්‍යානය තුළ   වනජීවී  සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙන සංරක්ෂණ මධ්‍යස්ථානය ලංකාවේ   පළමු සහ එකම ආදර්ශ  කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය  වේ.  එකම නිත්‍යානුකුල මධ්‍යස්ථානය හික්කඩුව බව තොරතුරු වලින් හෙළිවේ. 



ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්වෙමින් යන සත්ව විශේෂ අතරින් රතු දත්ත ලේඛනයට ද ඇතුලත්ව සිටින කැස්බෑවන් සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳවී යෑමේ තර්ජනයට දැඩිව මුහුණ පා සිටින සත්ව විශේෂයකි.

එවැනි  සාගර කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වන මධ්‍යස්ථානයක් වේ. ලොව සාගරවාසී කැස්බෑ විශේෂ 7න්, විශේෂ 5 ක් ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරය වෙත ඇදී ඒම සිදු වේ.





එසේ ලංකාව තුල දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් වන,

 බටු කැස්බෑවා (Olive ridley turtle) 

ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead)    

ගල් කැස්බෑවා (Green turtle)  

 පොතු කැස්බෑවා (Hawksbill turtle)  

දාර කැස්බෑවා (Leatherback turtle) 

යන කැස්බෑවන් දකුණු වෙරළ  තිරයේ දී දක්නට ලැබේ .

එසේ  කැස්බෑවන් දකුණු වෙරළ තිරයේ දී නිරන්තරයෙන් දක්නට  ඇති ප්‍රදේශ අතර හික්කඩුව ,  මිරිස්ස,  වැලිගම , හබරාදුව , හම්බන්තොට , අංගොඩ , රැකව ,බුන්දල යන ප්‍රදේශයන් පෙන්වා දිය හැකි ය. එම ප්‍රදේශ පදනම් කරගනිමින් මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයන් ද පවත්වාගෙන යනු ලබයි.

 නිවාඩු දිනවල  හික්කඩුවේ රසවත් දේවල් දැක ගත හැකි ය. දේශීය ආකර්ෂණ ලැයිස්තුවට එක්වූ  දැවැන්ත කැස්බෑවන්  බොහෝ හීලෑ වී ඇත. කැස්බෑවන්  මිනිසුන්  අතින් ආහාර ගන්නට පුරුදු වී සිටියි. විශේෂයෙන් ම සංචාරකයින්ට  ජලය හිඳ  සාර්ථකව පිහිනීමට හික්කඩුව නොගැඹුරු මුහුදු තීරය වැදගත් වේ. නමුත් එය කෙටි කාලීන ය.

 සංචාරය සදහා පැමිණෙන පුද්ගලයන් මෙම ස්ථානයේ සුන්දරත්වය අලංකාරය රසවිඳ    මෙම  පරිසරයට කසළ ආදිය බැහැර කරමින් පරිසර විනාශයට ද හේතු සකස් කිරීම කනගාටුවට කරුණකි. වෙරළ තීරය ආශ්‍රිතව බිත්තර දැමීමට පැමිණෙන කැස්බෑවන් එම කසළ ආහාරයට ගෙන මිය යයි. මුහුදු ට බැහැර කරන  කසළ ආහාරයට ගෙන කැස්බෑවන් පමණක් නොව මත්ස්‍යයන් අනෙක් සාගර ජීවින් ද විනාශ වීම සිදු වේ. 

සංචාරකයන් ගමන් ගන්නා බෝට්ටු වල ඉන්ධන  ආදිය මිශ්‍ර  වීමෙන් , බෝට්ටු පතුල වැදීමෙන් ආදිය මගින් කොරල් පර අජීවී තත්ත්වයට පත් වීම සිදු වේ. සංචාරක කර්මාන්තය තුළින් රටට විදේශ විනිමය ගලා එන්නා සේ ම රටේ පවත්නා සම්පත් වලට  මෙරට සංස්කෘතික  වටිනාකම් වලට ඉන් සිදු  වන හානි ද සුළු පටු නොවෙන බව ද පසක් කළ යුතුම ය.


