Tuesday, January 4, 2022

තල්පේ වෙරළ


දකුණේ පිහිටි සුන්දර ස්ථාන අතර තවත් එක් අපූර්වතම ස්ථානයක් ලෙස තල්පේ වෙරළ හැදින්වීම ට හැකිය. තල්පේ වෙරළ  බොහෝ සංචාරක  ආකර්ෂණය දිනාගත්  තෝතැන්නකි. තල්පේ වෙරළ තීරයේ එක් සීමිත භූමි භාගයක  ගල්වැටියක ස්වභාවිකව නිර්මාණය වු තටාක කිහිපයක්  දැඩි සංචාරක තෝතැන්නක් බවට පත් ව තිබේ.  

සුදු පැහැ පෙණපිඩු නගමින් වෙරළේ හැපෙන්නට එන සාගර රළ කඳ මෙම ගල් පරයේ හැපී විසිරෙන ජලය එහි වූ හතරැස්කොටු වැනි තටාක තුළට වැටී ඒවා සාගර ජලයෙන් පිරී යයි. විශේෂවම උදෑසන කාලයේ මෙම දිය පිරුණු තටාක ළා කොළ පැහැයෙන් අපූරුවට හැඩ ගැන් වී දැක ගත හැකි වේ. බොහෝ මිනිසුන් මෙහි පැමිණ එම කුඩා තටාක මතට බැස දිය නාමින් විනෝදාස්වාදය ලබති. එම පිහිටීම ස්වභාවික වුව ද හතරැස් ලෙස පැවතීමට හේතු ගනණාවකි. 

මීට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් අත්හැර දමන ලද මෙම වළවල් එකල භාවිත කර ඇත්තේ පොල්ලෙලි පල් කිරීම සඳහා ය. ලංකාවේ සුදු පොල් කොහු පල් කරපු එකම ස්ථානය මෙයයි.  මෙම ප්‍රදේශයේ එම ක්‍රියාවලිය සිදු කරන ලද ජනතාව මුහුදේ තිබූ මෙම ගල්පරය හතරැස් කොටු ලෙසට හාරා ඇත. මේ වන විට එම වළවල් සුන්දර තටාක ලෙස දැකිය හැකි ය. ජනතාව මෙම වළවල් තුළ බැස විනෝද වීම සහ ජල ස්නානය සිදු කරයි. සාමාන්‍ය මිනිසෙකුගේ කරවට පමණ වන තෙක් මෙම වළ තුළ බැස සිටිය හැකි ය. මෙලෙස විවිධ ප්‍රමාණයේ වළවල් රාශියක් මෙම ඉසව්වේ දැක ගත හැකිය.  

 විශේෂව ම උදෑසන කාලය තුළ මෙම වළවල් ​හොඳින් දැකගත හැකි අතර ඇතැම් විට වඩදිය  බාදිය හේතුකොට ගෙන මෙවා වසාගෙන මුහුදු ජල කඳ වෙරළට පැමිණෙයි. එවිට මේවා තුළට බැස සිටීම අනතුරුදායක විය හැක. සුන්දරත්වය විනෝදය මෙම තටාක  ගෙන දුන්නද මේ අසලම අනතුරක් පවතින බව මෙහි පැමිණෙන්නන් අත්දැකීමෙන් ම දනිති. එනම් "ඉකිරි" නම් මුහුදු සත්වයන් මෙම ඉසව්වේ බහුල ලෙස දැකිය හැකි වීමයි.  


කුඩා ටෙනිස් බෝලයක් වටේට ඉත්තෑ කූරු සවි කර ඇත්තා සේ මෙම සත්වයා මෙම ගල්පරයේ ඇලී සිටියි. නමුත් මේ සත්වයා මිනිසාට කිසිදු හානියක් සිදු නොකරයි. නමුත් මිනිසා මෙම සතුන්ගෙන් බොහෝ ප්‍රවේසම් විය යුතුය.  නිරුවත් දෙපාවලට මෙම සත්වයා පෑගුණහොත් එම කටු රාශිය යටිපතුලේ ඇනී ලේ ගලන වේදනාබර තුවාලයක් ඇති විය හැක. එම නිසා කළු වර්ණයෙන් යුතු මෙම ඉකිරින්ගෙන් වඩාත් ප්‍රවේසම් වීමට වග බලා ගත යුතුය.  


ගල් පරය පුරාවට ඉකිරින් සිටින අවස්ථා ද දැකිය හැකිය. තටාක ඇතුළේ  බිත්ති මත පවා මොවුන් සිටිය හැකි බැවින් තටාක  තුළට බැසීමේදී ප්‍රවේසම් වීම හා අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යය. තවද තල්පේ මුහුදු වෙරළ යනු වසර කිහිපයක් පුරාවට මුහුදේ ගිලී දෙස් විදෙස් සංචාරකයන් මිය ගිය ස්ථානයකි. එහෙයින් මුහුදු ජලය තුළ ස්නානය කිරීමේ දී නිතරම පරීක්ෂාවෙන් ක්‍රියා කළ යුතුය. අපූර්වත්වයක් සේ ම මුහුදු රළ තුළ සැගවුනු ප්‍රචණ්ඩ බවක් ද පවතී.


දවස පුරා විවිධ වූ රූ රටා මවමින් විවිධ වූ පැහැයෙන් වර්ණ ගැන් වූ සොඳුරු  තල්පේ ස්වභාවික ජල තටාක සමූහය නෙත් සිත් පැහැර ගනී.මුහුදු වෙරළ තීරයේ  ජල තටාක 22 ක් වේ. සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනය සහ දියුණුව හේතු කොට ගෙන දක්ෂිණ වෙරළ බඩ කලාපයේ බිහි වී ඇති හෝටල් සංඛ්‍යාව අති විශාල ය.  තල්පේ වෙරළ යනු එලෙස තවත් සංචාරක තෝතැන්නකි.


දකුණේ සංචාරය කරන්නට බලාපොරොත්තු වන විට මෙවන් රමණීය ස්ථාන මග නොහැර ගත යුතුය. පරිසරය පවිත්‍ර ව තබා ගෙන සුන්දරත්වය විද ගැනීම ඉතා වැදගත් වේ.

මූලාශ්‍ර 

www.thaksalawa.lk

www.watchinglanka.com

www.travewithuma.com



No comments:

Post a Comment

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...