 හික්කඩුව නොගැඹුරු මුහුදු තීරය ආශ්‍රිත ව සිදු කරන දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව බොහෝ විදේශිකයන් අතර ජනප්‍රිය වූවකි.

නරඹන්නන් සංචාරකයන්  අතර ඉතා ජනප්‍රිය අංගයකි හික්කඩුවේ ආයුර්වේද සම්බාහනය. මේ අනුව  ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ හික්කඩුව සංචාරක කලාපය දේශීය මෙන් ම විදේශීය වශයෙන් බොහෝ ජනප්‍රිය ආකර්ෂණීය සුන්දර ස්ථානයක් වන බවත් ස්වභාව සෞන්දර්ය අතින් ඉහළ වටිනාකමකින් යුත් අනාගතය උදෙසා ආරක්ෂා කර ගත යුතු මනරම් භූමියක් බව සිහි කොට කටයුතු කළ යුතු ය.

 දේශීය සංචාරකයන් ලෙස සැරිසරන විට නරඹන රසවිඳින  ස්ථාන අනෙකුත් පුද්ගලයන් ට ද දැක බලා ගැනීමට මතු පරපුර උදෙසා සංරක්ෂණ කර ගැනීමට ආත්මීය ව සිතා ගන්නේ නම් සුන්දර ස්ථාන මතුවටත් ආරක්ෂිත ව පවතිනු ඇත.  විදේශීය සංචාරකයන් ට මග පෙන්වන්නන් ලෙස කටයුතු කරන පුද්ගලයන් හා නවාතැන් හෝටල් හරහා ද  පරිසරය සුරැකීම  පිළිබඳ ඔවුන්ට උපදේශනය කළ යුතු ය.


මූලාශ්‍ර :
* http://ratawata.blogspot.com
 * www.thaksalawa.lk
 * කොරල් රීෆ්ස් අරවුන්ඩ් ද වර්ල්ඩ්

Tuesday, November 16, 2021

කන්නෙලිය රක්ෂිත වනාන්තරය

                  


         දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළ ම වටිනාකමකින් යුක්ත වනාන්තරයක් ලෙස කන්නෙලිය රක්ෂිතය හදුන්වා දිය හැක. ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති කන්නෙලිය දෙදියගල නාකියාදෙණිය (KDN) සංකීර්ණයට අයත් ප්‍රධාන ම වනාන්තරය යි.  

           ඒකාකාරී ජීවන රටාවෙන් මිදී  සුන්දර නිස්කලංක පරිසරයක නිදහසේ සිසිලස, ස්වභාව සෞන්දර්ය අත් විදින්නට දෙස් විදෙස් සංචාරකයන් කන්නෙලිය තෝතැන්නක් බවට පත් කරගෙන ඇත.    

            පහතරට නිවර්තන වර්ෂා වනාන්තර ගණයට අයත් කන්නෙලියේ වාර්ෂික වර්ෂාපතනය  මි.මී 4445 ක් ද  මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය 27 C ක් ද , විශාලත්වයෙන් හෙක්ටයාර් 6144 පමණ වන බව දැක්විය හැක.

           ජෛව විවිධත්වය පිළිබඳ විශේෂ උනන්දුවක් අවධානයක් දක්වන බොහෝ පිරිසක් කන්නෙලිය වෙත් ආකර්ෂණය වී සිටී. කන්නෙලිය පිළිබඳ අතීත විත්ති දෙස බලන විට එය විජයබාහු රජ සමය දක්වා දිව යයි. විජයබාහු රජු සොළීන් සමග සටන් කළ ස්ථානයක් ලෙස කන්නෙලිය ප්‍රදේශය ජනප්‍රවාද ගත් ව ඇත. "කන්‍ය එළිය" යන්නෙන් බිදී කන්නෙලිය යන නාමය උපන් බව ද ජන මතයකි. තව ද වළගම්බා රජු මෙම ප්‍රදේශයේ සැගව සිටි බවත් එකල කුසගින්නේ සිටි කාන්තාවකට තම ආහාර වේල ලබා දී "කන්න ලිය" බව ප්‍රකාශ කළ හෙයින් කන්නෙලිය යන නාමය පටබැදුනු බවත් සදහන් ය.

            1934 ජූලි 06 වන දින අංක 8262 දරන ගැසට් පත්‍රය මගින් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශිත වූ කන්නෙලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ. 1990 මුල් භාගයේ මෙය සංරක්ෂිත වනාන්තරයක් බවට ද පත් විය. 2004 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානයේ "මිනිසා සහ ජෛව ගෝල"  වැඩසටහන යටතේ අන්‍තර්ජාතික මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් බවට පත් විය.


            කදු හා නිම්න වලින් හෙබි කන්නෙලිය මීටර් 60-425 උච්චත්වයකින් යුතු අතර ම ඉහළ ජෛව විවිධත්වයක් ද දැක ගත හැක.

            කුඩා ප්‍රදේශයක හමුවන වැඩි ම ජෛව විවිධත්වය හා    එනිසා ම ජෛව විද්‍යාත්මක උණුසුම් කලාප හෙවත්  Bio Diversity Hot Spot ලෙස ද කන්නෙලිය ප්‍රකට වේ. මෙහි ප්‍රාථමික වනාන්තරය සුලු වශයෙන් පවතින අතර අලුතින් වැඩුණු ශාක වලින් යුත් ද්වීයිතික වනාන්තරය බහුල ව දැක ගත හැක. 

           මෙයට හේතු සාධක වී ඇත්තේ  1960-1970 අග වන තුරු තුනී ලෑලී සංස්ථාවේ ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලී නිෂ්පාදනය සදහා දැව ලබා ගැනීමට දැඩි ලෙස මේ තුළ පැවති ශාඛ කපා විනාශ කිරීමයි.


           ඒ සදහා සකස් කරන ලද තාර දැමූ මාර්ග , ඉදිකර ඇති ගොඩනැගිලි වනාන්තරය තුළ අදටත් දැක ගත් හැක. වන විනාශය නැවතීමෙන් පසු වනය ඝනව වැඩී ඇති අතර වන විනාශයක් සිදු වූ බවට  අද වන විට කිසිදු සලකුණක් නොමැත.

          සිංහරාජ වනාන්තරයෙන් පසු විශාල ම ජෛව විවිධත්වයක්  හිමි වන්නේ කන්නෙලිය වන රක්ෂිතයටයි. එමෙන් ම කන්නෙලිය සිංහරාජයෙන් ම බිහි වූ එහි ම කොටසක් බවටද මතිමතාන්තර පවතී.


             කන්නෙලිය වනාන්තරයේ ශාක විශේෂ 301 පමණ පවතින බවට දත්ත වාර්තා පවතී. මෙම ශාක විශේෂ අතරට ශාක , පදුරු හා පැළෑටි අයත් වන අතර ඉන් 25% ක් ම ශ්‍රී ලංකාව ට ආවේණික  වේ. මෙම ශාක විශේෂ අතුරින් විශේෂ 26 ක් මෙරටින් වදවී යාමේ තර්ජනයට ලක් ව තිබේ. 

           මෙරට තෙත් කලාපීය වනාන්තර අතුරින් ඉහළ ම ආවේණික කාෂ්ඨීය ශාක විශේෂ  ප්‍රතිශතයක් කන්නෙලිය වනාන්තරය තුළින් මුණ ගැසේ.

           කන්නෙලිය වනාන්තරයේ ප්‍රමුඛ ශාක කුලය "හොර" ශාක ය වන අතර තව ද නා , දුන් , ඇටඹ , කීන , කැකුණ , බදුල්ල , රං දෝතලු , දොරණ , බෙරලිය දුන් , හොඳ බෙරලිය , තිනිය , දියපර , ආරිද්ද , මඩොල් ආදී ශාක ද බහුල ව දැකිය හැකිය.


            ලෝකයේ ම එක් මැන්ඩෝරා විශේෂයක් දක්නට ලැබෙන්නේ  කන්නෙලිය රක්ෂිතයේ ම පමණි. මෙම වනාන්තරය තුළ ඖෂධ ශාක වර්ග රාශියක් ද හදුනා ගත හැක. ඒ අතර රසකිඳ , වෙනිවැල් , හාතවාරිය , එනසාල් , කුඩා හැඩයා , මහා හැඩයා , සත්සඳ , වනරාජ , ඉරුරාජ , කොකුම් , දුම්මල වැනි ශාක මුල් තැනක් උසුලයි. 

           කන්නෙලිය වැසි වනාන්තරය තුළ ඉහළ මට්ටමේ සත්ත්ව විවිධත්වයක් ද දක්නට ලැබේ. පක්ෂී විශේෂ 120 පමණ දැනට හදුනා ගෙන ඇති අතර ලංකාව ට ආවේණික පක්ෂී වර්ග  23 න්  14 ක් ම මෙම කන්නෙලිය වනාන්තර පරිශ්‍රය තුළ නිරීක්ෂණය කර ගත හැක. බට ඇටිකුකුළා , කැහිබෙල්ලා , වලි කුකුළා , දෙමළිච්චා , හබන් කුකුළා , අළුගිරවා , වත රතු මල් කොහා , ලංකා සැලලිහිණියා වැනි දුර්ලභ පක්ෂී සමූහයක් මෙම වනාන්තරය ආශිත ව දක්නට හැකි වේ.


             තව ද මෙම වනාන්තරය තුළ ක්ෂීරපායි විශේෂ 20 පමණ ජීවත් වෙයි.  කළු වදුරා , මීමින්නා , රත් උණහපුළුවා , රන් හෝතඹුවා , ගෝනා , කබල්ලෑවා , බටු ලේනා ,දම් මුහුණැති  කොළ වදුරා ඒ අතර ප්‍රමුඛ  වේ. මෙහි වාසය කරන විශාල ම ශාක භක්ෂක සත්ත්ව විශේෂය  ලෙස "ගෝනා" ද විශාල ම මාංශ භක්ෂක සත්ත්ව විශේෂය ලෙස "දිවියා" ද වාර්තා වී ඇත.


              රක්ෂිතය තුළ  උභය ජීවී කාණ්ඩ 19 හදුනා ගෙන ඇත. ඉන් වර්ග 14 ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වූ උභය ජීවී විශේෂ වේ. මේ අතරින් රුක් මැඩියන් , මොට හොඹු මැඩියා , කුරු ගෙම්බා , ගල්පර මැඩියා , ලබුගම පදුරු මැඩියා ප්‍රධාන වශයෙන් හදුනා ගත හැක. මීට අමතරව ශ්‍රී ලංකාව ට ආවේණික උරග විශේෂ ගණනාවක් ද හමුවේ. ශ්‍රී ලංකාව තුළ හමුවන විශාලත ම සර්පයා වන ඉන්දියානු පිඹුරා , මූදු කරවලා , පලා පොළගා , මල් කරවලා , පුල්ලි දත් කැටියා , දෙපත් නයා , කබර දත් කැටියා ඇතුළු උරග විශේෂ 50 ක් පමණ හදුනා ගත හැක. තව ද රළු අං කටුස්සා , ගැටහොඹු කටුස්සා , පිනම් කටුස්සා , බෝදිලිමා වැනි කටුසු  විශේෂ රාශියක් ද මෙම වනාන්තරය වාස භූමි කරගෙන ඇත. කන්නෙලිය සමනලුන්ගේ ද සුන්දර පාරාදීසයකි. කැලෑ නිලයා , පසිරි කඩුවා , මහා සේලරුවා වැනි දුර්ලභ සමනලුන් ද ඇතුළු ව සමනල විශේෂ 53 පමක් මෙහිදී  දක්නට ලැබේ.


               කන්නෙලිය රක්ෂිත වනාන්තරය නිල්වලා ගංගාව සහ ගිං ගංගාව සදහා ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ක්‍රියා කරයි. වනාන්තරය තුළින් ආරම්භ වන දිය දහරා විශාල ප්‍රමාණයක් පවතින බැවින් ජල විද්‍යාත්මක දකුණු ලංකාවේ ප්‍රථම ස්ථානය  ද කන්නෙලියට හිමි වී ඇත. මෙම රක්ෂිතය තුළ පවත්නා ජලය ඝනත්වයෙන් බොහෝ ඉහළ බව ද එහෙයින් ම කන්නෙලිය ට ආවේණික දුර්ලභ මත්ස්‍ය විශේෂ කිහිපයක් ද කන්නෙලිය තුළ දී හමුවේ.  ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 80 අතරින් විශේෂ 38 ක් ම කන්නෙලියෙන් වාර්තා වේ.  බුලත් හපයා , ලේ තිත්තයා , තල් කොස්සා , වැලි ගොව්වා , ගල් පාඩි , හීත මස්සා  වැනි දුර්ලභ මත්ස්‍ය විශේෂ ද  මෙහිදී හදුනා ගත හැක.  මෙම මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීමේ අරමුණ නිසා ම සංචාරකයන් ට කන්නෙලිය තුළ අභ්‍යන්තර දිය ඇළි වල  ස්නානය ද තහනම් කර ඇත.


            

 කන්නෙලිය රක්ෂිතය තුළ සංචාරය කරන්නන් හට ස්වභාවික මං පෙත් කිහිපයක් ම නිර්මිත ව ඇත. 


 එනම්,

  •    ගුහාව  (වවුල් ලෙන) 
  •    අනගිමල ඇල්ල 
  •    යෝධ පුස් වැල                                            
  •    යෝධ නවද ගස 
  •    නාරං ගස් ඇල්ල 
  •    කබ්බලේ කන්ද            යන මං පෙත් හමුවේ.

            සංචාරකයන්ගේ පහසුව උදෙසා සෑම කණ්ඩායමකට ම මාර්ගෝපදේශකයෙකු ලබා දෙයි. ඔහු ගමන අතර මග බොහෝ  තොරතුරු හා  දැනුම සංචාරකයන් ට ලබා දෙයි. සංචාරක පහසුව පතා නිරීක්ෂණ අට්ටාල හා ගිමන් හරින ස්ථාන ද ලබා දී ඇත.

                  සංචාරය අතර තුර මත් ද්‍රව්‍ය දුම් වැටි භාවිතය තහනම් වන අතර කිසිදු ද්‍රව්‍යයක් වනාන්තරය තුළ බැහැර නොකළ යුතු ය. වනාන්තරය තුළ කිසිදු දිය ඇල්ලක බැසීම ස්නානාය කිරීම තහනම් වේ. චායාරූප ලබා ගැනීමට සංචාරකයන් ට අවස්ථාව පවතී. මතු පරපුර වෙනුවෙන් මෙවන් සුන්දර ස්ථාන සංරක්ෂණය උදෙසා පිය සටහන් පමණක් ඉතිරි කර ඒමට සංචාරකයන් වගබලා ගත යුතු ය.

                මූලාශ්‍ර :           සේනාරත්න පී. එම්. (2005) ශ්‍රී ලංකාවේ වනාන්තර ( පළමු සංස්කරණය ) සරසවි ප්‍රකාශකයෝ

                                         කන්නෙලිය රක්ෂිත වනාන්තරය , විද්‍යා ගවේෂණ , ටෙරන්ස් කහපොළ ආරච්චි

Friday, November 12, 2021

සීනිගම දෙවොල් දේවාලය




      ශ්‍රී ලංකාව සංචාරක පුරවරයකි. දේශීය මෙන්ම විදේශීය වශයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් රටවල් අතර පෙරමුණේ පසු වන්නට ශ්‍රී ලංකාව ට හැකිවී ඇත. සංචාරකයන්  බහුලවම දක්නට හැකි වන්නේ වෙරළ බඩ කලාපය තුළ ය.

      ශ්‍රී ලංකාව වටා පිහිටි සුන්දර මුහුදු තීරය බහු ජන ආකර්ෂණයට ලක් ව ඇත. මේ අතර දකුණු දිග වෙරළ තීරය හා සබැඳි ස්ථාන රැසක් සංචාරකයන්ගේ  නිරන්තර ග්‍රහණය ට ලක් ව ඇත. මෙහිදී ඔබට හදුන්වා දෙන්නේ අම්බලන්ගොඩ සීනිගම දෙවොල් දේවාලය පිළිබඳව ය. 

   
  කොළඹ මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ සහ හික්කඩුව අතර සීනිගම දෙවොල පිහිටා ඇත.  ගොඩබිම සිට මීටර් 300 පමණ මුහුද මධ්‍යයට වන්නට ඉතා කුඩා දූපතක දේවාලය   දැකිය හැකි ය. මීට අධිගෘහිත දෙවියන් ව දෙවොල් දෙවියන් , රන්වන් දෙවියන් , වාසල දෙවියන් , වේරගොඩ දෙවියන් , කෙහෙල් ගමුවේ දෙවියන් , දෙවොල් බණ්ඩාර දෙවියන් , දෙවොල් කඩවර දෙවියන් , දෙවොල් පත්තිනි දෙවියන් , දොළහ දෙවියන් ආදි නාමයන් රැසකින් හදුන්වනු ලබයි. දෙවොල් දෙවියන් විදේශීය දේව සංකල්පයකි. ඉන්දියාවට අයත් දේවතාවුන් අතර දෙවොල් දෙවියන් හදුනා ගත හැක. නමුත් අද වන විට මෙරට සමාජයේ දේශීය දෙවියෙකු ලෙස දෙවොල් දෙවියන් මුල් බැස ගෙන ඇත.

     සීනිගම ප්‍රමුඛ කොට ගෙන වේරගොඩ , උඩුගල්පිට ,  ගිංතොට , උණවටුන , ලණුමෝදර , රිදියගල , හොරවල , නවගමුව වැනි ප්‍රදේශවල දෙවොල් දේව මන්දිර ඉදිව ඇත. සීනිගම දෙවොල් දේවාලය ඇතැමුන් දියඹ දේවාලය නමින් ද හදුන්වයි. දේවාල පූජෝත්සව වල සිදු කරන ගිනි පෑගීම නම් යාතු කර්මය ආරම්භ වූයේ සීනිගම දෙවොල ආශ්‍රිතව බව ට ජන මත පවතී.
    
       සීනිගම දේවාලය බොහෝ විශ්ම බල හාස්කම් පවතින ස්ථානයක් බවට මෙරැටියන් විශ්වාස කරයි. බොහෝ මිනිසුන්ගේ ප්‍රාර්ථනා ඉටුකර දෙන්නට හැකි වූ භූමියක් ලෙස දෙවොල් දේවාලය ප්‍රචලිතව ඇත. දෙවොල් දෙවියන්  නක්ෂ්ත්‍ර දන්නා දක්ෂ පළපුරුදු වෙදදුරෙක් බවත් රෝගීන්ට ආශිර්වාද කර සුව කළ බවත් ජනප්‍රවාද තුළ සදහන් වේ. මිනිසුන් තම ලෙඩදුක් කරදර බාධක රෝග උවදුරු වලට සුවය පතා දෙවොල් දෙවියන් හට කන්නලව් කර භාර හාර වෙයි.

     නමුත් සීනිගම දේවාලය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ වැරදි කරුවන්ට දඩුවම් දීම අසාධාරණයන්ට හිරිහැර වලට එරෙහිව  දඩුවම් දීම   පළිගැනීම්වලට මිරිස් ඇඹරීම , පළි පොල් ගැසීම යනාදිය සදහා ය.

     දෙවොල් දෙවියන්  රෝග සුවපත් කිරීමට පැන් ලබාගත් ළිඳ පුරාණයේ සිට අද දක්වා ම සීනිගම දේවාල භූමියේ හදුනා ගත හැක. එය මුහුද මධ්‍යයේ පිහිටියත් කිවුල හෝ ලවණ ගතියක් රසයක් නොමැත. කෙතරම් දිගු ඉඩෝරයක් වූවද මෙහි ජලය සිදීමක් නොවීම හාස්කමකි. එමෙන්ම එකල ගැමියන් පළිගැනීම්වලට මිරිස් ඇඹරීම සිදු කළ මිරිස් ගල තවමත් දක්නට ලැබේ. මෙහි දී සාමාන්‍ය මිරිස් ඇඹරීමකට වඩා තරමක් වෙනස් ය. මිරිස් ගලට අබ, ගම්මිරිස් , සුදුලූනු , වියළි මිරිස් කරල් තබා ප්‍රාර්ථනා ව සිතා ඉදිරියට අඹරයි. එහෙත් නැවත පසු පසට අඹරන්නේ නැත. මන්ද යත් පළිගැනීම නැවත තමා වෙතට එන බවට මතයක් පවතී.
  

      ලෝකයේ පළමු මෙන්ම එකම මණිමේඛලා දේව ප්‍රථිමාව දක්නට ලැබෙන්නේ සීනිගම දෙවොල් දේවාලය තුළ ය.  මහනුවර දළදා පෙරහැර හා කතරගම මහ පෙරහැර හැරුණ විට ශ්‍රී ලංකාවේ විශාල ම පෙරහැර සීනිගම දෙවොල් පෙරහැර මංගල්‍යය වේ.  වසභ රජු සත් මහල් ප්‍රාසාදයක් ලෙස සීනිගම දේවාලය ගොඩනගා තිබූ බවත් විදේශීය ආක්‍රමණ හමුවේ එය විනාශ වූ බවත් පුරාණයේ සදහන් වේ. නැවත ප්‍රාදේශීය වශයෙන් බලවත් වූවන් 1964 වසරේ එය වර්තමානය තුළ පවතින ලෙස  ප්‍රතිසංස්කරණය කර ඇත.

     
    සීනිගම දේවාලය පිළිබඳ ව පවතින  පුරාවෘත රැසකි. ඉන් බහුතරය පිළිගන්නා ජනප්‍රවාදය මෙසේ ය.
     දඹදිව කුදුප්පර දේශයේ  රාමසිංහ නම් රජ කෙනෙක් විය. ඔහුට සත් සියක් බිසෝවරු සිටිය ද ප්‍රධාන බිසෝවරු සත් දෙනෙකි.  මෙම බිසෝවරු සත් දෙනා එක විට ගැබ් ගත්හ. එකම සතියක සත් දිනක එම බිසෝවරු දරුවන් ප්‍රසූත කළහ. දෙවොල් කුමාර සත් කට්ටුවේ විත්තිය තුළ මේ බව වැඩි දුරටත් සදහන් වේ.මෙම කුමාරවරු තරුණ වියට එළඹෙත්ම කළහකාරී විය.  රටවැසියන්ට හිරිහැර කරන්නට වූ නිසා පිය රජු ඔවුන් රටින් පන්නා දැමූහ. ඔවුන් නැගී ගිය නැව මුහුද මධ්‍යයේ පෙරළී ගියේ ය. මුහුදු මණිමේඛලාවන් මෙම සිදුවීම සක්‍ර දෙවියන් ට පැවසීය. සක්‍ර දෙවියන් ඔවුන් ව ලංකාව දෙසට එවීය. ලංකාවේ එවකට මුල් දේව ආසනය දැරුවේ පත්තිනි මෑණියන් ය. ඇය ගිනි කදු සතක් මවා මොවුන් බිය කරත් මොවුන් ඒවා පසු කර පැමිණියේ ය. මේ කුමාරවරු අතරින් මහාසාමි කුමරා දෙවොල් දෙවියන් ලෙස දේවත්වයට පත් වූ බව සදහන් වේ.  එකළ එහි වාසය කළ  සීනිගම නම් ප්‍රාදේශීය මැතුදු කෙනෙකුන්ගේ රෝගයක් සුව කිරීම  හේතුවෙන් සීනිගම දෙවොල සාදා පූජා කළ බවට ද තතු පවතී.


      මෙලෙස ලංකාව ට පැමිණි දෙවොල් දෙවියන් වේරගොඩ ප්‍රදේශයේ මාසාච්චි නම් පරපුරේ ස්ත්‍රියක් සරණ කරගත්  බවත් ඇය දෙවොල් දෙවියන් ගෙන් පුතකු ලද බවත් සදහන් ය. දෙවොල් දෙවියන් ගේ සෙසු සහෝදරයන් ලංකාවේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත වී ඇත. දෙවොල් දෙවියන් ගේ බිරිඳ ට රැකියාවක් නොමැති තම සැමියා නිවසට අවශ්‍ය දෑ රැගෙන එන්නේ කෙසේදැයි සැකයක් ඇතිවිය. ඇය තම පුතු  පියා පසු පස රහසේ ම යැවීය. පියා දේව බලයෙන් වස්තූන් මවනු දුටු පුතු රහස හෙළි කළේය. එය දැන කෝපාන්විත වූ දෙවොල් දෙවියන් පුතු මරා දැමීය. ඉන් දුකට පත් වූ බිරිඳ දෙවොල් දෙවියන් උමතු වන ලෙස සාප කළේය. උමතු ව සැරිසැරූ දෙවොල් දෙවියන් උණවටුන ප්‍රදේශයට පැමිණ සිත එක් කොට භාවනා කර සිහි උපදවා නැවත රෝගීන් සුවපත් කළ බව සදහන් ය. 

    සීනිගම දෙවොලේ විශ්මිත හාස්කම් පවතින බව අදටත් ජන විශ්වාසය යි. සුනාමි අනතුරු අවස්ථාව තුළ වූවද සීනිගම දෙවොල් දේවාලයට  සැලකිය යුතු හානියක් සිදු නොවී ය.            

     

දෙවොල් දෙවියන්  ධීවරයින් හා  ඔවුන්ගේ බෝට්ටු ආදිය  රැක දෙන්නේයැයි විශ්වාසයක් ද ජනයා අතර පවතී.  යහපත් මෙන් ම අයහපත් අරමුණු ද මුල් කොට ගෙන වන්දනාමානයට පාත්‍ර වන දෙවි කෙනෙකු ලෙස දෙවොල් දෙවියන් හදුනා ගත හැක.

    ඉතා සුන්දර භූමියක පිහිටි දෙවොල් දේවාලය අදටත් විශාල බැතිමතුන් පිරිසකගේ වන්දනාමානයට පාත්‍ර වේ. විශ්මිත  හාස්කම් බලය පවතින බවට ප්‍රචලිතව ඇති නිසා ම දිවයිනේ නන් දෙසින් සීනිගම දෙවොල් දේවාලය වෙත ජනයා ආකර්ෂණය වේ. දකුණු වෙරළේ සංචාරය කරන සැම මග නොහැර ගත යුතු ස්ථානයක් ලෙස දෙවොල් දේවාල භූමිය හදුන්වා දිය හැකිය.

මූලාශ්‍ර  : සිංහල දේව පුරාණය කේ.එන්.ඕ ධර්මදාස , එච්.එම්.ඒ.එස් තුන්දෙණිය
                සීනිගම දේවාලය facebook.com
                ශාස්ත්‍රපති නෝමන් සිරිපාල සූරීන්ගේ නිබන්ධනය

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...